කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා හින්දු බිසවුන් සැනසීමට තැනූ කෝවිල් පන්සල

සිංහල රාජාවලියේ බුදු සසුනට අසීමිත සේවයක් කරපු රජ දරුවන් අතුරින් සෙංකඩගල රජ කරපු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා(ක්‍රි.ව 1747-1782)ට හිමි වන්නේ සුවිශේෂ තැනක්.

නමුත් මේ රජතුමා ඉන්දියාවේ නායක්කර් වංශයට අයත් වීමත් හින්දු භක්තිකයකු වීමත් නිසා කන්ද උඩරට රදළයන් මේ රජතුමාට සෘජුවම වගේම වක්‍රවත් විරුද්ධ කම් පාන්න පටන් ගත්තා.මේකට අස්ගිරි මල්වතු විහාර වල භික්ෂූන් වහන්සේලාගෙත් දායකත්වය ලැබුණේ රජතුමාගේ ජන්මය හා ආගම මුල් කරගෙනයි.

මුල දී රජතුමා කෝවිල් ගිහින් තුන්නූරු;ඒ කියන්නේ විභූති අළු නළලේ ගල්වා ගැනීම ගැන පවා කන්ද උඩරට රදළයන් දැඩි ව විරුද්ධ වුණා.”නළලේ අළු ගා ගන්න දෙමළා”උඩරට රදළයන් මුල දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා හඳුන්වා ඇත්තේ එහෙම බව ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් ලියූ “කීර්ති ශ්‍රී ගේ ආගමික ලෝකය”(The Religious world of Kirti Sri) වගේ කෘතීන් වල සඳහන් වෙනවා.

නමුත් නායක්කර් වංශය ද්‍රවිඩ ගණයට අයත් වුණත් එතුමා දෙමළ ජාතිකයෙක් නම් නොවෙයි. උඩරට රදළයන් රජතුමා කෙරෙහි ඇති කර ගත්තු මේ විරසකයේ අන්තිම ප්‍රතිඵලය වුණේ කන්ද උඩරට ගිහි පැවිදි පිරිසක් එකතු වෙලා රජතුමා මරා දමන්න පවා කුමන්ත්‍රණය කිරීම.

පස්සේ රජතුමා අපේ රටේ බුදු සසුනට කරන සුවිසල් මෙහෙවරක් හැටියට පෞද්ගලිකවම භික්ෂූන් වහන්සේලාට ඇප උපස්ථාන කරන්නත් වෙහෙර විහාර පිළිසකර කරවන්නටත් අලුතෙන් වෙහෙර විහාර ගොඩ නංවන්නත් පටන් ගත්තා.නමුත්,ඒ වෙනකොටත් හින්දු ආගම දැඩිව අදහපු රජතුමාගේ නායක්කර් වංශික අග බිසවට රජතුමාගේ මේ වෙනස දරා ගන්න බැරි වුණා.

කොටින්ම රජතුමා සමඟ බෞද්ධ වෙහෙර විහාර වලට ගිහින් භික්ෂුන් වහන්සේ ලා බැහැදකින්න මේ අග බිසව ඇතුළු අන්තඃපුර බිසෝ වරු පසුබට වුණා.අන්න ඒකට පිළියමක් ගැන හිතපු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ගේ අග බිසව ඇතුළු අන්තඃපුර බිසෝ වරු පන්සල් යාමට පොළඹවා ගන්න කෝවිලක ස්වරූපයේ පන්සලක් හදවන්න තීරණය කළා.

සාමාන්‍යයෙන් බෞද්ධ විහාර වල දකින්න නැති කෝවිල් වල විතරක් දකින්න තියන කුම්භම්, ගෝපුරම් වගේ ලක්ෂණ ඉස්මතු වෙන විදිහට ඉදිකරපු බෞද්ධ විහාරයකින් තමන්ගේ අන්තඃපුර බිසවුන් උපායශීලීව පන්සල් වෙත යොමු කරන්න තමයි; රජ තුමාගේ වෑ‍යම වුණේ.ඒත්,රජතුමාගේ මේ ඉදි කිරීමත් එක්ක රජතුමාගේ වැරදි වලට ඇහැ ගහගෙන හිටපු කන්ද උඩරට රදළයන් කඩි ගුල වගේ ඇවිස්සෙන්න පටන් ගත්තා.

ඒ අයගේ චෝදනාව වුණේ බොරුවට බෞද්ධ වෙස් අරන් ඉන්න රජතුමා හීන් සීරුවෙම කන්ද උඩරට බෞද්ධයන් හින්දු ආගමට හරවන්න කරන නූල් සූත්තරයක් හැටියට මේ කෝවිල් පන්සල හදවනවා කියලයි.කොහොම හරි මේ මතය රාජධානිය පුරා පැතිරීමත් එක්ක ඔය කටයුත්ත වහාම නතර කරන්න කියලා අස්ගිරි මල්වතු භික්ෂූන් වහන්සේලාත් රජතුමාට අවවාද කළා.

ඊට පස්සේ තමන් ආයිමත් වැඩේ වරද්දා ගත්තු බව තේරුම් ගත්තු රජතුමා ඒ විහාරයේ බුද්ධ ප්‍රතිමා තැන්පත් නොකරම රජතුමා ඒ විහාර කර්මාන්තය එතනින්ම නතර කරලා භික්ෂූන් වහන්සේලා ගේ අනුශාසනා අනුව ඒ කිට්ටුවම තියන දෙගල්දොරුව කියන ස්ථානයේ අපේ සම්ප්‍රදායන්ට අනුව අගනා විහාර කර්මාන්තයක් කරවලා මහා සඟ රුවනට පූජා කරපු බවකුයි සඳහන් වෙන්නේ.

කොහොම නමුත් මුළුමනින්ම ශිලා කර්මාන්තයක් හැටියට කරවපු මේ විහාරය ගල් මඩුව කියලයි හැඳින්වෙන්නේ. ඉතා සියුම් විදිහට සකස් කර ගත්තු සැහැල්ලු පාෂාණ පතුරු ඇතුළු අනේක විධ පාෂාණ කොටස් යොදා ඉදි කරපු මේ විහාරයේ ඉදිකිරීම් තාක්ෂණය දකුණු ඉන්දීය පල්ලව ද්‍රවිඩ සම්ප්‍රදායට අයත් බව කියැවෙනවා.ඒ වගේම මේ ඉදි කිරීම සඳහා රජතුමා ඉන්දීය ශිල්පීන් යොදා ගෙන ඇති බවක් තමයි විද්වතුන් ප්‍රකාශ කරන්නේ.

මේ විහාරයේ පාදම කොටසට බරින් වැඩි සවිමත් ගල් පතුරු වගේම ඉහළ කොටසට බලින් අඩු සැහැල්ලු ගල් පතුරු යොදා නිර්මාණය කිරීම ඉන්දීය වාස්තු විද්‍යාත්මක ලක්ෂණයක් බවත් පැවසෙනවා.නමුත් පසු කාලීනව මේක නැවත බෞද්ධ විහාරයක් විදිහට සංරක්ෂණය වීම මත මේ අනගි පුරා විද්‍යාතමක,සංස්කෘතික උරුමය අදටත් ඔබට දැක බලා ගන්න පුළුවන්.

මහනුවර දිගන-කුන්ඩසාලේ තැන්නෙකුඹුර පාලම පසු කොට යන විට වම් පස හමුවන කලා පුර පාරේ මේ ගල්මඩුව විහාරය වෙත පැමිණිය හැකියි.නමුත් ඒ ප්‍රදේශයේ පැරැන්නන් මේ ගල්මඩුව විහාරය ගැන දැන සිටි ඒ රසවත් පුරා වෘත්තය අද වෙන කොට ජන මනැසින් වේගයෙන් තුරන් වෙමින් පවතින බවත් කිව යුතුයි.

රේණුකා ගමගේ

උරුමයක අසිරිය