ඉන්දියාවේ ප්‍රයාග්රාජ් හි පැවැත්වෙන අති උත්කර්ෂවත් කුම්භ මේලා සැණකෙළියේ දී පසුගිය ජනවාරි 29 වැනිදා එකවර ඇති වූ තදබදය හේතුවෙන් අඩුම තරමින් බැතිමතුන් 30 ක් වත් පෑගී මිය ගොස් ඇති බවට වාර්තාවේ. ඊට අමතරව ආසන්න වශයෙන් 90 දෙනෙකු පමණ තුවාල ලබන්නට ඇති බව ද පැවසේ. මේ සංඛ්‍යා තවත් ඉහළ යා හැකි බව ද විවිධ මාධ්‍ය මගින් වාර්තා කොට තිබිණි.
මෙදින ඉතා අලුයම ගංගා, යමුනා සහ කල්පිත සරස්වතී (සරස්වතී නමින් දෘශ්‍යමාන ගංගාවක් නොමැති අතර බැතිමතුන් විශ්වාස කරන්නේ එය අදෘශ්‍යමානව ගලා ගෙන විත් ප්‍රයාග්රාජ් හි දී ගංගා සහ යමුනා සමග එක් වන බවය) නදීන්ගේ හිස ඔබා දියේ ගිලී ස්නානය කිරීමේ ශුද්ධ වූ වතාවත් සිදු කරන අවස්ථාවේදී ඇති වූ කලබලකාරී තත්ත්වය පාලනය කරන්නට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් ගත්ත ද අධික සෙනග නිසාම බොහෝ දෙනෙකු පෑගී අනතුරට ලක් වූහ. මෙහිදී අගමැති නරේන්ද්‍ර මෝදි මේ තත්ත්වය වෙනුවෙන් සහන සැලසීම සඳහා උපරිම පියවර ගන්නැයි උපදෙස් ලබා දුන් අතර මේ වත්පිළිවෙත් අනුගමනය කිරීම සඳහා විකල්ප ගංගා ඉවුරු තෝරා ගන්නා මෙන් ද ආගමික නායකයෝ ඉල්ලා සිටියහ.
සෑම වසර දොළහකටම වරක් පැවැත්වෙන කුම්භ මේලාව ලෝකයේ දැවන්තම ආගමික උත්සවය ලෙස සැලකේ. මේ උත්සවයේ ආරම්භය හින්දු පුරාණෝක්ති තුළ තදින්ම මුල් බැස ගෙන තිබේ. මෙය ‘සමුද්‍ර මන්තන්’ යනුවෙන් හැඳින්වෙන කිරි සයුර කැළඹවීමේ පුරාණ ප්‍රවාදයේ සඳහන් වේ. මේ පුරාවෘත්තයට අනුව අමරණීයත්වය ලැබෙන්නා වූ අමෘතය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සුරයින් සහ අසුරයින් අතර ඇති වූ යුද්ධයේ දී අමෘතයෙන් බිඳු කිහිපයක් මහ පොළොවේ ස්ථාන හතරකට පතිත විය.
සෑම වසර දොළහකටම වරක් පැවැත්වෙන කුම්භ මේලාව ලෝකයේ දැවන්තම ආගමික උත්සවය ලෙස සැලකේ. මේ උත්සවයේ ආරම්භය හින්දු පුරාණෝක්ති තුළ තදින්ම මුල් බැස ගෙන තිබේ. මෙය ‘සමුද්‍ර මන්තන්’ යනුවෙන් හැඳින්වෙන කිරි සයුර කැළඹවීමේ පුරාණ ප්‍රවාදයේ සඳහන් වේ. මේ පුරාවෘත්තයට අනුව අමරණීයත්වය ලැබෙන්නා වූ අමෘතය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සුරයින් සහ අසුරයින් අතර ඇති වූ යුද්ධයේ දී අමෘතයෙන් බිඳු කිහිපයක් මහ පොළොවේ ස්ථාන හතරකට පතිත විය. ඒවා නම් ප්‍රයාග්රාජ් (පැරණි නාමය – අලහාබාද්), හරිද්වාර්, උජ්ජායින් සහ නාෂික් වේ. කුම්භමේලා උත්සවය පවත්වනු ලබන ස්ථාන සතර බවට මේවා පත් වූ අතර වසර දොළහකටම වරක් මේ ස්ථාන අතර මාරුවෙන් මාරුවට කුම්භ මේලා උත්සවය පැවැත්වීම සිදු වේ.
‘කුම්භ මේලා’ යන්නෙහි අර්ථය වන්නේ ‘පැණි කෙණ්ඩි උත්සවය’ වැන්නකි. මෙය පවත්වනු ලබන කාලය නිර්ණය කරනු ලබන්නේ සූර්යයාගේ සහ බ්‍රහස්පති ග්‍රහයාගේ පිහිටීම මත සලකා බලනු ලබන තාරකා විද්‍යාත්මක පදනමක් අනුවය. වසර 144කට වරක් පැවැත්වෙන මහා කුම්භ මේලාව ඉමහත් පූජනීය වූ උත්සව අවස්ථාවක් ලෙස සැලකෙන අතර පූර්ණ කුම්භ මේලා උත්සවය ඉහත කී ස්ථාන සතර අතරේ සෑම වසර දොළහකටම වරක් පවත්වනු ලබයි. අවසන් මහා කුම්භ මේලා උත්සවය පවත්වනු ලැබුවේ 2013 වසරේ දී වූ අතර ඊළඟ මහා කුම්භ මේලාව පැවැත්වෙන්නේ 2157 වසරේදී ය. අනෙක මහා කුම්භ මේලා උත්සවය සෑම විටම පවත්වනු ලබන්නේ ප්‍රයාග්රාජ් හිදී පමණි.
කුම්භ මේලා උත්සවයේ මූලික චාරිත්‍රය වන්නේ ශුද්ධ වූ ගංගාවන්හි ගිලී ස්නානය කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා වන්දනා ගමන් යාමෙනි. මෙහිදී එකී පුද්ගලයාගේ සියලු පව් සේදී ගොස් උපත සහ මරණය අතර වූ චක්‍රයෙන් මිදී මෝක්ෂය ලැබෙන බව විශ්වාස කෙරේ. මේ උත්සව අවස්ථාව සඳහා සාධුවරු, යෝගීවරු, තාපසවරු ඇතුළුව ලොව පුරා වූ මිලියන ගණනක් බැතිමත්හු සහභාගී වෙති.
මේ උත්සවයේ ඇති එක් සුවිශේෂීතම අංගයක් වන්නේ නග්නව පෙරහරකින් නිෂ්ක්‍රමණය කරන යෝගාවචරයන්ය. එයින් සංකේතවත් වන්නේ ලෞකික සැප සම්පත්වලින් මිදීමය. මේ සාධූවරු මේ උත්සවයේ සුබ දිනයන්හි දී බොහෝ විට සිරුරේ සියොලඟ අලු තවරාගෙන රුද්‍රාක්ෂ ඇටවලින් සැරසී, ‘ෂාහි ස්නාන්’ හෙවත් ‘රාජකීය ස්නානය’ නම් චාරිත්‍රානුකූල ස්නානය කිරීමේ අවස්ථාවට සහභාගී වනු පිණිස පෙරහරේ ගමන් කරති.
කුම්භ මේලා උත්සවයේ දැවැන්ත බව සැබවින්ම අදහාගත නොහැකි තරම්ය. 2025 වසරේ ප්‍රයාග්රාජ් හි පැවැත්වෙන උත්සවය සඳහා සති අන්ත සයක් තුළ මිලියන 400 ක් පමණ පිරිසක් ඇදී එනු ඇති බවට විශ්වාස කෙරේ. මේ සා විශාල පිරිසකට නවාතැන් සපයා ගැනීම සඳහා අක්කර දහස් ගණනක් පුරා පැතිර යන පරිදි තාවකාලික නගරයක් බලධාරීන් විසින් ස්ථාපිත කර ඇති අතර එහි කූඩාරම්, සනිපාරක්ෂක පහසුකම්, වෛද්‍ය මධ්‍යස්ථාන සහ ආරක්ෂක අංශ ආදිය ඇතුළත් වේ. සියල්ල කරදරයකින් තොරව පවත්වාගෙන යන්නට නම් කූඩාරම් 150,000ක්, හැකිතාක් වැසිකිලි සහ ආරක්ෂක නිලධාරීන් 50,000 ක් වත් අවශ්‍ය යැයි ගණන් බලා තිබේ. මේ සියල්ල සඳහා මේ වසරේ වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.
බැතිමතුන් එක් රැස්වන අවස්ථාවේ දැවැන්ත බව කොතෙක් ද කිවහොත් අභ්‍යවකාශයේ සිට පවා එය දිස්වන බව පැවසේ. මේ වසරේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගනු ලැබූ ඡායාරූපවල මේ උත්සව භූමිය රාත්‍රී කාලයේ දිස් වී ඇත්තේ ආලෝකය දැල් වී ඇති දැවැන්ත භූමි භාගයක් ලෙසිනි.
කෙතරම් සැලසුම් පැවතිය ද, මෙයට සහභාගී වන දැවැන්ත සෙනග පාලනය කිරීම සැබවින්ම අභියෝගාත්මක කාර්යයකි. පසුගිය දා සිදුවුණු පෑගී මිය යාමේ සිදුවීමෙන් පිළිබිඹු වන්නේ මිලියන ගණනක බැතිමතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඇති දුෂ්කරතාවයය. වසර ගණනාවක් තිස්සේ බලධාරීහු මේ කාර්යය සාර්ථක කර ගැනීම උදෙසා දහස් ගණනක් වූ ආවේක්ෂණ කැමරා පද්ධති, පවතින තත්ත්වය ගුවනේ සිට නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා තාක්ෂණය, බැතිමතුන්ගේ පැමිණීම කළමනාකරණය කර ගැනීම සඳහා ඇතුළු වීමේ සහ පිටවීමේ ස්ථාන බොහෝ ගණනක් ස්ථාපිත කිරීම වැනි පියවර ගණනාවක් ම ගෙන තිබේ. කෙසේ නමුත් පුරෝකථනය කළ නොහැකි තරම් ජනකායක් එකවර පැමිණීමේ දී මෙවැනි අනතුරු සිදුවීමේ හැකියාව සෑම විටම පවතී.
පසුගිය දා සිදු වූ ඛේදවාචකයෙන් සිහිපත් කර දෙන්නේ අනාගතයේ දී එවැනි විපත් නැවත සිදු නොවනු පිණිස අවශ්‍ය පියවර ගැනීම වහ වහා සිදු විය යුතු බවය. ගැඹුරින් මුල් බැස ගත් ආධ්‍යාත්මික සාම්ප්‍රදායයන් සහ දැවැන්ත පිරිසක් කළමනාකරණය කර ගැනීම පිණිස වූ නූතන ක්‍රමවේදයක් යොදවා ගැනිම අතර යම් අභියෝගාත්මක බවක් පවතින නමුත් එය සාර්ථකව ජය ගත නොගත හොත් නැවතත් මෙවැනි ඛේදනීය තත්ත්වයක් අත්විඳීමේ අවදානම පවතින බව පෙනෙන්නට තිබේ.
කුම්භ මේලා උත්සවය යනු හුදෙක් ආගමික උත්සවයක් පමණක්ම නොවේ. එය ඉන්දීය ආධ්‍යාත්මික උරුමය පෙන්වන සංස්කෘතිකමය සංසිද්ධියක් ද වේ. එය මිලියන ගණනක බැතිමතුන්ට සිය ආධ්‍යාත්මික සුවය ලබා දෙන අවස්ථාවකි. මිලියන ගණනක් මෙසේ ඇදී එන්නේ ඔවුන්ගේ සිත් තුළ ඇති භක්තිවන්තභාවය නිසාමය.
පසුගිය දා සිදු වූ ඛේදවාචකයෙන් සිහිපත් කර දෙන්නේ අනාගතයේ දී එවැනි විපත් නැවත සිදු නොවනු පිණිස අවශ්‍ය පියවර ගැනීම වහ වහා සිදු විය යුතු බවය. ගැඹුරින් මුල් බැස ගත් ආධ්‍යාත්මික සාම්ප්‍රදායයන් සහ දැවැන්ත පිරිසක් කළමනාකරණය කර ගැනීම පිණිස වූ නූතන ක්‍රමවේදයක් යොදවා ගැනිම අතර යම් අභියෝගාත්මක බවක් පවතින නමුත් එය සාර්ථකව ජය ගත නොගත හොත් නැවතත් මෙවැනි ඛේදනීය තත්ත්වයක් අත්විඳීමේ අවදානම පවතින බව පෙනෙන්නට තිබේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක