කුරා කුහුඹුන්ට පවා දයාවෙන් ආමන්ත්‍රණය කළ සමාජයකට මොකද මේ වුණේ?

praneetth

සත්ව හිංසනය; සතුන්ට එරෙහි කෲරත්වය පිළිබඳ පුවත් අප රටේ දස අතින් වාර්තා වන අතරේ නවීන ගෝලීය සමාජ ප්‍රවණතාවන් අතුරින් සත්ව අහිංසාව සහ සත්ව හිමිකම් සුරැකීමට ප්‍රමුඛත්වයක් හිමිවෙමින් තිබේ.එය මෙතෙක් අප රටේ නිසි අවධානයකට ලක් නොවූ ත්ත්වයකි. ඒ සම්බන්ධයෙන් ලොව පුරා සමාජ මානව විද්‍යාඥයන් ගේ පොදු ස්ථාවරය වනුයේ සත්ව අහිංසා ප්‍රබෝධය මානව බුද්ධි පරිණාමයේ ප්‍රගමනය මනාව සනිටුහන් කරන්නක් බව ය. ඒ අනුව අපට වටහා ගත හැක්කේ මානව බුද්ධි පරිණාමයේ ප්‍රගමනය සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලාංකේය ජනතාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා නොමැති බවකි.

ශිෂ්ටාචාර ගත වීමට පෙර මිනිසා තම නෛසර්ගික සත්ව ගති එළිපිට විදහා දැක්වූ අතර ශිෂ්ටාචාරයේ මූලික අංගයක් වන මිනිසාට පමණක් ආවේණික විළි, බිය මිනිස් මොළය තුළ රෝපණය වීමෙන් පසු එය මුල් කරගත් ශිෂ්ටත්වය සම්බන්ධ විවිධාංග මිනිස් මොළය තුළට ආරෝපණය විය. එමගින් ශිෂ්ටාචාරගත මිනිසාගේ චින්තන යාන්ත්‍රණය වඩාත් සංවිධිත අයුරින් හැඩ ගැසුණු බව මානව බුද්ධි පරිණාමයේ ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. එහෙත්, එදා මෙදා තුර මෑත සියවස් කිහිපයක් දක්වාම මිනිසා තුළ පවතින එම සහනශීලී ආකල්ප මානව වර්ගයා වෙතට පමණක් යොමු විය යුතු බවටත් මිනිසුන් නොවන අනෙකුත් සත්වයන් හා ප්‍රාණීන් හට භෞතිකමය අගයට වඩා අගයක් හිමි නොවිය යුතු බවටත් ලොව පුරා පොදු සමාජ සම්මතයක් ඇති විණි.

ඒ සඳහා ලොව පුරා පැතිර ගත් ඇතැම් ආගම් වලින් ඉදිරිපත් කෙරුණු “ආත්මය හා මාංශය” යන සංකල්පය ද ඊට බෙහෙවින් බලපෑ බව පෙනේ. මෙහිදී “ආත්මය” යන්නෙන් ජීවිතයක ආධ්‍යාත්මික පක්ෂය හැඳින්වෙන අතර “මාංශය” යනු ලෞකික සහ භෞතික පක්ෂයයි.නමුදු මෙමගින් පළ කෙරුණු ආධ්‍යාත්මය යනු හුදෙක් මිනිසාට පමණක් උරුම වන්නක් මිස සතුනට උරුම නොවන්නක්ය යන සත්‍යතාවට විකෘති ආරෝපණයක් ලබා දුන් පසුකාලීන සමාජය හුදෙක් ආත්මයක් නොමැති මාංශමය පදාර්ථයන් වන සතුන් ඝාතනය කිරීම එතරම් බරපතල කරුණක් නොවේය යන්න ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නංවන ලද්දේ එයට ව්‍යාජ ආගමික ආරෝපණයක් ද ලබා දෙමිනි. ඒ සම්බන්ධයෙන් ලොව පුරා බොහෝ සමාජ මානව විද්‍යාඥයන් ගේ පොදු අනුමානය වනුයේ ඇතැම් ආගමික විශ්වාස හා බැඳි සත්ව ඝාතන පසුකාලීන මානව අවශ්‍යතා මත මිනිසුන් විසින්ම සම්මත කර ගත් ඒවා මිස මූලික ආගමික ඉගැන්වීම් හා සෘජු සම්බන්ධයක් නොමැති ඒවා බව ය.

නමුදු ලොව ආගම් පිළිබඳව සිදු කරන හැදැරීම් වලදී ඒ ඇතැම් ආගම්වල තත්කාලීන භෞතික, පාරිසරික සහ දේශගුණික තත්වයන් යටතේ මිනිසා ගේ ප්‍රයෝජනය පිණිස සත්ව ඝාතනය විවිධ කොන්දේසි වලට යටත්ව නිර්දේශ කොට තිබේ. එහෙත්, එම කොන්දේසි එකි’නෙක පිළිබඳව විමසා බැලීමේ දී ඒවා අපගේ ගැමි වහරට අනුව කිවහොත් “නොකෙරෙන වෙදකමක” ස්වරූපයෙන් පනවා ඇති බවක් හැඟේ. ඉන් පැවසෙනුයේ මිනිසා ගේ ප්‍රයෝජනය උදෙසා වුව කිරීමට අන් කිසිම දෙයක් නොමැති නම් පමණක් සත්ව ඝාතනයකට පෙළඹෙන ලෙස ය.
නමුදු මෙහි දී බොහෝ දෙනා ගේ අවධානයට යොමු නොවන තවත් විශේෂ කරුණක් තිබේ. එනම් මෙහි දී එම ආගම් මගින් ඉතා සීමිත තත්වයන් යටතේ සත්ව ඝාතනය සම්බන්ධයෙන් සිදු කොට ඇති නිර්දේශ හුදු අනුමත කිරීම් නොවන බවකි. නිර්දේශය සහ අනුමැතිය යනු එකි’නෙකට සපුරාම වෙනස් ස්ථාවරයන් බව කිව යුතු ය.

නමුදු මෙවන් තත්වයන් යටතේ වුවද සියවස් ගණනක් තිස්සේ අඛණ්ඩව සිදු වූ මානව බුද්ධි පරිනාමයේ දී මෙම මිහිතලය මිනිසුන්ගේත් සතුන්ගේත් ප්‍රාණීන්ගේත් සම උරුමයක් මිස මිනිසාගේ තනි උරුමයක් නොවේය යන ස්වභාවික යුක්ති ධර්මය මත පදනම් වූ සනාතන ධර්මය කෙමෙන් මිනිස් සිත් සතන් තුළ රෝපණය වී ප්‍රවර්ධනයකට ලක් වෙමින් තිබේ.

මෙය ක්‍රිස්තු පූර්ව හය වන සියවසේ භාරතයේ පහළ වූ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද “යේ කේචි පාන භූතත්ථි තසාවා ථාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ඣිමාරස්ස කානුකථූලා දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සන්තා භවන්තු සුඛිතත්තා” (කෙලෙස් සහිත සත්වයෝ ද, නිකෙලෙස් රහතන් වහන්සේලා ද දිග් ශරීර ඇති සත්වයෝ ද, මහත් ශරීර ඇති සත්වයෝ ද, මධ්‍යම ශරීර ඇති සත්වයෝ ද, කුඩා සත්වයෝ ද, වටකුරු සත්වයෝ ද, දුර සිටින සත්වයෝ ද, ළඟ සිටින සත්වයෝ ද,ඇසට පෙනෙන සත්වයෝ ද ඇසට නොපෙනෙන සත්වයෝ ද, ඉපදුන සත්වයෝ ද, ඉපදීමට සිටින සත්වයෝ ද යනුවෙන් මෙම සියලු සත්වයින්ටම නිදුක්වේවා, නිරෝගිවේවා, සුවපත්වේවා) ආදී වශයෙන් සඳහන් කරණීය මෙත්ත ආදී සූත්‍ර ධර්මයන් ගෙන් පැවසෙන්නක් වුව ද සත්ව අහිංසාව සහ සත්ව හිමිකම් පිළිබඳ නවීන චින්තන ධාරාව බිහි වී වී ඇත්තේ එම සූත්‍ර ධර්ම පදනම් වූ කරුණු වල ආභාෂයෙන් නොවන බවත් මානව බුද්ධි පරිණාමයේ පිබිදීමක් මුල් කොට ගත් මානව චින්තාවක් අනුව බවත් අතිශයින් පැහැදිලි ය.

බුද්ධ කාලීන භාරතයේ විසූ ශාස්තෘ වරයකු වන වර්ධමාන මහා වීර හෙවත් නිගන්ඨ නාථ පුත්ත ද පරම අහිංසාව පදනම් කර ගත් දහම් දෙසූ ශ්‍රේෂ්ඨ ශාස්තෘ වරයෙකි. නමුත් එතුමන් විසින් හඳුන්වා දෙන ලද ජෛන දහමින් නිරූපිත දර්ශනය සහ සදාචාරාත්මක බව ප්‍රායෝගිකත්වය ඉක්මවා අහිංසාවට නැඹුරු වූ බව විද්වතුන් ගේ මතයයි.

ක්‍රි. පූර්ව තුන් වන සියවසේ සිදු වූ මහින්දාගමනය හෙවත් ශ්‍රී ලාංකේය ජන සමාජයට බුදු දහම අවශෝෂණය වීම බුදු දහමේ දාර්ශනික හරයට වඩා එහි සංස්කෘතික සන්දර්භය ශ්‍රී ලාංකේය ජන සමාජය තුළට අවශෝෂණය වීමක් බව පොදු මතයයි.නමුදු මගේ පෞද්ගලික වැටහීම ඊට තරමක් වෙනස් ය. එනම් බුදු සමය ශ්‍රී ලාංකේය ජන සමාජයට අවශෝෂණය වූ අනුරාධපුර රාජධානී සමයේ ආරම්භයේ සිට මේ දක්වාම බුදු දහමේ දාර්ශනික හරය ඉතා සියුම් ලෙස ශ්‍රී ලාංකේය ජන සමාජය තුළට සාන්ද්‍රණය වී ඇති බවකි.

අතීත ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථිකය මුළුමනින්ම පාහේ සරල කෘෂි ශිෂ්ටාචාරයක් මත පදනම්ව ස්ථාපිත වූවකි. බුදු දහමට අනුව අගැයුමට ලක් වන අනේක විධ වෘත්තීන් අතරේ කෘෂිකර්මයට සහ ඒ හා බැඳුණු ගව පාලනයට ප්‍රමුඛස්ථානයක් හිමි වෙයි. ඒ අනුව වෘක්ෂලතා නොමැති ශුෂ්ක දේශගුණික කලාපවල ජීවත් වන්නවුන්ට මෙන් සත්ව මාංශ පදනම් කරගත් ශ්‍රී දිවි පෙවෙතකට යොමු වීමට ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය නොවිණි.

එමෙන්ම, අතීත ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ජීවන රටාව තළ මිනිසා කාමභෝගීත්වය යොමු කරවන සාධක ද ඉස්මතු නොවිණි. ඒ අනුව ඔව්හු කරණීය මෙත්ත සූත්‍රයේ එන අත්ථ කුසල ධර්ම දාහතර මත පදනම් වූ සරල චාම් දිවි පෙවෙතකට පුරුදු පුහුණු වූ බවක් පෙනෙයි. ඔවුන්ගේ මෙම සරල දැහැමි චින්තනය මත පදනම් වූ චර්යා රටාවන් පසුව ජන සම්ප්‍රදායන් බවටත් දෙවනුව ජන සංස්කෘතීන් බවටත් පත් වූ බව නිරීක්ෂණය කළ හැකි මානව විද්‍යාත්මක සාධක බොහෝ ය.

සාක්ෂරතාව ඉතා අල්පව පැවැති අතීත ජන සමාජයේ ගැමියන් ගේ ධර්ම ශාස්ත්‍රීය නිකේතය වූයේ ගමේ පන්සලේ බණ මඩුව ය. සාක්ෂරතාව මත පදනම් වූ ධර්ම විනය පිළිබඳ ප්‍රමාණික දැනුමකින් හෙබි භික්ෂුන් වහන්සේ ලා යම් ප්‍රමාණයකින් හෝ සැදුම්ලත් සංඝ සමාජයක් එවක පැවැති අතර දවස පුරා හේනේ, කුඹුරේ වෙහෙස වන ගොවි පවුල් තම ආධ්‍යාත්මික සාපිපාසාව නිවා ගැනීමට පැමිණි අතීත ගැමියා ගමේ පන්සලේ බණ මඩුවේ දී කරුණු වශයෙන් ගොනු කරගත් දහම් දැනුමට වඩා බෞද්ධ දර්ශනය මගින් සාන්ද්‍රණය වන ප්‍රඥා සම්භාරය උකහා ගත් බවට ගොනු කරගත හැකි සාක්ෂි බොහොමයකි.

“විෂ ඝෝර සර්පයා දැක නාරු මෝඩයා” යනු අප ජන වහරේ ප්‍රකට කවි දෙපෙළක් වන අතර මෙය සත්ව ඝාතනය දිරි දෙන්නක් බව නූතනයේ බොහෝ දෙනකුගේ වැටහීම ය.

එහෙත්, සැබැවින් ම එය අපගේ පැරණි ගැමි විඥානය තුළින් සමාජ ගත වූ දහම් ගැටයක් පදනම් කරගත් සිව්පද කවියකි.

දෙරණ මත තුඹසයා
තුඹස තුළ නාගයා
විෂ ඝෝර සර්පයා
දැක නාරු මෝඩයා යනු එම කවියයි.

මින් පැවසෙනුයේ මිනිස් ශරීරය පදනම් කර ගත් පංචස්කන්ධය තුළ හටගන්නා පංච උපාදානස්කන්ධයන් නිසා තෘෂ්ණාව නම් විෂ ඝෝර නාගයා සැඟ වී සිටින බව හා වහා ඒ තෘෂ්ණාවෙන් අත්මිදිය යුතු බවකි.නමුදු ඒ ගැඹුරු දහමේ එන දාර්ශනික හරය අද වන විට කෙතරම් විකෘති වී තිබේදැයි බලමු.

අතීත ශ්‍රී ලාංකේය කෘෂිකර්මයේ වී ගොවි තැන හැරුණු කොට දෙවන තැන හිමි වූයේ හේන් ගොවි තැනට ය. කුඹුර යනු නිත්‍ය ලෙස සකසා ඇති වගා බිමක් වන මුත් හේන යනු වනගහනය යම් පමණකට හෙළි පෙහෙළි කොට වගා කළ යුතු ස්වභාවික වෘක්ෂලතා සහිත භූමියකි. එහෙත්, මෙම හේන් එළි කිරීම් පවා ආවාට ගියාට නොකළ යුත්තක් ය යන විශ්වාසය එදා මෙදා තුර ජන විඥානය තුළ තදින්ම රෝපණය වී තිබිණ. හේනක් කෙටීම පිණිස වනය හෙළි කිරීමේ කාරිය ආරම්භ කළ යුත්තේ යායේ රාළ නමින් හැඳින්වුණු ජන ප්‍රධානියකු විසිනි. හේන් වගාව සඳහා පළමුවෙන් ගසක් කැපීම “වල් අත්ත කැපීම” යනුවෙන් හඳුන්වන ලදී. එය හුදෙක් ලෞකික කාර්යයක් නොවූ අතර ඊට ආධ්‍යාත්මික පක්ෂයක් ද එක් කිරීමෙන් තමන් ද සොබා දහමේ නිමැවුමක් මිස සොබා දහමේ සතුරකු නොවන බව පැවසෙන දාර්ශණික පණිවිඩය සමාජ ගත කිරීමට තරම් අතීත ගැමියාගේ දාර්ශනිකත්වය මුවහත් වී තිබිණ.

රුක් අත්තන පෙතන් පලු බෝ මී කහට
බක් මී දිවුල් කොළ බෝ දාඹු මී බට
හික් දඹ ලෝලු කොබ්බෑ කූරටි දෙමට
අක්වල් අත අල්ලනු මරු මුවා කොට

යන ජන කවියෙන් පැවසෙන අන්දමට වල් අත්ත කැපීම පිණිස යොදා ගත යුතු වෘක්ෂ නාමාවලියක් සේම එහි දී අනුගමනය කළ යුතු චාරිත්‍රාවලියක් ද වෙයි. එසේ වල් අත්ත කැපීමෙන් පසු හේන් වගාව සහ වනය හෙළි පෙහෙළි කිරීමෙන් පසු ඒවා ගිනි තබා බිම සකස් කිරීමට පෙර සති, දින, වරු ගණන් පැවසෙන යාදිනි කිහිපයක් ද විය. ඒ අතුරින් කැළ එළවුම් යාදින්න වශයෙන් හැඳින්වෙන හේන් ගොවියන් විසින් මුර ගා පවසන මෙම යාදින්නේ ස්වරූපය මඳක් විමසා බලමු.

“උඩින් එන සතුන්, බිමින් එන සතුන්, කුරගානා සතුන්, කන්කුණ්ඩෝ, ගොම්බෙල්ලෝ,හකරැල්ලෝ, හින්නෝ, කූඹියෝ, මෙකී නොකී ප්‍රාණයට ඇතුළත් සියළුම ජාතිවල සත්වයෝ අද පටන් මාසයක්/ සතියක්/ තුන් වරුවක්/ දෙවරුවක්/පැයක් පැය භාගයක් යන්නට පළමුවෙන් අහස මහා මේ පර්වතයේ උසට ගිනි ජාලාවක් එවන්නෙමි. ඒකට අසු නොවී අප අත වරද නොතියා, අප කමා කරවා යහතින් ජීවත් වෙන්න පුළුවන් පිළිවෙලක් බලා කියා ගෙන ඇළකින් දොළකින් එතෙර වී මහා නිල්වන් කැලයක් බලා පලෝ හූ…හූ….හූ…..”.

මෙම යාදින්න මගින් අතීත ගැමියන් කුරා කුහුඹුන් පවා දයා භරිත ලෙස ආමන්ත්‍රණය කෙරෙන ආකාරය අනුව අපගේ අතීත ජන සමාජය තරම් අවිහිංසාවාදී ජන කොටසක් ලෝකයේ අන් කවර හෝ රටක, දේශයක සමාජයක සිටියේ ද යන්න සෙවීම පිණිස විශේෂ විමර්ශනයක් කළ යුතු ය.එමෙන්ම ඒ උතුම් මානව චින්තාවලිය අද වන විට මොන තරම් විපරිමාය වී තිබේද?

විශේෂයෙන් පසුකාලීනව අප සමාජය තුළ සාධනීය වශයෙන් පිළිගත හැකි සමාජ ,ආර්ථික, සංස්කෘතික පරිනාමයන් හි නොවිධිමත් අතුරු ඵල වශයෙන් මේ වන විට ශ්‍රී ලාංකේය ජන සමාජය තුළට අධිපරිභෝජන වාදය මඟින් අවශෝෂණය වී ඇති තෘෂ්ණා භරිත බව මත ඉහත සඳහන් අහිංසක චාම් සහනශීලී ආකල්ප අප සමාජයෙන් තුරන්ව ඇති අන්දම ද අප විසින් සිතා බැලිය යුතු ය.එමෙන්ම පවත්නා තත්වයන් යටතේ වුව යළි ඒවා ආරෝපය කර ගැනීමට ඇති සකල විධ අවකාශයන් පිළිබඳව ද සංතීක්ෂණ බුද්ධියෙන් විමසා බැලිය යුතු ය.

එමෙන්ම වර්තමානයේ අප රටේ මානව හිමිකම් සම්බන්ධ අර්බුදයක් පැන නැඟී ඇති බව ද නොරහසකි.එහෙත්,මානව විද්‍යාත්මක ප්‍රවේශයකින් ඒ දෙස බලන විට කිව යුත්තේ ස්වාභාවික යුක්තිය මත පදනම් වූ සත්ව හිමිකම් ප්‍රවර්ධනය නොකොට මානව හිමිකම් පමණක් තහවුරු කිරීමට වෙර දැරීම මුලක් නැති ගසක් සිටුවීම වැනි නිරර්ථක ක්‍රියාවක් බවකි.එම ජනතා ආකල්ප පෙරැලිය සම්බන්ධයෙන් ගල්ගමුවේ ඉදිවන ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය අනාගතයේ දී ඉතා සාධනීය කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

(පසුගිය 09 වන දා ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගල්ගමුවේ සෙනරත්ගම පැවැති උත්සවයේ දී සිදු කළ ප්‍රධාන දේශනය ඇසුරිනි)

එතෙර - මෙතෙර