ඇල්ල පාර (රාජධානී පිවිසුම් මාර්ගය) ඔස්සේ ගල්ගමුව පසු කොට අනුරාධපුරය දෙසට යන ඔබට එහි පූලංචිය වැවට මායිම් ව පිහිටි ගිමන් හල පරිසර උද්‍යානය තුළ ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය දැක ගත හැක. මේ නගරය හරහා ගමන් කරන බොහෝ පිරිසක ගේ එක් සංචාරක ස්ථානයක් බවට ද මෙය පත් වෙමින් පවතී. මේ ස්මාරකයෙන් ප්‍රධාන වශයෙන් ම සංකේතවත් වන්නේ 2010 වසරේ නො මනා මානව ක්‍රියාකාරකම් නිසා මරණයට පත් වූ ‘සියඹලංගමුවේ ඇතා’ සහ 2018 වසරේ ඝාතනයට ලක් වූ ‘දළ පූට්ටුවා’ නම් හස්තීන් දෙදෙනාගේ සජීවී රූපකායන් ය. මේ දෙදෙනා ම ගල්ගමුව ආශ්‍රිතව ජීවත් වූ හස්තීන් ය. මේ ආකාරයට මිනිසුන් අතින් කෲර ලෙස ඝාතනයට ලත් වූ සතුන් වෙනුවෙන් ස්මාරක තැනීමේ ඇති ප්‍රයෝජනය කුමක් දැයි ඇතැම් විට යම් කෙනෙකුට සිතෙන්නට හැකි ය. කෙසේ නමුත්, දැන් අප පවසන්නට සැරසෙන ‘මැල්චික්’ නම් සුනඛයාගේ කතාව ඇසූ පසු මිනිසුන් අතින් සැහැසි ලෙස මරණයට පත් ව ස්මාරක තැනුණු ලොව ප්‍රථම හා එකම අවස්ථාව මෙය නොවන බව ඔබ තේරුම් ගනු ඇත.
රුසියානු බසින් ‘කුඩා කොලුවා’ යන අරුතැති ‘මැල්චික්’ කිසිදු හිමිිකරුවෙක් නොමැති අයාලේ යමින් ජීවත් වූ වීදි සුනඛයෙක් විය. වසර තුනක පමණ කාලයක් තිස්සේ ඌ ජීවත් වූයේ රුසියාවේ අගනුවර වූ මොස්කව් හි උප දුම්රිය පොලක් වූ මෙන්ඩෙලෙයෙව්ස්කායා ආශ්‍රිත ප්‍රදේශයේ ය. මැල්චික් දුම්රිය සේවකයන්ගේ, දුම්රිය පොළට නිතර පැමිණෙන්නන්ගේ සහ අවට වූ මල්, දුම්කොල වෙළෙඳ සැල්වල හිමිකරුවන්ගේ සුරතලයට ලක් වෙමින් ඇති දැඩි විය. ඔවුන්ගේ කරුණාවෙන් ලද කෑම බීමවලින් මැල්චික් සුවසේ ජීවත් වූයේ ය. දුම්රිය පොළට පැමිණෙන සුරාසොඬුන්ට සහ පිටස්තර සුනඛයන්ට මැල්චික් කැමැත්තක් දැක්වූයේ නැත.
කාලය මෙසේ ගෙවී ගියේය. 2001 දෙසැම්බර් මාසයේ මැල්චික්ගේ ජීවිතයට එක් අඳූරු දවසක් උදා කළේ ය. එදින 22 හැවිරිදි තරුණියක වූ යුලියානා රොමනෝවා සිය ස්ටැෆඩ්ෂයර් බුල් ටෙරියර් වර්ගයට අයත් සුරතල් සුනඛයා ද කැටිව මේ දුම්රිය පොළ අසලින් ගමන් කරමින් සිටියා ය. මේ අවස්ථාවේ දී රොමනෝවා තම සුනඛයා, නිදා සිටි මැල්චික් දෙසට උසිගැන්වූවා ය. උසිගැන්වූවාට පසු මැල්චික් කරා දිව ආ රොමනෝවා තම අත් බෑගයේ දමා ගෙන සිටි පිහියක් අතට ගෙන මැල්චික්ගේ කොන්දට, පපුවට සහ බඩට සය වතාවක් ඇන්නා ය.
මේ අවස්ථාවේ දී අසල වෙළෙඳ සැලක හිමිකරුවෙක් මේ අමානුෂික සිදුවීම දැන එය නතර කරන්නට දිව ආවත් ඒ වන විටත් සියල්ල සිදු වී අවසන් ව තිබිණි. මැල්චික්ගේ අවසන් හුස්ම පොද මෙන්ඩෙලෙයෙව්ස්කායා දුම්රිය පළ පසුකොට හිස් අවකාශයට එක් ව තිබිණි. පොලිසිය සහ ගිලන් රථයක් පැමිණිය ද එයින් පලක් වූයේ නැත. අනෙක පොලිසිය මේ කෲර ඝාතනය කළ තරුණියට විරුද්ධව කිසිදු ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත. ඇය නිරුපද්‍රිත ව එතැනින් නික්ම ගොස් තිබිණි. කිසිවකුට හෝ කරදරයක් හිරිහැරයක් නොමැතිව, සියලු දෙනාගේ ආදරය කරුණාව මැද ජීවත් වූ මැල්චික් මෙසේ කෲර ලෙස ඝාතනයට ලක් වූයේ මන්දැයි සොයා බැලීම සඳහා විධිමත් පොලිස් පරීක්ෂණයක් හෝ සිදු කෙරුණේ නැත.
කාත් කවුරුත් නොමැති අසරණ මැල්චික්ගේ මේ අවාසනාවන්ත ඉරණම බොහෝ දෙනෙකුගේ මතකයෙන් සෙමින් වියැකී ගියත්, මොස්කව් හි ප්‍රකට පුවත්පතක් වූ ‘ඉස්වෙස්ටියා’ හි ගවේෂණාත්මක් වාර්තාකාරිනියක වූ ඉරිනා ඔසියොර්නායා මෙය සිය මතකයෙන් බැහැර කරන්නට කැමැති වූයේ නැත. මැල්චික් මෙතරම් කෲර ලෙස ඝාතනයට ලක් වූයේ මන්දැයි සොයන්නට ඇගේ සිත ඇයට බල කර සිටියේ ය. ඇය මැල්චික් පිළිබඳ සිය පුවත්පතට ලිපි මාලාවක් සම්පාදනය කරන්නට පටන් ගත්තා ය. ඒ අතරේ මැල්චික්ව ඝාතනය කළ රොමනෝවා යනු තරුණ මෝස්තර නිරූපණ ශිල්පිනියක බව ද සොයා ගත්තා ය.
ඔසියොර්නායා කෙසේ හෝ රොමනෝවා සම්බන්ධ කරගන්නට ද සමත් වූවා ය. රොමනෝවා ඒ අවස්ථාවේ පැවසූ දෙය ඔසියොර්නායා මෙසේ වාර්තා කොට තිබිණි.
“දැන් මේ කිසි දෙයකින් වැඩක් නැහැ. මට කියන්න තියෙන එකම දේ දැන් මම මේ ගැන පසුතැවෙනවා කියන එක විතරයි. කොහොම වුනත් තව සතියකින් මම රැකියාවකට ස්පාඤ්ඤයට යනවා. මම හිතන්නේ මට මේ හැමදෙයක්ම අමතක කරන්න පුළුවන් වෙයි. අඩුම තරමේ ඔහේ මගෙ පස්සෙන් පන්නන එකවත් නතරවෙයිනේ එතකොට.”
මේ පිළිබඳ තවදුරටත් කළ විමර්ශනවලින් සොයාගන්නට ලැබුණේ රොමනෝවා සය හැවිරිදි වියේ සිට ‘භින්නෝන්මාදය’ (schizophrenia) නම් මානසික රෝගී තත්ත්වයෙන් පීඩා විඳීමින් සිටි බව ය. ඇයට හෝ ඇගේ පවුලට අයත් ව සිටි සුනඛයන් බොහෝ දෙනෙකුට ඇය හිංසා පීඩා හෝ ඝාතන හෝ සිදු කොට ඇති බවත් සොයා ගන්නට හැකි විය.
ඔසියොර්නායා මේ කෲර ඝාතනයේ සියලු තොරතුරු සිය පුවත්පත ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ අතර මෙයට වෙනත් පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවලින් ද පුළුල් ප්‍රචාරයක් ලැබීම විශේෂත්වයක් විය. මෙය දැන ගත් මොස්කව් නගර වැසියෝ මැල්චික් පිළිබඳ මහත් සංවේගයට පත් වූවා පමණක් නොව කෝපයට ද පත් වූහ. මේ පිළිබඳ නගර වැසියන් සමග වසරක පමණ කාලයක් තිස්සේ උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කළ ඔසියොර්නායා, මේ ඝාතනය සිදු කළ රොමනෝවා අධිකරණය දක්වා රැගෙන එන්නට සමත් වූවා ය. රොමනෝවා අධිකරණය ඉදිරියේ වරදකාරියක බව තහවුරු වූ අතර ඇය වසරක කාලයක් මනෝචිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු කරන්නට අධිකරණය නියෝග කළේය. එයින් පසුව රොමනෝවාට කුමක් සිදුවූයේ දැයි කිසිවකු දන්නේ නැත.
මැල්චික්ට ගෞරවයක් පිණිසත්, මොස්කව් හි සිටින දහස් ගණනක් වූ අයාලේ යන වීදි සුනඛයන්ගේ ඉරණම සිහිපත් කරනු පිණිසත් ස්මාරකයක් ගොඩනැගීමේ සැලැස්මක් මෙයින් පසුව ක්‍රියාත්මක විය. මේ සඳහා අරමුදලක් පිහිටුවූ අතර එයට රුසියාව තුළින් මෙන්ම වෙනත් රටවලින් ද පරිත්‍යාග ගලා එන්නට විය. රුසියාවේ ප්‍රකට කලාකරුවෝ ද මේ සඳහා නො මසුරු දායකත්වයක් ලබා දුන්හ. රුසියානු මූර්ති ශිල්පීන් කණ්ඩායමක් මැල්චික් වෙනුවෙන් ස්මාරකය ගොඩනගන්නට පටන් ගත්හ.
මේ ලෝකඩ ස්මාරකය ‘දයාව’ (Compassion) ලෙස නම් තැබුණු අතර මෙන්ඩෙලෙයෙව්ස්කායා දුම්රිය පොළ ආශ්‍රිතව මැල්චික් ඝාතනයට ලක් වූ ස්ථානයේ ම එය ඉදි කරනු ලැබිණි. එය 2007 පෙබරවාරි 17 වැනිදා නිරාවරණය කරනු ලැබිණි. මේ උත්සවය සඳහා රුසියාවේ ප්‍රකට කලාකරුවන් රැසක් සහභාගී වූහ. ස්මාරකය පාමුල රුසියානු බසින් මෙවැනි වැකියක් සටහන් කොට තිබිණි.
“මේ දයාවේ ස්මාරකය නිවෙස් අහිමි සුනඛයන් සහ මිනිසුන් අතර වූ සබැඳියාවට උපහාරයක් වේවා.”
එදා සිට අද දක්වා මේ දයාවේ ස්මාරකය දුම්රිය සේවකයන්, දුම්රිය පොළට පැමිණෙන්නන්, සුනඛයන්ට ආදරය කරන්නන් ආදී සියලු දෙනාගේ ගෞරවය සහ ආදරය දිනා ගත් ස්ථානයක් බවට පත්ව තිබේ. මොස්කව් නගරය කරා පැමිණෙන බොහෝ සංචාරකයෝ මෙය නරඹන්නට අමතක නො කරති. බොහෝ දෙනෙක් ස්මාරකය පාමුල මල් තබා යනු දකින්නට ලැබේ. ලෝකඩ ස්මාරකයක් බවට පත් වූ මැල්චික්ගේ හිස අත ගා යන්නට බොහෝ දෙනෙක් අමතක කරන්නේ නැත. මැල්චික්ගේ නැහැය ස්පර්ශ කිරීම වාසනාව ගෙන දෙන්නක් බවට විශ්වාසයක් ද පැතිර තිබේ. 2019 වසරේ රුසියානු තැපැල් දෙපාර්තමේන්තුව මැල්චික්ට උපහාර පිණිස මේ ලෝකඩ ස්මාරකයේ ඡායාරූපයක් ඇතුළත් කොට මුද්දරයක් ද නිකුත් කරනු ලැබිණි.
සතුන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම පිළිබඳ සෙසු ලෝකයා දරන ආකල්පය එසේය. මීට අමතරව වෙනත් බොහෝ කාරණා හේතු කොට ගෙන සතුන් වෙනුවෙන් ලෝකයේ තවත් බොහෝ ස්ථානවල ස්මාරක ඉදි වී තිබේ. කෙසේ නමුත් සතුන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම සම්බන්ධව ඇතැමුන් තුළ කුකුසක් පහළ වන්නේ අප රට තුළ සතුන් කෙරෙහි සැබෑ දයානුකම්පාවක් දකින්නට නො ලැබීම නිසා ද යන ගැටලුව මතු වේ. කෙසේ නමුත් දියුණු මානවීය ලක්ෂණ සහිත සමාජයක මෙවැනි ක්‍රියාකාරකම් ඉස්මතු වීම නිරායාසයෙන් ම සිදු වේ. බුදු දහම වැනි අවිහිංසාව, දයාව, කරුණාව පෙරදැරි කරගත් දර්ශනයක් සහිත ශ්‍රී ලාංකේය ජනසමාජයේ එවැනි දියුණු මානවීය ලක්ෂණ මතුනොවීම අවාසනාවන්ත තත්ත්වයකි. කිව හැකි එකම දෙය වන්නේ පැය විසිහතර මුළුල්ලේ ම බුදු බණ ඇසුව ද තවමත් අප ජනසමාජය බුදු දහමේ හරයාත්මක මගට පිවිස නැති බවය.
නිරංජන් චාමින්ද කරුණාතිලක