කේන්දර වලින් අපරාධ කරුවන් හඳුනා ගන්න පුළුවන් ද?

ගම්පහ දිස්ත්‍රික්කයේ රදළ පෙළපතකට අයත් ඔහු පසුගිය දිනයෙක මට හමු වූයේ අපගේ හිතවතකුගේ නිවසේ පැවැති පින්කමකදී ය. මේ වන විට හැට පස් වැනි වියේ පසු වන ඔහු තමන් සතු පාරම්පරික උරුමයන් වන වතුපිටි බලා කියා ගනිමින් තම සේවක කාරකාදීන් ද සමඟ තම පැරණි වලව්වේ ජීවත් වෙයි. ඔහුගේ බිරිඳ සහ දූ දරුවෝ මේ වන විට ලොව දියුණු රටක පුරවැසි භාවය හිමි කරගෙන එහිම ජීවත් වෙති.එම වලව් හිමියා සමඟ කතාබස් කරමින් සිටින අතරේ යම් හේතුවක් මත මා ජ්‍යොතිර්වේදයට සම්බන්ධ වූවකු බව ඔහුට පැවසීමට මට සිදු විය. එවිට ඔහු කියා සිටියේ මේ වන විට තමන් යටතේ තිස් දෙනකු පමණ විවිධ රැකියාවන්හි යෙදෙන බවත් තමන් ඒ සෑම කෙනකුගේම කේන්දර පරික්ෂාවකින් පසු ඔවුනට එම රැකියා අවස්ථා හිමිකර දී ඇති බවත් ය.
’‘ඉස්සර අපේ මී මුත්තා කෙනෙකු අපේ වලව්ව ඇතුළෙම මරලා දාලා තිබුණලු. මේ සිද්ධිය කෑගහගෙන ගිහින් මුළු ගමටම කියලා තියෙන්නේ මී මුත්තා ළඟ හිටපු හොඳම සේවකයා. පස්සේ මී මුත්තාගේ අවසන් කටයුතු එහෙම ඉවර වුණාට පස්සේ පොලීසිය අර සේවකයාගෙන් ප්‍රශ්න කරනකොට තමයි පොලිසියට ඒ මනුස්සයා ගැන සැකයක් ඇවිත් තියෙන්නේ. පස්සේ බලනකොට මී මුත්තා ළඟ තිබුණු රන් රිදී මුතු මැණික් හොරකම් කරවන්න හොර කල්ලියක් වලව්වට එවලා තියෙන්නේ ඒ සේවකයාමලු. පස්සේ කොහොම හරි ඒ හොර කල්ලිය අතින් අපේ මී මුත්තා මැරිලා. මේක හැංගිලා බලාගෙන හිටපු අර සේවකයා තමයි ඊට පස්සේ අන්න හාමුව වලව්ව මැද්දේ මරලා දාලා කියලා කෑගහගෙන ගම පුරා කියාගෙන ගිහින් තියෙන්නේ. කොහොම හරි පස්සේ ඒ සේවකයාත් හිරේට නියම වුණාලු. ඊට පස්සේ ඒ මී මුත්තාගේ පුතා, ඒ කියන්නේ අපේ පප්පගේ තාත්තා නිකමට වගේ අර සේවකයගේ කේන්දරේ බලවලා තියෙනවා. එතකොට තමයි ඒ කේන්දරේ තිබිලා තියෙන්නේ ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම මිනීමැරුමක් කරනවා. එහෙම නැත්නම් මිනී මැරුමකට සම්බන්ධ වෙනවා කියලා.”එම වලව් හිමියා කීවේය. ඊට පසුව තම පියා එම වලව්වේ සේවය කරන සියලුම සේවකයන්ගේ කේන්දර පරීක්ෂා කොට ඔවුන් මිනීමරුවන් නොවන බව තහවුරු කර ගත් අන්දමත් පියාගේ එම සිරිත අනුව දැන තමන් ද සමීපයේ සේවයට පැමිණෙන සෑම අයකුගේම ජන්ම පත්‍ර පරික්ෂා කොට ඔවුන් මිනීමරුවන්, අපරාධකරුවන් නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් සේවයට බඳවා ගන්නා අන්දම මා හමුවේ කීවේය.එම වලව් හිමියාගේ ප්‍රකාශය අනුව යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමෙන් ඒ තැනැත්තා මිනීමරුවකු හෝ අපරාධකරුවකු වන බව නිශ්චිතව කිව හැකිද? මෙය ජ්‍යොතිර්වේදය නොදත් සේම සිද්ධාන්තමය ජ්‍යොතිර්වේදය පිළිබඳ හැදෑරීමක් කොට නොමැති බොහෝ දෙනකු තුළ පැන නගින පැනයකි. 1970 දශකයේ මැද භාගය තෙක් අප රටේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක විය.එහි දී එසේ මරණ දණ්ඩනයට නියමවූවන් ගේ ජන්ම පත්‍ර ඇසුරින් ඔවුන් අපරාධ වලට පෙළඹවූ ග්‍රහ යෝග විස්තර කෙරෙන ලිපි එවක ජ්‍යොතිෂ පුවත්පත් වල පළ විය.ඒ වන විට එම මරණ දණ්ඩනය ලබා දීම පොදු සමාජයේ අවධානයට යොමුව තිබූ බැවින් එසේ මරණ දඬුවම් ලද්දවුන් අපරාධ කරුවන් කිරීමට බලපෑ ග්‍රහ යෝග පිළිබඳව දැන ගැනීමට බොහෝ දෙනෙක් උනන්දු වූහ.ඒ අතරින් සමහරකු තමන්ට ද එවැනි අපරාධ කරුවකු වීමට සිදුවන ග්‍රහ පිහිටීම් තිබේදැයි දැන ගැනීමට ඒ ලිපි සම්පාදනය කළ ජ්‍යොතිර්වේදීන් හමුවට ගිය බව ද අසන්නට ලැබිණ.මෙය එම ජ්‍යොතිර්වේදීන්ට ඉතා හොඳ ධනෝපායන මාර්ගයක් විය.
අපි සෑම කෙනෙකුම වැව් දැක ඇත්තෙමු. බැලූ බැල්මටම වැව යනු යම් දියවරකි.නැතහොත් ජලස්කන්ධයකි. එමෙන්ම මෙම ජ්‍යොතිර්වේදය ද බැලූ බැල්මට නව ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වයන් මත ප්‍රධාන වශයෙන් පුද්ගලයන්ගේ ජීවිත ඉරණම විනිශ්චය කෙරෙන ශාස්ත්‍රයකි. නමුත් සැබැවින්ම වැව යනු ඒ ජලස්කන්ධය පමණක් නොවේ. වැව් පිටිය නම් වන ස්ථානය වෙත ඒ දියවර එක්වන ක්‍රමවේදයක් තිබේ. එමෙන්ම ඒ දියවර ඒ වැව් පිටිය නම් ස්ථානය මත සුරැකෙන ක්‍රමවේදයක් ද තිබේ. එපමණක් නොවේ එම වැව දිය පිරී ඉතිරී යන විට එය පිටාර ගලන ක්‍රමයක් ද තිබේ. ඒ අනුව බලන විට වැව යනු එක්තරා පද්ධතියක්, සංයුතියක් මිස එක් නිශ්චිත ස්ථානයක් නොවේ. බැලූ බැල්මට වැව යනු නිශ්චිත ස්ථානයක් ලෙස දර්ශනය වුව ද වාරි කර්මාන්තය පිළිබඳ දැනුම් තේරුම් ඇත්තකුට ඒ එක් එක් වැව් සම්බන්ධ පද්ධති හා සංයුති පිළිබඳ ආකෘතිය වටහා ගැනීමට පුළුවන. මෙම ජ්‍යොතිර්වේදය ද ඊට අතිශයින් සමානය. මෙහි බැලූ බැල්මට සත්‍යයක් සේ පෙනෙන දෙය සත්‍යයක් සේම අසත්‍යයක් වීමට ද පුළුවන. ඒ අනුව සත්‍යය සොයා තරමක්
හෝ ගැඹුරට යාමට නම් ඒ සම්බන්ධ සෛද්ධාන්තික දැනුමක් අවබෝධයක් ජ්‍යොතිර්වේදියා සතුව තිබිය යුතුම ය. නොඑසේ නම් සිදු වනුයේ “කළු මිනිසුන් නරකයි, සුදු මිනිසුන් හොඳයි,උස මිනිසුන් අවංකයි, මිටි මිනිසුන් කපටියි” වැනි අන්ධභූත නිගමනවලට එළැඹීමට ය.ඒ සම්බන්ධයෙන් ඉතා කනගාටුවෙන් කිව යුතු කරුණක් ද තිබේ. එනම් වර්තමානයේ ජ්‍යොතිර්වේදයේ නියුතු බොහෝ දෙනකු එලෙස සෛද්ධාන්තික ජ්‍යොතිර්වේදය හැදෑරීමකින් තොරව ජ්‍යොතිර්වේදී වෘත්තියේ යෙදෙන බව ය. මෙය හරියට මාර්ග නීති නොදැන රිය පැදවීමකට සමාන යැයි මට සිතෙයි.
කුජ හෙවත් අඟහරු දුර්වල හෝ අසුබ නම් ශනි අසුබව දෘෂ්ටි හෙළයි නම් එවන් ජන්ම පත්‍ර හිමියන් මිනීමැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ ආදියට පෙළඹිය හැකි බවත් මෙම ග්‍රහයන්ට අදාළ දශාවන්හි ඒරාෂ්ටක යෙදී ඇත්නම් තත්වය වඩාත් බරපතළ බවත් ජන්ම පත්‍රය පරීක්ෂාවක දී බැලූ බැල්මට පෙනී යා හැක. එහෙත් නිසි අන්දමින් ජ්‍යොතිර්වේදය භාවිත කරන කිසිවෙක් එය පලාපල ප්‍රකාශ කිරීමේ නිමිත්තක් සේ භාවිත නොකරති. නමුත් ඉහත ග්‍රහ යෝග, සඳු, ගුරු, බුධ යන ග්‍රහයන් සමඟ සංයෝග වී හෝ දෘෂ්ටිගත වී ඇත්නම් ඉහත සඳහන් පාපකාරී බලය අව ප්‍රමාණ හෝ නිශේධ වනු ඇත.මීට අමතරව එවැනි මූලික ලක්ෂණ සහිත ජන්ම පත්‍රයක් ප්‍රති පරීක්ෂාවක දී මතු කර ගත හැකි ඊට ඉඳුරාම වෙනස් තත්වයන් කිහිපයක් ද වෙයි. ඒ මූලික වශයෙන් මිනී මරන, මංකොල්ල කන, පව්කාර මිනීමරුවන් සම්බන්ධයෙන් සේම මිනිසුන් තුළ පවත්නා වැරදි දෘෂ්ටින්, පව්කාර සිතිවිලි විනාශ කොට ඔවුන් යහ මගට ගත හැකි විප්ලවවාදීන්ගේ ග්‍රහ පිහිටීම් ද බොහෝ විට මීට සමාන ලෙස පිහිටිය හැකි බැවිනි. ඒ වෙනස වටහා ගත හැක්කේ සූක්ෂ්ම පරීක්ෂාවකිනි. ඒ අනුව ඉහත සඳහන් වලව් හිමියා කී අන්දමට ඔහු තම ජීවිතාරක්ෂාව තකා ජන්ම පත්‍ර මගින් මිනීමරුවන් නොවන පුද්ගලයන් තේරීමට ගත් උත්සාහය කිසිසේත් ශාස්ත්‍රීය පදනමකින් යුතු වූවක් නොවේ.එමෙන්ම කිසියම් ජන්ම පත්‍රයකින් යම් යම් ග්‍රහ පිහිටීම් පමණක් හුවා දක්වා තමන්ට අවශ්‍ය කරුණ පමණක් සපථ කොට පුවත් පත් ආදියෙන් දැක්වීමට ද ශාස්ත්‍රයේ නිපුන ජ්‍යොතිර්වේදියකුට පුළුවන එහෙත් එය ද “දඩ මස් ගොරකා කිරීමේ හා ගොරකා දඩමස් කිරීමේ” න්‍යායට අනුව ජ්‍යොතිර්වේදය අවභාවිත කිරීමක් පමණක් බව ද ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය.                      හේම ශ්‍රී අමරසිංහ

 

ඉරා අදුරුපට