හේතුවාදී අදහස් දරන මා හොඳින් දන්නා මාධ්‍යවේදියකු මීට වසර කිහිපයකට ඉහත මා හමුවට පැමිණ එක් පැනයක් අසා සිටියේ ය.එනම් යමකුගේ කේන්දරයක් පරීක්ෂා කිරීමෙන් ඒ තැනැත්තා ජීවත්ව සිටීද?නැද්ද ? යන්න නිශ්චිතව කිව නොහැකිද යන්න ය. එමෙන්ම මීට කලකට පෙර එක් පුවත්පතකට ලිපියක් ලියූ විද්වතකු පවසා සිටියේ ද ජීවත් වන හා මියගිය පුද්ගලයන් දස දෙනකුගේ ජන්ම පත්‍ර පිළිගත් ජ්‍යොතිර්වේදීන් කිහිප දෙනකු අතට පත් කොට ඒ කේන්දර හිමි එක් එක් පුද්ගලයා ජීවත්ව සිටී ද? නැතහොත් මිය ගොසින් ද? යන්න පිළිබඳ විමර්ශනය කිරීමෙන් ජ්‍යොතිර්වේදයේ සත්‍යතාව පිළිබඳ මෙරට සාමාන්‍ය ජන සමාජයට යම් වැටහීමක් ලබා දිය හැකි බවකි.එහෙත්, ඔවුන්ගේ මෙම ප්‍රකාශවලට පදනම් වී ඇත්තේ ජ්‍යොතිර්වේදය පිළිබඳ සැබෑ තත්ත්වය ජනතාව හමුවේ අනාවරණය කිරීමට ජ්‍යොතිර්වේදීන් සහ ඒ නමින් පෙනී සිටින පුද්ගලයන් අසමත්ව සිටීම ය. මාරක යනු ජ්‍යොතිර්වේදයේ එන වැදගත්ම දර්ශකයකි.වරාහමිහිර විසින් ක්‍රිස්තු වර්ෂ සය වන සියවසේ ලියන ලද “බෘහත් සංහිතා” නම් සිද්ධාන්ත සංග්‍රහයේ ද මාරක පිළිබඳව සඳහන් වෙයි.සංස්කෘත භාෂාවේ ද “මාරක” යනුවෙන්ම දැක්වෙන එහි ප්‍රධාන අදහස මරණය බව පැහැදිලි ය.එහෙත්, වසංගත රෝග ආදී තවත් දැඩි අයහපත් ප්‍රතිවිපාක පෙන්නුම් කිරීම පිණිස ද මෙම මාරක යන වදන යොදා තිබේ.එක් එක් පුද්ගල කේන්ද්‍රීය ග්‍රහ බලය ශූන්‍ය හෝ නිශේධ වීම මෙම මාරක යෝග ලෙස සැලකෙයි.එය බොහෝ කේන්ද්‍රවල දක්නට ලැබෙන තත්වයකි.එහෙත්, එය හුදෙක් ඒ පුද්ගලයාගේ මරණය පිළිබඳ ග්‍රහ දර්ශකයක් නොවන බව සැබෑ ජ්‍යොතිර්වේදීහු දනිති.
සුප්‍රකට භාරතීය ජ්‍යොතිර් විද්‍යා විශාරද එන්. කේ. වෙන්කතරාමන් සූරීන් ජ්‍යොතිර්වේදය හා සම්බන්ධ සමාජ මිථ්‍යාවන් පිළිබඳ අගනා කෘතියක් ලියා පළ කළ විද්වතෙකි. 1937 වර්ෂයේ දී පළ වු එම කෘතිය මගින් ජ්‍යොතිර්වේදය යනු ලොව පවත්නා සෑම තත්ත්වයක්ම ඒ අයුරින්ම පෙන්වා දිය හැකි පරමාදර්ශී ශාස්ත්‍රයක්ය යන මිථ්‍යාව ද සමාජයේ පැතිර පවත්නා බව පෙන්වා දී තිබේ. එමෙන්ම වෙන්කතරාමන් සූරීන් ඉන් වැඩිදුරටත් පෙන්වාදෙනුයේ ජ්‍යොතිර්වේදය පිළිබඳ එවැනි දුර්මත සමාජය පුරා පැතිර යාමෙන් ඒ සම්බන්ධ සමාජය තුළ පවත්නා ගෞරවනීයත්වය හා විශ්වාසය පළුදු වී යා හැකි බවයි.
අද වන විට මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය ශ්‍රී ලාංකේය ජන සමාජයට කොතෙක් ආදේශ කළ හැකි ද? යන්න විමසා බැලීම බුද්ධිමත් පාඨක ඔබට භාර කරමි. තම ප්‍රකාශයෙන් කියැවුණු කිසිම දෙයක් වැරදිලා නොමැති බවට සටෝපකාරී තේමා පාඨ සහිත පුවත්පත් පවා පසුගිය කාලයේ ජනප්‍රියව තිබීමත් ඒවාට අද දවසේ එළැඹී ඇති දුර්දසාවත් විමසීමෙන් ජ්‍යොතිර්වේදය තුළට කඩා වැඩුණු මෙම ප්රයෝගකරුවන් සහ නූගතුන් ඊට සිදු කොට ඇති විනාශයේ තරම වටහා ගත හැක. භාරතීය පශ්චාත් වෛදික උපනිශද් ග්රන්ථ වල මිනිසකුගේ පැවැත්ම “ප්‍රාණය” හා “ජීවය” යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන් කොට තිබේ.එහි ප්‍රාණය යනු මිනිසාගේ ජෛවමය පැවැත්ම ය.ජීවය යනු ඔහු ගේ ජීවන රවාව ය.ඒ අනුව යමකුගේ ප්‍රාණය ඉතිරිව තිබිය දී ජීවන රටාව මුළුමනින් බිඳ වැටීම ද මාරකයකි.නමුත් ඔහු ඒ මාරකය අත් විඳිනුයේ ජීවත්ව සිටියදීමය.ඒ අනුව යමකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කොට ඒ තැනැත්තා ජීවත්ව සිටීද ? යන්න නිශ්චිතව ප්‍රකාශ කළ හැකි සිද්ධාන්තමය කරුණු කිසිවක් ජ්‍යොතිර්වේදය තුළ නොමැති බවත් එවන් මිථ්‍යාවන් ජ්‍යොතිර්වේදීන්ගේ නමින් පෙනී සිටින නූගතුන්ගේ අදහස් සහ ප්‍රෝඩාකාරයන්ගේ ඇස්බැන්දුම් පමණක් බවත් මම ඒ මාධ්‍යවේදියාට වටහා දුනිමි.
ජ්‍යොතිර්වේදයට අනුව පුද්ගලයකුගේ ජිවිතය පිළිබඳ සේම මරණය පිළිබඳව ද කරුණු දැක්විය හැක. ඒ සඳහා වන ග්‍රහ පිහිටීම් එක් එක් පුද්ගලයාගේ ජන්ම පත්‍රවල තිබේ. යමකුගේ මරණය සිදුවන ක්‍රම රවි, චන්ද්‍ර ලග්නය සහ ජන්ම පත්‍රයේ අටවැන්න යන ස්ථානවලින් පෙන්නුම් කෙරේ. එහි දී එම මරණය හදිසි අනතුරකින් සිදුවන්නක් ද,නැතහොත් දිගුකාලීන රෝගාබාධයක් මුල්කොට සිදුවන්නක් ද ආදී වශයෙන් වෙන් කොට දැක්වීම පිණිස වන කරුණු ද ජ්‍යොතිර්වේදය තුළ තිබේ. එමෙන්ම එම ජන්ම පත්‍රය හිමි තැනැත්තා මිනී මැරුමකින් මරණයට පත්වේද? නැතහොත් මරණීය දණ්ඩනයකට ලක් වේද? යන්න පිළිබඳවත් ‘ඉඟි කෙරෙන’ ග්‍රහ පිහිටීම් ජන්ම පත්‍රවලින් දැකගත හැක.නමුත් ඉහත සඳහන් ග්‍රහ බලපෑම් නිසා යමකු ඒ ආකාරයේ මරණයකට පත්වීමට ඇත්තේ යම් සම්භාවිතාවක් පමණි. එමෙන්ම ඉහත සඳහන් මාරක ග්‍රහ බලපෑම් සහිත පුද්ගලයන් ජීවත්ව සිටිය දී එවැනි ග්‍රහ බලපෑම් නොමැති පුද්ගලයන් මරණයට පත් වීමේ අවකාශයන් ද තිබේ. ඒ සම්බන්ධ ජ්‍යොතිර්වේදී නියමයන් ද තිබේ.
එමෙන්ම ජ්‍යොතිර්වේදය යනු එලෙස කේවල හෙවත් ‘හුදු’ ක්‍රමයට නිශ්චිත අනාවැකි කිව හැකි ශාස්ත්‍රයක් නොවන බවත් එසේ අනාවැකි කීමෙන් එය පවසන්නාට, අනාවැකි අසන්නාට සේම සමස්ත ජ්‍යොතිර්වේදයටම අගතියක් මිස සුගතියක් නොවන බවත් පැරණි ජ්‍යොතිර්වේදී ආචාර්යවරුන් පිළිගත් සේම ඒ අනුව කටයුතු කොට ඇති බව ද පෙනේ. මීට දශක කිහිපයකට පෙර ද එම ශාස්ත්‍රීය විධි ක්‍රම උල්ලංඝනය කළ විලම්බීතකරුවන් සිටි මුත් ඔවුනට එවක සමාජයේ නිසි පිළිගැනීමක් ලැබුණේ නැත. නමුත් අද සිදු වී ඇත්තේ එහි අනෙක් පැත්ත ය.අද වන විට ජ්‍යොතිර්වේදය මනෝ විද්‍යාත්මක ත්රස්තවාදයක් ලෙස ද භාවිතා වනුයේ එබැවිනි කිසියම් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයක මාරකයක් තිබූ පමණින් ඔහු මිය යන බවට නිශ්චිත අනාවැකි කීම ආචාර ධර්ම විරෝධී දෙයකි.ඊට හේතුව ජනම පත්රයේම වෙනයම් ආකාර වලින් ඊට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඉස්මතු වීම ය.නමුදු ඒ සඳහා ගැඹුරු විශ්ලේෂණයක් කළ යුතු ය.ඒ ජන්ම පත්‍රයේ මාරක ඇති පුද්ගලයන් යහතින් ජීවත් වීමටත් මාරක නොමැති පුද්ගලයන් මිය ගොස් සිටීමේත් යම් සම්භාවිතාවක් පවතින බැවිනි.ඒ අනුව යමකු මා වෙත ජන්ම පත්‍රයක් ඉදිරිපත් කොට මේ තැනැත්තා ජීවත්ව සිටී ද ? නැතහොත් මිය ගොසින්ද? යන පැනය යමකු ම’වෙතින් විමසා සිටියහොත් ඊට නෝනාද? පොල්ලද? යන අන්දමේ සරල පිළිතුරක් දී එම තත්ත්වය නිවැරදිව කිරීමේ යම් හැකියාවක් මා වෙත හිමි වනු ඇත.
ඒ අනුව එවැනි අවස්ථාවක ඒ පුද්ගලයාගේ ජන්ම පත්‍රයේ ඇති ඒ ඒ කාලවලට අදාළ මාරක ග්‍රහ පිහිටීම් සලකා ඔහුට ඒ බවක් සෘජුව නොපවසා ජ්‍යොතිර්වේදය අනුව ඉන් වැලකීමේ උපාය මාර්ග පෙන්වා දෙනු පෙන්වා දෙනු මිස යමකුගේ ජන්ම පත්‍රයක් බලා ඔහු සැබැවින්ම මිය ගියේද? නැද්ද? යන්න පෙන්වා දීමේ හැකියාවක් මා තුළ තබා සමස්ත ජ්‍යොතිර්වේදය තුළවත් නොමැති බව මම ඒ මාධ්‍යවේදියාට කීවෙමි.
හේම ශ්‍රී අමරසිංහ