කොයි මොහොතක හෝ රන්ජන්ට ජනපති සමාව

දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති විශේෂ සමාව යටතේ අද(04)නිදහස් කෙරෙන බවට ආරංචි පැතිර ගිය ද අදත් එය සිදු නොවීම පිළිබඳව බොහෝ දෙනකුගේ කතා බහට ලක් වී තිබේ.

මේ අතර ඔහුට අද දිනයේ ජනපති සමාව හිමි නොවීම සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සහ තවත් ස්ථාන කිහිපයක් විරෝධතා ද සංවිධානය කොට තිබිණ.

නමුත්, රජයට පක්ෂපාතී ආරංචි මාර්ග පවසනුයේ රාමනායක මහතාට නිදහස දීම සම්බන්ධයෙන් ජනාධිපති වරයා අවසන් තීරණයකට එළඹීමටත් පෙරම රාමනායක මහතා තම ෆේස් බුක් ගිනුම යොදා ගනිමින් ඒ සඳහා ප්‍රසිද්ධියක් දීම මත ඒ තුළින් අනිසි දේශපාලන වාසියක් අපේක්ෂා කරන බවට කිසියම් පිරිසක් ජනාධිපති වරයාට දන්වා ඇති බවය.

බන්ධනාගාර රැඳවියකු වන රාමනායක මහතා සමාජ ජාල මාධ්‍යයක් ඔස්සේ එලෙස ජනතාව ඇමතීම බරපතල වරදක් සේම සමාජය හමුවේ වැරදි පූර්වාදර්ශයක් ලබා දෙන්නක් බව ද එම පිරිස ජනාධිපති වරයා හමුවේ පවසා ඇත.එහෙත්,රාමනායක මහතා ගේ නිල ෆේස් බුක් වෙබ් අඩවියේ සටහන් කොට තිබූ “වැලිකඩින් එලියට එනකොට මුලින්ම මට ආදරේ කරපු මා වෙනුවෙන් කැපවුනු ඔබ දකින්නයි කැමැත්ත” යන සඳහන සහ ඔහුගේ රුවින් යුතු බැනරය රාමනායක මහතාගේ සමීපතමයන් විසින් සකසා ඔහුගේ නිල ෆේස් බුක් වෙබ් අඩවියට ඇතුළු කරවන ලද්දක් බව ඒ මහතාට සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එය මුල් කොට වෙනම විමර්ශනයක් කළ යුතුව තිබියදී එය ඔහුට ජනපති සමාව දීම නතර කිරීමට හේතුවක් නොවන බව ඔව්හු පෙන්වා දෙති.

එමෙන්ම රාමනායක මහතාට සමාව දීමට එරෙහිව ජනපති වරයාට නිරන්තරයෙන් කරුණු ඉදිරිපත් කළ පාර්ශවයට පසුගිය කාලයේ රාමනායක මහතා ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ සේම මෑත භාගයේ විශේෂ ජනාධිපති සමාව ලැබූ පුද්ගලයකු අයත් බව ද දැන ගන්නට ඇත.

මේ අතර ජනාධිපති වරයාගේ සමීපතමයකු සේම ප්‍රකට ව්‍යාපාරිකයකු ද වන නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු තවත් පිරිසක් රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් විශේෂ කැපවීමකින් ක්‍රියා කරන අතර මේ දිනවල සේනාධිපති මහතාට කොවිඩ් ආසාදනය වීම මත එම ක්‍රියාදාමය නතර වන්නට ඇතැයි ද පැවසෙයි.

අද වන විට රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්,කලා කරුවන් ඇතුළු විශාල පිරිසක් ඉල්ලා ඇති පසුබිමක ඒ සම්බන්ධ්යෙන් ජනාධිපති වරයාගේ විශේෂ අවධානය යොමුව ඇති අතර එළඹෙන කවර හෝ මෙහොතක රාමනායක මහතාට ජනාධිපති විශේෂ සමාව හිමි වනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග මඟින් දැන ගන්නට තිබේ.

කාලීන පුවත්