කොවිඩ් මරණ අඩු කරන අපූරු ක්‍රමයක් ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීහු සොයාගනිති

ලෝකයේම සංඛ්‍යාත්මකව ඉතා වැදගත් වන; කොවිඩ් මරණ ප්‍රමාණය නිසි ලෙස වාර්තා නොවන පරිදි මෘත දේහ වලට මෙතෙක් සිදු කළ කොවිඩ් පරීක්ෂණ මින්පසු නවත්වන ලෙස ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මේ නවතම ක්‍රමයට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව මින්පසු ඉබේටම “අඩු වී” යනු ඇත.

මෙම තීරණය නිසා කොවිඩ් මරණ නිසි පරිදි හඳුනා නොගෙන කොවිඩ් වෛරසය ද මියගියවුන්ගේ සියලු ඥාතීන් අතර “පහසුවෙන් බෙදා හැරිය හැකි” ක්‍රමයකට එම බලධාරීන් දොරටු විවෘත කර ඇත.

එම තීරණය පැහැදිලි කළ කොවිඩ් මෘත දේහ කළමනාකරණ කමිටු සභාපති “සියත” රූපවාහිනියෙන් කියා සිටියේ මෙම තීරණයට හේතු ගණනාවක් තිබෙන බවකි. ඉන්පසු ඔහු පැවසුවේ එයට හේතුව යම් මරණයක් කොවිඩ් කියා නම් කිරීමේ දී එම මරණකරුගේ ඥාතීන්ට සිදුවන අපහසුතා නැති කිරීමට පහසු ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස තමන් කළ යෝජනාවකට අනුව සෞඛ්‍ය බලධාරීන් එම තීරණය ගත් බවයි.

සාමාන්‍යයෙන් මෙවැනි තීරණ ගන්නේ කොවිඩ් පාලනය කරන සෞඛ්‍ය කමිටුවකින් විනා මළ සිරුරු හසුරුවන කමිටුවලට උවමනා විදිහට නොවේ.ඒ අනුව එලෙස ලොව නිකුත් කළ පලමු චක්‍රලේඛය මෙය විය හැකි ය.

ඇන්ටිජන් පරීක්ෂණ පවා නිසි පරිදි සිදු නොවෙන මෙවැනි සමයක කොවිඩ් මාරයාගේ දරුණු බව අප දැනගන්නා එකම සාධකය මෙතෙක් සිදු කළ මෘත දේහ කොවිඩ් පරීක්ෂණ වලට භාජනයකිරීම ය .මින්පසු අපි කොවිඩ් වල නියම තතු දැන ගන්නේ දිවැසින්ද?නැතිනම් අංජනම් බැලීමෙන්ද?මෙය ඔවුන්ගේ කැකිල්ලේ තීරණ වලට එකතු වූ තවත් එකකි.

නොයෙක් ආකාරයේ සෞඛ්‍ය නීති විහිළුවට ලක් කරමින් පසුගිය දිනවල පැවැත්වූ විවිධාකාර උත්සව මගින් ඇති තරම් හිතේ හැටියට කොවිඩ් පැතිරුණි. දැන් මෙම තීරණයත් සමග තව වේගවත්ව රටපුරා නොමිලයේම කොවිඩ් බෙදා හැරීම පහසුවෙන් සිදුවේ.

එන්නත්කරණය ගැන අධි විශ්වාසය තබා ඇති බලධාරීන්ට අමතකව ඇත්තේ තවමත් මෙරට පූර්ණ එන්නත්කරණය ලබා නොගත් විශාල පිරිසක් සහ ළමුන් ද විශාල පිරිසක් ඇති බවකි.

අප රෝහල් පද්ධතියට පාලනය කර ගත නොහැකි ලෙස කොවිඩ් පැතිරී ගියොත් එහි ප්‍රතිඵලයක් ලෙස අපේ අහිමි වන ජීවිත ගැන වගකීම මුළුමනින්ම එම බලධාරීන් සතුවනු ඇත.

දුෂ්කර පළාතක රෝහලක් සැක මරණයකදීම ඥාතීන්ට දේහය එහා මෙහා රැගෙන යාමට සිදුවීම සහ මෙතෙක් සිදු කළ ප්‍රතිඵල පමාවීම සහ එතෙක් දේහය ඥාතීන්ට භාර නොදීම ජනතාවට මුහුණ පෑමට සිදුවන ගැටලුවකි.

නමුත් රටක සිදුවන නියම කොවිඩ් මරණ සංඛ්‍යාව නොදැනීම ඊට වඩා භයානක ය. සියලු පාලන ක්‍රම සැලසුම් කිරීම් සඳහා එම සංඛ්‍යාව දැන සිටීම ඉතා වැදගත්ය.

දවසට දහසක් කොවිඩ් මරණ තිබෙන රටක රට වැසියා ඒ බව නොදැන ඔවුන් විනෝදෙන් , සැහැල්ලුවෙන්, සෞඛ්‍ය නීති නොතකමින් සිටීම තුළින් එරට කොවිඩ් මාරයාට බිලි ගැනීමට රුකුල් දීමක් සිදු වෙනවා නේද?

බලධාරීන් පවසන පරිදි ඔය ප්‍රශ්නයට රජයට ඔය ලබා දී ඇති විසඳුම හැර වෙන විකල්ප විසඳුම් තිබේ.

දැනටත් එමපරීක්ෂණ සිදුකරන්නේ සැක සහිත මරණ සම්බන්ධයෙන් පමණි. උදාහරණයක් ලෙස මෙම සැක සහිත මරණ සඳහා සාම්පල ගැනීමට මහ රෝහලක් ආශ්‍රිතව ජංගම ර්‍ රථ දෙක තුනක් යම් පලාතකට වෙන්කර ඒවායේ දුරකථන අංක එම පලාතේ සෑම රෝහලකටම ලබා දී , ඒවා පැමිණ සාම්පල ලබා ගත් පසු පැය 12කින් ප්‍රතිඵල ලබා දීම සිදු කළ හැකි දෙයකි.

එයින් මළ සිරුර රැගෙන එහා මෙහා යාමට වැනි මහ ජනතාවගේ අපහසුතා දුරු වනු ඇත.එමෙන්ම එක් දිනකට මෙවන් සැක සහිත මරණ සිදු වන්නේ සීමිත ගණනකි.එහෙත්,මේ සිදු කොට ඇත්තේ සොටු දියර ගැලීම වළකාලීමට පිණිස නාසය කපා දැමීම වැනි වැඩකි.

විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ

එතෙර - මෙතෙර