කොවිඩ් වසංගතයෙන් පසු දරුවන් අතර දියවැඩියාව වැඩි වෙලා

කොවිඩ් වසංගතයත් සමග ඇති වී තිබෙන අලුත් සෞඛ්‍ය ගැටලුවක් ගැන ඇමරිකාවේ එක්තරා ආයතනයක් විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. JAMA Network Open නැමැති ආයතනයක් පසුගිය දා කර තිබූ මෙම අධ්‍යයනයෙන් හෙලි වී තිබුණේ කොවිඩ් වසංගතයත් සමග කුඩා දරුවන් සහ යෞවනයන් අතර දියවැඩියා රෝගය වැඩි වශයෙන් වාර්තා වීමට පටන්ගෙන ඇති බවයි. ඔවුන් පවසන ආකාරයට මේ ආකාරයෙන් ඉහළ ගොස් ඇත්තේ 1 වැනි වර්ගයේ දියවැඩියාව (Type 1 Diabetes) ය.

කුඩා දරුවන් අතර දියවැඩියාව කොවිඩ් වසංගතයට කලින් ද යම් වැඩි වීමක් පෙන්නුම් කරමින් තිබිණි. නමුත් එය වසරකට සියයට 3 ක පමණ වැඩි වීමක් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එහෙත් කොවිඩ් වසංගතයේ මුල් වසරේ එය කලින් තිබුණාට වඩා සියයට 14 ක වැඩි වීමක් පෙන්වා තිබිණි. දෙවැනි වසරේ මෙම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යමින් සියයට 27 ක වැඩි වීමක් පෙන්වා තිබූ බව JAMA Network ආයතනයේ අධ්‍යයනයෙන් හෙළි වී තිබේ. මෙය අවධානය යොමු විය යුතු බැරෑරුම් තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සම්බන්ධයෙන් වහාම සැලකිල්ල යොමු කළ යුතු බව විශේෂඥයෝ පෙන්වා දෙමින් සිටිති.

1 වර්ගයේ දියවැඩියාව (Type 1 Diabetes) හටගන්නේ රුධිරයේ සීනි පාලනය කිරීම සඳහා අවශ්‍ය වන ඉන්සියුලින් හෝමෝනය ප්‍රමාණවත් තරමින් නිපදවිමට අගන්‍යාශය අසමත් වීම නිසා ය. ඊට හේතු වන්නේ අගන්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛල සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් විනාශ කරනු ලැබීම යි. එය සිදුවන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සිදුවන වැරදීමක් නිසා ය. මෙම තත්ත්වය සුව කිරීම සඳහා තවමත් ඖෂධයක් සොයාගෙන නැත.

කොවිඩ් වසංගතයත් සමග ඉහත කී ආකාරයෙන් දියවැඩියාවෙන් පෙලෙන දරුවන් වාර්තා වීම ඉහළ යාමට හේතු ගැන ද විවිධ මත පළ වෙමින් තිබේ. එක් මතයකින් පැවසෙන්නේ කොවිඩ් රෝගයට ගොදුරුවන දරුවන්ගේ සිරුරු තුළ සිදුවන යම් විපර්යාසයක් දියවැඩියාව ඇති කිරීමට හේතු වනවා විය හැකි බවයි.

කුඩා කාලයේ සිරුරට ඇතුළු වන සමහර විෂබීජ නිසා ඇතැම් රෝග තත්ත්වයන් වැලකී යන බව දෙවැනි මතය ඉදිරිපත් කරන අය පෙන්වා දෙති. දියවැඩියාව ද එලෙස වැලකී යා හැකි රෝග තත්ත්වයකි. නමුත් කොවිඩ් කාලයේ බොහෝ දෙනා අනුගමනය කළ දැඩි සෞඛ්‍ය ආරක්‍ෂක පියවර නිසා ඉහත කී ආකාරයේ විෂබීජවලට දරුවන් නිරාවරණය නොවූ බවත්, ඒ නිසා දියවැඩියාව වැනි තත්ත්වයන්ට එරෙහිව ලැබුණු ආරක්‍ෂාව අහිමි වූ බවත් මෙම පාර්ශ්වවල අදහස යි. කෙසේ නමුත් මේවා තවමත් සියයට සියයක් තහවුරු කළ අනුමානයන් නොවේ.

JAMA Network ආයතනයේ ඉහත කී අධ්‍යයනය තුළින් අනාවරණය වී ඇති තත්ත්වය ගැන දියවැඩියාව පිලිබඳ විශේෂඥයන් විශාල අවධානයක් යොමු කර ඇති බව පෙනී යයි. එම පසුබිම තුළ ඔවුන් මව්පියන්ට අවවාද කරන්නේ තම දරුවන් තුළින් දියවැඩියා රෝග ලක්‍ෂණ පළවන්නේදැයි වඩාත් විමසිලිමත් වන ලෙස ය. තෙහෙට්ටුව, නිතර පිපාසය දැනීම, වැඩි වශයෙන් මුත්‍රා කිරීමට අවශ්‍ය වීම, කෙට්ටු වීම වැනි ලක්‍ෂණ ගැන අවධානයෙන් පසුවන ලෙස මෙම විශේෂඥයෝ උපදෙස් දෙති. රෝග ලක්‍ෂණ කල් ඇතිව හඳුනා ගැනීමෙන් සහ ඉක්මනින් නිසි ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් දියවැඩියාව බරපතල තත්ත්වයට පත්වීම වලක්වා ගත හැකි බව ඔවුහු අවධාරණය කරති.

මේ අතර ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය (International Diabetes Federation) පෙන්වා දෙන ආකාරයට ලෝකයේ වයස අවුරුදු 20-79 අතර වැඩිහිටි ජනගහණයෙන් සියයට 10.5 ක් දියවැඩියාවෙන් පෙලෙමින් සිටියි. 2045 වසර වන විට ලෝකයේ ඉහත කී වයස් කාණ්ඩයේ සෑම 8 දෙනෙකුගෙන්ම එක් අයකු දියවැඩියා රෝගියකු වනු ඇති බවට ද ඉහත කී සංවිධානය අනාවැකි පළ කර තිබේ. එය සියයට 46 ක පමණ වැඩි වීමක් වනු ඇත. මේ අනුව එම වයස් කාණ්ඩයේ මිලියන 783 ක් පමණ දියවැඩියා රෝගීන් වනු ඇති බව සඳහන් වේ.

ලෝකයේ දියවැඩියා රෝගීන්ගෙන් වැඩි දෙනෙකු 2 වැනි වර්ගයේ දියවැඩියා (Type 2 Diabetes) රෝගීන් ය. දියවැඩියා රෝගීන්ගෙන් සියයට 90 ක් පමණ දෙනාට තිබෙන්නේ එම වර්ගයේ දියවැඩියාව යි. එය තරබාරු බව, අක්මාවේ ක්‍රියාකාරිත්වයේ ගැටලු, ජානමය තත්ත්වයන්, ජීවන රටාවේ ගැටලු ආදිය නිසා ඇති වන්නක් ලෙස සැලකේ. ආහාර රටාව පාලනය කිරීම, ව්‍යායාම කිරීම ආදිය තුළින් මෙම දියවැඩියාව බොහෝ දුරට පාලනය කර ගත හැකි වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර