දේශපාලනය පිළිබඳ දුහුනකු හෙවත් ආධුනිකයකු වූ ගෝඨාභය රාජපක්ෂ “වැඩ කරන අපේ විරුවා” ව්‍යාජ සන්නාමයෙන් අප රටේ ජනපති පදවියට පත් කිරීමෙන් මෙරට හැට නව ලක්ෂයක් ඡන්ද දායකයන් කළ අනුවණකම මේ වන විට මෙරට දේශපාලන වංශ කතාවට එක් වී හමාර ය. උපන් හදවියකට වාහනයක් නොදුටු අයකුට රියැදුරු කමක් භාර දීමක් වැනි ඒ අන්තරාකාරී ක්‍රියාවලිය පිළිබඳව කිසිත් නොදත් ඔහු ද ශ්‍රී ලංකා රාජ්‍යය නමැති ඒ වාහනයේ රියැදුරු අසුනට නැගී අතනින් මෙතනින් කූරු ගාන්නට ගොස් එහි තිරිංග බුරුල් කර ගත්තේ ය.ඒ පන්සිය පනස් ජාතකයේ එන කතා ප්රවෘත්තියකට අනුව වඩු පට්ටලයකට නැගී එහි ලී දෙබල මැද වලිගය තිබිය දී එය මෑත් කොට තිබූ කූඤය ගැලවූ මොඩ වඳුරු නාම්බාගේ කතාවට නව අර්ථ කථනයක් දෙමිනි. තම නිල කාලය තුළ ඔහු විසින් දිගින් දිගටම කරන ලද අමන මරිමෝඩකම් දාමය ඒවාට එරෙහිව රටේ ජනතාව ජනපති මැදුර වැටලීමට සැරසුණු පසුගිය වසරේ ජූලි මස 09 දා තම තනතුර හැර දමා කොළඹ ජනාධිපති මන්දිරයේ පස්සා දොරින් පලා යාමත් සමඟ නිමා විය. නමුදු එල්.ටී.ටී.ඊ. යුද්ධයේ වීරයා වශයෙන් ව්‍යාජ විරුදාවලියක් ලබා සිටි ඔහුගේ සැබෑ තත්වය එමගින් මුළු රටටම වැටහුණු අතර ඔහුගේ අතිශය අඥාන අදූර්දර්ශී දේශපාලනමය තීන්දු තීරණ නිසා ඒ වන විට ද අප රටේ ජනතාව කුසගින්නේ මිය යාමට ආසන්න මට්ටමක් තෙක් තත්වය බැරෑරුම් වී තිබිණ. එනිසාම ඉන්පසුව ඔහු විසින් අග්‍රාමාත්‍ය පදවියට පත් කරන ලද රනිල් වික්‍රමසිංහ බලයට පත් වූ සැනින් “අනේ අපේ රටේ මිනිස්සුන්ට කෑමට මොනවා හරි දෙන්නැ”යි ලෝක ආහාර සංවිධානයෙන් ඉල්ලීමක් පවා කොට තිබිණ.
නමුදු අද වන විට අප රට ඉකුත් කාලයේ පැවැති ඒ අතිශය අන්තරායකාරී යුගයෙන් මදින් මඳ අත් මිදෙමින් තිබේ. අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලබන ඇතැම් දේශපාලන තීන්දු තීරණ රටේ ප්රජාතන්ත්රවාදය හා අනාගතය සම්බන්ධයෙන් බෙහෙවින් නරක අහිතකර සහ අන්තරායකාරී බවට විපක්ෂය නිතර දෙවේලේ හඬ ගා කියයි.ඒ ඔවුන් සතු ප්රජාතන්ත්රවාදී අයිතිය භුක්ති විඳිමිනි. එහි යුක්තායුක්ත භාවය කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා විසින් රටේ ජනතාවට නිරාහාරව මිය යන්නට සළසා තිබූ ඉඩකඩ කෙමෙන් අහුරාලීමට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට කවරාකාර හෝ හැකියාවක් තිබූ බව සෘජුව හෝ අනියමින් පිළිගත යුත්තකි. ගෝඨාභය රාජපක්ෂ එවන් අමනෝඥ අදූරදර්ශී පාලනයකට අවතීර්ණ වූයේ අත්තනෝමතිකව නොවේ. එවක ඔහු වටා රැඳුණු නොයෙක් තරාතිරම්වල විවිධ පිරිස් වල අවවාද අනුශාසනා සේම ‘උඩ ගෙඩි’ ද පිළිගනිමිනි. එහෙත්, ඒ පිරිස රාජපක්ෂ පවුලට සේවය කළ උපදේශකයන් නොවුණු අතර කල් ඉකුත් වූ පරම්පරා සාටකය නම් කුණු ලේ පැහැති රෙදි කඩක් ගෙල වට දමාගෙන “රාජපක්ෂ රජ පවුලේ” මීළඟ කිරුළ හිමි කුමාරයා තමන් යැයි සිතා සිටින නාමල් රාජපක්ෂ එය විස්තර කරන ලදේ ‘බාප්පි තාත්තිව අමතක කරලා තනියම ගමනක් යන්න ගියා. ඒකයි එයාට වැරදුණේ’ යනුවෙනි.
ඒ කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ මෙරට ජන ජීවිතවලට මරු වැල් ඇදීමට උපස්ථම්භක වූ ඇතැම් කේවට්ටයන් අද ආගිය අතක් නැත. විශේෂයෙන් ඔහුගේ පාලන සමය තුළ සිදු කළ බරපතලම අමන මරිමෝඩ දේශපාලන තීන්දුව වූ මෙරට වගාවන් සඳහා වූ සියලු රසායනික පොහොර සහ කෘත්‍රිම පලිබෝධ නාශක තහනම උපන් හැටියේ දරුවකුට ඉඳුල් කටගෑමකටත් වඩා නොගැලපෙන ක්‍රියාවක් යනුවෙන් පොදු ජනත හඬක් නැංවෙද්දීත් ඔහු වටා රැස්ව සිටි කපටි කේවට්ටයෝ එය නෑසෙන්නට ඔහුගේ සවන් පත් තම දෑත් වලින් වසා සිටියාට සැක නැත. එහෙත් එහි අලුත්ම ජවනිකාව එය නොවේ. ඒ සමයේ රජයේ මැති ඇමතිකම දරමින් ජනතාවට මරුවැල් ඇදීමට මුල් වී ක්‍රියා කළ කෙළ තොළු දේශපාලනඥයන් කිහිප දෙනෙකු ගේ මුවගුළු වැසි දිය පොළවට වැටීමට ආසන්නයේ විවර වන මැඩියන් ගේ කටවල් සේ යළි විවර වී ඔවුන් ගේ “බක බක” හඬ යළි මතු වීම ය.මේ වන විට කිසිදු බයකින් සැකයකින් තොරව ඔවුන් පවසා සිටිනුයේ වර්තමානයේ දක්නට ලැබෙන මේ සහනශීලී තත්වය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ;පොහොට්ටුවේ දේශපාලනික උපාය මාර්ග නිසා ඇති වූ සාධනීය තත්වයක් ලෙසය.
එක්තරා වනාන්තරයකට පිටස්තර වනයකින් ආ සද්දන්ත හස්ති රාජයෙක් ඇතුලු වී එහි වටපිට පිරික්සනු පිණිස හාත්පස සැරිසරන්නට විය. කලින් ඒ වනයේ ඇතකු ගැවසී නොමැති බැවින් වන අකුල්වලින් මුළුමනින් වැසී තිබූ ඒ වනය ඒ ඇතා ඒ මේ අත ඇවිදීම නිසා තරමක් එළි පෙහෙළි විය. මෙය ඒ වනයේ සිටි මුවන්, ගෝනුන් වැනි සතුන් ගේ සංචාරයන් සඳහා තරමක පහසුවක් ද විණි. ඇතා මේ කටයුතු අවසානයේ නැවත ඒ වන ගැබ සංචාරය කරන විට කොහේදෝ සිටි කටුස්සකු ඒ ඇතාගේ වලිගයේ එල්ලී පසුව කුම්හස්තලය මතට නැඟ වනයේ සෙසු සතුන්ට පෙනෙන සේ උජාරුවෙන් පෙනී සිටිමින් ‘කොහොමද? අපේ වැඩ; හොඳයි නේද?’යනුවෙන් අසා සිටියේලු.
අප රටේ සෑම දේශපාලන පක්ෂයකම අඩු වැඩි වශයෙන් කට හැකරයෝ කෙළ තොල්ලෝ සිටිති විකල්ප වාමාංශික පක්ෂ ද එවැන්නවුන් ගෙන් හිස් නොවන බව එම පක්ෂ තුළින් නැගෙන විවිධ විෂම ප්‍රකාශවලින් පෙනී යයි. නමුදු ඒවාට සාපේක්ෂව පසුගිය කාලයේ බලය අත්පත් කරගෙන සිටි සහ මේ වන විට බලය අත්පත් කර ගෙන හිඳින ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂවල එවැනි කට හැකරයන්, කෙළතොල්ලන් බහුල බව ඉහත සඳහන් ප්‍රකාශ වලින් පෙනෙයි. “කටත් නැත්නම් බල්ලෝ ඇද ගෙන ගිහින්” යන ජන වහරට මුළුමනින්ම සැසඳෙන ඔවුන් තම මූකරිකම කෙලතොළු වාචාලකම අවියක් කර ගනිමින් ජනතාව හමුවට ඒම එසේ පවසන එවුන් ගේ නිර්ලජ්ජි බව සේම ඒවා අසන්නවුන් ගේ ද ලජ්ජා සහගත බව අව ප්‍රමාණ කරවන්නකි. එනිසා එවැනි කට හැකර කෙළතොළු දේශපාලන වසලයන් අප රටේ දේශපාලන භූමියෙන් සදහටම අතු ගා දැමීම යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා වන මූලිකම පියවර වනු ඇත.ඒ අතර අප අවසන් වශයෙන් පවසා සිටිනුයේ ඉහත සඳහන් කටුසු ඇත් කතාවේ කටුස්සන් මේ වන විට දේශපාලන කරලියේ දක්නට ලැබෙන අතර එම ඇත් රජු රනිල් රාජපක්ෂ ලෙසින් හඳුනා ගැනීමට අප කෙසේවත් ඉක්මන් නොවිය යුතු බවකි.
හේමන්ත රන්බණ්ඩාර