ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර පැරණිතම මෙන්ම අද්විතීය ස්ථානයක පවතින කොළඹ විශ්වවිද්‍යාලය සඳහා කුලපතිවරයෙකු පත්කිරීමේ දී එහි ගෞරවයට හානි නොවන අන්දමින් එය සිදුකළ යුතු බව එහි වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය ද ඊයේ(09) දින ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. විශ්ව විද්‍යාලයක කුලපති පදවිය යනු එකී ආයතනයේ ගරුත්වය සහ අභිමානයේ සංකේතය බව පවසන ඔවුන් ඒ සඳහා පත්වන තැනැත්තා තම අතීත චර්යාවන් මෙවැනි පදවියකට ගැලපෙන පරිදි පවත්වාගෙන පැමිණි අයෙකු විය යුතු බව පෙන්වා දෙයි. එමෙන්ම එම චර්යාව අනාගතයේ දී පවත්වාගෙන යාමේ හැකියාවක් අදාළ තැනැත්තා සතු විය යුතු බවත් ඔවුහු පවසති. එමෙන්ම උසස් ශාස්ත්‍රීය ඥානයකින් හා බුද්ධිමත් භාවයකින් හෙබි අයෙක් මේ සඳහා පත් කළ යුතු බවත්, මෑතකදී කළ පත්වීම පිළිබඳ සිය කනස්සල්ල පළකරන බවත් ඔවුන් සඳහන් කොට තිබේ.එමෙන්ම මේ පත්වීම පිළිබඳ නැවත සලකාබැලීමක් කරන ලෙස ද වෛද්‍ය පීඨ ගුරු සංගමය ජනාධිපති වරයාගෙන්ගෙන් ඉල්ලා සිටී. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති වරයා ගත් තීරණය විශ්වවිද්‍යාලය තුළින්ම මෙන්ම බාහිර පාර්ශ්වයන්ගෙන් ද මෑතකදී විරෝධයන් එල්ල කෙරුණු අතර එහි වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය ඉහත ප්රවෘත්ති නිවේදනය නිකුත් කරමින් මේ සම්බන්ධව සිය කනස්සල්ල පළකොට ඇත්තේ ඒ අතරේය.