නාගරිකයන්ගේ බොහෝ ගති සිරිත් සහ පුරුදු ගම්බද ජනයා අතරේ පැතිර යනු නිතර දක්නට ලැබේ. ඒ අතර ඉඳහිටෙක ගම්බද ජනයාගේ සිරිත් සහ පුරුදු නගරබද ජනයා අතරට පත්වීම ද දක්නට පුළුවන.
දැනට නාගරික මධ්‍යම පාන්තිකයන් අතර යම් පමණකට ව්‍යාප්ත වී ඇති සුනඛ දානය එසේ ගමින් නගරයට පිවිසි හොඳ පුරුද්දකි.
වර්තමාන දරු පරපුර තුළ හැඟීමක් දැනීමක් නොමැතිවුව ද අතීත සමාජයේ ජීවත් වූ දරුවන් අතර ‘බලු කපුටු දාන’ දීම මුල් තැනකට පත්විණි. තම නිවෙස්වලින් එකතු කර ගන්නා සහල්, කරවල, තුනපහ ආදිය එක්කොට වෙනම ස්ථානයක බතක් පිස ගන්නා එවක දරුවෝ වීල්බැරෝවක හෝ අත් කරත්තයක ආධාරයෙන් ඒවා ගමපුරා රැගෙන යමින් මඟතොට හමුවන සුනඛයන්ට බෙදා දුන් අයුරු අපගේ ළමා වියේ අත්දැකීම් අතර අදටත් ‘සුරක්ෂිත’ ව තිබේ.
නමුදු ළමයින්ගේ විනෝදාංශයක් පමණක් නොවූ මෙය, අතීත ගැමියන් අතර ද පැවැති එක්තරා දාන ක්‍රමයක් බව සනාථ වනුයේ ඒ සම්බන්ධ උප සංස්කෘතියක් ද ගොඩනැඟී ඇති බැවිනි. මෙම උප සංස්කෘතික ලක්ෂණ ප්‍රාදේශීය වශයෙන් වෙනස්ව ඇති බව පෙනේ.
ඇතැම් ප්‍රදේශවල මෙම බලු කපුටු දානවලදී සුනඛයන් ‘බල්ලන්’ යනුවෙන් නොහැඳින්වෙන බවද මෙහිදී අනාවරණය විය. ඒ අනුව ඇතැම් ප්‍රදේශවල ගැමියෝ මෙම දානමය කටයුතුවලදී සුනඛයා බලුන්නැහේ (බලු+උන්නැහේ) යනුවෙන් හඳුන්වන ලද අතර සුනඛ ධේනුව හැඳින්වීම පිණිස බලුන්දෑ (බලු+උන්දෑ) යන වදන යෙදූහ.
එමෙන්ම මෙම බලු කපුටු දානය බෙදීම සඳහා ඇතැම් ප්‍රදේශවල කෙසෙල් කොළ භාවිතා නොකෙරේ. ඊට හේතුව එය බුද්ධ පූජාව ඇතුළු සාංඝික දාන සහ දේව දාන ඇතුළු අනෙකුත් පින්කම් සහ ශාන්ති කර්ම සඳහා යොදා ගැනෙන පවිත්රත්වය සංකේතනය කෙරෙන ශාක පත්‍රයක් බැවිනි. ඒ වෙනුවට ගැනෙනුයේ කැන්ද, හබරල, තේක්ක, හල්මිල්ල වැනි ශාක පත්‍ර ය.
මෙම දානය බලු කපුටු දානය යනුවෙන් නම් කළ ද මෙම දානය පිසීමේ සිට පිළිගැන්වීම දක්වා දෙයාකාර ලක්ෂණ පළ කරයි. සුනඛයන් සඳහා වන දානය සඳහා කරවල, වට්ටක්කා, තුනපහ ආදිය සමඟ මුසු කළ මිශ්‍ර බතක් පිළියෙල වූ අතර කපුටන් සඳහා පිළියෙළ වූයේ එළඟිතෙල් මුසු බතකි.
මෙහිදී එම කෑම දෙවර්ගය පිළියෙළ කරන ගැමියෝ ඒවා වෙන වෙනම භාජන දෙකකට දමා අත් කරත්තයක් හෝ වීල්බැරෝවක් මගින් ගම පුරා ගෙන යති.
එහිදී මඟතොට දී හමුවන සුනඛයන්ට එම කරත්තයේ හෝ වීල්බැරෝවේ ඇති ශාක පත්‍රයක් බිම දමා ඒ මතට බත් බෙදන අතර කපුටන් සඳහා පිළියෙල කෙරුණු දානය එම ශාක පත්‍රයට දමා උස් ස්ථානයක තබනු ලැබේ. ඔවුන් එසේ නොකළ හොත් තමන්ට ලැබුණු දාන පංගුව හනි හනිකට ගිල දමන ‘බලුන්නැහැහේලා’ සහ ‘බලුන්දැලා’ කපුටන්ගේ දාන පංගුව ද කටට දෙකට ගිල දමනු ඇත.
මෙහිදී සුනඛයාට වඩා කපුටා නිරතුරු කුසගින්නේන් පෙළෙන බවට ගැමියන් තුළ පැවැති සාම්ප්‍රදායික විශ්වාසය මත කපුටන් සඳහා දෙන දාන පංගුව මත එළඟිතෙල් පෙඟවූ පහන් තිර වැනි රෙදි පාන්කඩ තැබීමට ද පැරැන්නෝ පුරුදුව සිටියහ.
ඒ එම පාන්කඩය ගිල දැමූ පසුව කපුටන් සිය නිරන්තර කුසගින්නෙන් දිගු කාලීනව නිදහස් වෙතැයි යන මිථ්‍යා මතය මුල් කර ගනිමිනි. එහෙත්, දානයක් වශයෙන් වුව සතකුට එවැනි දිරවිය නොහැකි ආහාරයක් ලබාදීම ඒ සතාගේ ජීවිතය අකාලයේ මරුමුවට හෙළීමකි. ඒ අනුව එළඟිතෙල් බත පමණක් ඔවුන්ට ප්‍රමාණවත් ය.
බොහෝ ගැමියන් මෙම බලු කපුටු දාන දීමට පෙලඹෙනුයේ වෙසක් හෝ පොසොන් සමයන් හිදී පමණි. එලෙස නොකඩවා වසර හැටක් බලු කපුටු දානය දුන් ‘දානපතියකු’ රඹුක්කන, අලවත්තේ දී මට හමුවූ අතර ඔහු එන්. එම්. සිරිමල් නමැත්තෙකි.
මෙම බලු කපුටු දාන පිළිබඳ ජන ප්‍රවාද පිළිබඳව විමැසීමේ දී වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් සම්බන්ධ ප්‍රසිද්ධ පිරුළක් අපගේ සිහියට නැගෙයි. එනම් ‘සංඝරාජ හාමුදුරුවන්ගේ බලු කපුටු දානය වගේ’ යන්න ය.
වත්මන් බුද්ධ ශාසනික පුනරුදයෙහි පීතෘන් වහන්සේ වශයෙන් සැලකෙන වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් (ක්‍රි.ව. 1698-1778) පිණ්ඩපාතයෙන් යැපුණු තෙර නමකි. මෙලෙස උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින විට මඟ තොට වෙසෙන අසරණ සුනඛයන් දැක මහත් සේ කම්පා වූ අවස්ථා අපමණ ය.
එබැවින් කිනම් හෝ දිනයක මහ මඟ වෙසෙන අසරණ සුනඛයන් හට කුස පුරා ආහාර දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සිතූ සඟරජ හිමියෝ තම දායක කාරකාදීන්ගේ ද සහායෙන් එක් දිනයක එකම ස්ථානයක දී ප්‍රදේශයේ ජීවත් වන සිය ගණනක් වන අසරණ සුනඛයන් සඳහා වෙනම දානයක් සංවිධානය කළහ.
එහෙත්, එලෙස දානය සඳහා එක වර එහි ගෙනෙන ලද සිය ගණන් සුනඛයන් දානය පිළිගැනීම පසෙක ලා එකි’නෙකා කා ගන්නට වූ අතර දායකයන් එම දැවැන්ත බලු පොරය බේරන්නට ඉදිරිපත් වීමේදී දන් බඳුන් පවා පෙරළී සපා කෑම්වලට ලක් සුනඛයන් විශාල පිරිසක් දරුණු තුවාලවලට ලක්වූහ.
මෙම ගාලගෝට්ටිය කෙතරම් උස්ව නැගුණ ද යත් මෙය රජ වාසලට ද ඇසී කීර්ති ශ්‍රී රාජසිංහ රජු ද ඒ පිළිබඳව විපරම් කොට තිබේ. රජවාසල සේවකයන් එම පුවත හෙළි කළ විට රජු ගත් කටටම කියා ඇත්තේ ‘සංඝ රාජ වුණත් ඉතින් ගම තුම්පනේනේ’ යන්න ය.
එහෙත්, මෙය තුම්පනේ ගැමියන් අඥානයන් බව හැඟවීමට ගොතන ලද ප්රබන්ධයකටත් වඩා වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජ හිමියන් තමන් වහන්සේගේ ශාසනික වැඩසටහනේ දී ප්‍රායෝගික පක්ෂය නොවිමසා හුදු න්‍යායික පක්ෂය පමණක් ක්‍රියාවට නංවන ලදැයි සිතූ එක්තරා පිරිසක් විසින් පසුකාලීනව ප්‍රබන්ධය කෙරුණු තවත් උපහාසාත්මක කතාවක් බව මගේ වැටහීම ය.
ඒ කෙසේ හෝ අප කුඩා කාලයේ මෙවන් බලු කපුටු දාන දෙන අතරේ ලිහා දැමීමට නොහැකි නපුරු සුනඛයන් හිඳින නිවෙස්වල දරුවන් හෝ කාන්තාවන් දන් කරත්තය වෙත පැමිණ එම නපුරු බලුන්නැහේලාගේ දන් පංගුව ඉල්ලා ගෙන යන විට අපේ පුංචි සිත් මහත් සතුටින් සහ අභිමානයෙන් පිරී ගිය අයුරු අපට තවමත් මතක ය.
ඒ අපගේ පුංචි දානයට කිනම් හෝ සමාජමය පිළිගැනීමක් ද ඇති බව එමගින් තහවුරු වන බැවිනි. එමෙන්ම අතීතයේ සම්මාදම් මුදල්වලින් සංවිධානය කෙරෙන වෙසක්, පොසොන් ආදී පින්කම් නිමාවේ ඉතිරි වන මුදලින් බලු කපුටු දානයක් දීමේ සිරිතක් ද අපගේ ගැමි සංස්කෘතිය තුළ පැවතිණ. නමුත් අද එලෙස පින්කම් වලින් ඉතිරි වන මුදල් වලට සිදුවන දේ පැවසීමෙන් අපගේ මාතෘකාව මුළුමනින් කණපිට හැරෙනු ඇත.
සතුන් සඳහා දෙනු ලබන දාන මාන අතුරින් සුනඛයන් සහ කපුටන් සඳහා වන දානය ප්රධානත්වයට ඒමට ඒ සම්බන්ධ බෞද්ධ ඉගැන්වීම ද ඉවහල්ව ඇති බව පෙනෙයි. ත්‍රිපිටක සාහිත්‍යයේ පැහැදිලි සඳහනක් නැතත් සඟ සතු දේපොළ පරිහරණයෙන් මිනිසුන් බල්ලන් සහ කපුටන් වී උපදින බවට දේශීය බෞද්ධ මූලාශ්රවල තිබේ.
ඒ අනුව පොළෛාන්නරුව වටදාගේ ඇතුළු ශිලා ලේඛන රැසක ඒ බව සඳහන්ව ඇත්තේ සුනඛයන්ගේ සහ කපුටන්ගේ රූපසටහන් ද කොටා තබමිනි. එමෙන්ම අප ජන සම්මතයට අනුව කපුටා කුසගින්නේ සංකේතය වශයෙන් සැලකෙන අතර නිරන්තර කුසගින්න හැඳින්වීම පිණිස යොදන ‘කපුටු ගින්න’ යන යෙදුම ඊට කදිම නිදසුනකි.
විද්‍යාත්මක සහ නවීන චින්තනයට අනුව මිනිසාගේ පරම මිතුරා සේ සැලකෙන සුනඛයා සාම්ප්‍රදායික චින්තනයට අනුව ‘නීච’ බව සංකේතයකි. නූතන ජනවහරට අනුව මිනිස්සු අධම තත්ත්වයට පත්වීම ‘බලු වීම’ ලෙසින් හඳුන්වනුයේ ඒ අනුව ය.
හුදෙක් සත්ව කරුණාවට පරිබාහිරව සෙනසුරු ග්‍රහයාට බියෙන්, සෙනසුරු අපලවලින් අත්මිදීම පිණිස ද සමහරෙක් බලු කපුටු දාන වලට පෙලඹෙති. මෙහිදී සෙනසුරුගේ පක්ෂියා වශයෙන් කපටුන් මෙම දන් ලැබීමට සුදුසුවන අතර සෙනසුරුගේ බලපෑමෙන් ඇතිවන ජීවිතයේ ඇදවැටීම හෙවත් නීච බව මගහැරීම පිණිස ජ්‍යෝතිර්වේදීන් විසින් මෙම බලු කපුටු දාන නිර්දේශ කරනු ලැබේ.
භූමියට අරක් ගත් අමනුෂ්‍යය වන බහිරව ගේ ස්වරූප දෙකක් දැක්වෙයි. එනම් ආතාල බහිරව සහ පාතාල බහරව යනුවෙනි. මිහිමත ඇති සම්පත් ආතාල බහිරව විසින් ද මිහිතුළ ඇති සම්පත් පාතාල බහිරව විසින් ද රකින බව ජන විශ්වාසයයි. පාතාල බහිරව ගේ සත්වයා නාගයා වන අතර ආතාල බහිරව ගේ සත්වයා සුනඛයා ය.
එබැවින් තමන්ගේ මිහිමත ඇති සම්පත් සඳහා බහිරව ගේ ආරක්ෂාව ලබාගැනීම සඳහා ද අතීත ජනයා සුනඛ දාන දීමට පුරුදුව සිටියහ. සියනෑ කෝරලයේ එවන් බලු කපුටු දාන සඳහා නම් දැරූ ප්රභූවරයෙක් පිළිබඳව රසවත් කතා ගොඩනැඟී තිබේ. නමුත් ඒ අරමුණෙන් යුතුව සුනඛ දාන දීමක් වර්තමානයේ සිදු නොවේ.
එම සාම්ප්‍රදායික මති මතාන්තර කෙසේ වෙතත් මේ මිහිතලය මිනිසුන්ගේ සේම සතුන්ගේද සම උරුමයක්ය යන නවීන චින්තනයට හුරු වූ ඉහළ නාගරික මධ්‍යම පන්තියේ ඇතැම්හු ද මහමග වෙසෙන සුනඛාදී සතුන්ට නිතිපතා ආහාර දෙන අන්දම නාගරික ප්‍රදේශවලදී ඔබට දැක ගන්නට පුළුවන.
ඔවුන් අතුරින් ඇවිදීම සහ දිවීම වෙනුවෙන් හඳින ඇඳුම් කට්ටලවලින් සැරසී කැන්වස් පාවහන් සහ හිස් වැසුම් පැළඳ නවීන වාහනවලින් පැමිණ අත්වැසුම් පවා භාවිත කරමින් සෞඛ්යාරක්ෂිත ලෙස සුනඛයන්ගේ සාගින්න නිවන පිරිස් අපි දැක ඇත්තෙමු. එම කාරියේ යෙදෙන ඉහළ මධ්‍යම පාන්තික මහත්වරුන්ට වඩා නෝනාවරුන් අපගේ නෙත ගැටී තිබේ.
’‘අපේ පැරණි ගැමි සමාජයේ තිබුණු හුඟක් උතුම් ගුණධර්ම අද වෙන කොට ශීඝ්‍රයෙන් අභාවයට යමින් තියෙනවා. නොයෙක් අරමුණු පෙරදැරිව කලින් ඔය බලු කපුටු දානය කියන එකත් අපේ ජන සමාජයේ සිත් කරුණාවෙන් මෛත්‍රියෙන් පුරවපු උතුම් ක්‍රියාවක්.
අදත් ඒවා වර්ධනය වීම සමාජයේ මිනිසත් බව වර්ධනය කර වීමක්” අප හා එසේ ප්‍රකාශ කොට සිටියේ රජරට විශ්ව විද්‍යාලයීය කුලපති, අනුරාධපුර මිරිසවැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් ය.
උන්වහන්සේ ද සත්ව අවිහිංසාව සම්බන්ධ බුදු දහමින් පැවසෙන ධනාත්මක ආකල්ප අනුව කටයුතු කරන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි.
තිලක් සේනාසිංහ