ගමේ කඩේ “ණය පොත” ජාතික තලයටත් පැමිණි වගයි

තවමත් අපේ රටේ අහිංසක ජනතාව ගමේ කඩෙන් තමන්ට වුවමනා බඩු බාහිරාදිය ලබා ගන්නේ ණය පොතට ය.එක්තරා අතකට බලන විට ඉන් එසේ ණය ගන්නා තැතැත්තාට සහනයක් ලැබේ.

ඒ අතේ මිටේ මිල මුදල් නැතත් ගෙදරට වුවමනා කෑම බීම “නොමිලේම වගේ” ලැබෙන බැවිනි.එහෙත්, තමන් ද නොදැනුවත්වම ඒ ණය පොත ටිකෙන් ටික පිරෙන විට ඒ සහනය අසහනයක් බවට පත්වීම වැළැක්විය නොහැක.

ඒ ඇතැම් විට කඩේ මුදලාලි කපටියකු නම් ඒ ණය පොතට ටිකෙන් ටික රහසින් එකතු කළ මුදල් ද සමඟ ඒ ණය ගැතියා අවසානයේ ඒ මුදලාලිගේ ණය උගුලේ සිර ගත වන බැවිනි.සාමාන්‍ය ජන සමාජය තුළින් මතු වන මෙම සංසිද්ධිය අද වන විට ජාතික තලයෙන් ද නිරූපණය වෙයි. වත්මන් විදුලිය අර්බුදයට හේතුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බලාගාරවලට තෙල් නිකුත් නොකිරීම බව පසුගියදා පැහැදිලි විය. එනම් තෙල් සංස්ථාව මෙට්‍රික් ටොන් 3000 ක් ඩිසල් බලාගාරවලට නිකුත් කිරීමෙන් පසු විදුලිය කප්පාදුවක් සිදු නොවූ බැවිනි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන නිකුත් නොකිරීමට හේතු දෙකක් පැවැතිණි. ඉන් එක් හේතුවක් වූයේ ලංකා විදුලි බල මණ්ඩලය ලබාගත් තෙල් වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය වෙත මුදල් නොගෙවීම ය. දෙවන හේතුව, තෙල් සංස්ථාවට ඉන්ධන ගෙන්වීමට මුදල් නොමැතිවීම නිසා තිබෙන සීමිත ඉන්ධන තොග නිකුත් නොකිරීම ය. අනෙක් කාරණය නම් පිරිපහදුව ක්‍රියාත්මක නොවීමෙන් දැවි තෙල් නිෂ්පාදනය නොවීම ය.

මෙම සියළු කාරණා මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද අර්බුදයක සිරව සිටියි. ඩොලර් අර්බුදය හේතු කොට ගෙන තෙල් සංස්ථාවට ඉන්ධන ආනයනය කිරීමට නොහැකි වී තිබේ. නමුත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති උදය ගම්මන්පිල කියා සිටියේ මාස තුනක කාලයකට තෙල් නැති වෙන්නේනැති බව ය.

එහෙත්,එම අපබ්‍රංසය කිසිවෙකුට එක වර තේරුම්ගත හැකි කාරණයක් නොවේ. ඔහුගේ පැහැදිලි කිරීමේ එක් තැනක දී ඔහු කියා සිටින්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට පැවරීමේ ගිවිසුමේ එක් වගන්තියක් ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ගෙන්වා ගැනීමට නොහැකි වන සෑම අවස්ථාවකදීම ඉන්දියානු තෙල් සමාගම සංස්ථාවට තෙල් ලබාදිය යුතු බවට කොන්දේසියක් පනවා ඇති බව ය.

මෙම වගන්තිය හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් අහිසි වන්නේ නැතැයි ඔහු උජාරුවෙන් කියා සිටියේ ය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගම වෙත පවරා ඔවුන්ගෙන් තෙල් ගැනීමේ කූට උපක්‍රමයක් ආණ්ඩුව අනුගමනය කර තිබේ. ඩොලර් නැතිනම් ඉන්දියානු තෙල් සමාගමෙන් ඉන්ධන ලබා ගන්නේ රුපියල්වලින් දැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතුවිය හැකිය.

ඉන්දියාව ද මේ වෙනුවෙන් අපූරු උපක්‍රමයක් අනුගමනය කර තිබේ. එනම් මෙරට මුදල් අමාත්‍යවරයා විසින් දිගින් දිගටම ඉන්දියාවෙන් ණය ආධාරයක් ඉල්ලා සිටින්නේ මීට මාස ගණානාවක සිට ය. ඉන්දියාව ද ත්‍රිකුණාමලය තෙල් ටැංකි පෙන්වමින් එය කල්මරමින් සිටියේ ය. දැන් තෙල් ටැංකි ටික ඉන්දියාවට ලබාදී ඇති නිසා ඉන්දියානු ණය ආධාර ක්‍රමය (ඓන්ඩිඅන් Cරෙඩිට් ලිනේ හරහා ලංකාව ඉල්ලා සිටින ණය ආධාර ලබාදීමට නියමිත ය.

එහිදි ලංකාව සේම ඔවුන් ද කොන්දේසියක් පනවා තිබේ. එනම් ඉන්දියාව ලබා දෙන ණය මුදලින් ඉන්දියානු තෙල් සමාගමෙන් ඉන්ධන ලබා ගන්නා ලෙසට ය. ඉන්දියාව ඔවුන් දෙන මුදල වක්‍රාකාරයෙන් නැවත ඉන්දියාවටම ගෙන්වා ගනිති. ඊට අමතරව ලංගමයට බස් හා පොලීසිය ජීප් ද ලබා දෙන්නේ ණයක් ලෙසිනි. ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඔවුන් ණය දෙන්නේ එසේ ය. මුදල් ලැබෙන්නේ නැත. භාණ්ඩ පමණක් හිමිවේ.

නමුත් අවසානයේ එම භාණ්ඩ වෙනුවෙන් ණය ගෙවීමට ලංකාවට සිදුවනු ඇත. ඒ වෙනුවෙන් කාලයක් ද ඉන්දියාව ලබාදෙයි. මෙයින් පැහැදිලි වන්නේ ලංකාවේ ණය පොත පිරෙනවා කියන කාරණය පමණකි. ඉන්දියාව එසේ ණය දෙද්දී ලංකාව චීනයෙන් ද ඩොලර් බිලියනයක ණයක් ඉල්ලා සිටියේ ය. චීනය එය දීමට කැමැත්ත පළ කලේ චීන යුවාන් මුදල් ඒකකයෙන් එම ණය දීමට ය. ලංකාව මෙය ඩොලර්වලින් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ චීනය කීවේ යුවාන් ද ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගත් මුදල් ඒකකයක් යනුවෙනි.

චීනය යුවාන්වලින් ණය දුන් විට ලංකාවට එම මුදල් වෙන රටකට දී භාණ්ඩ මිලදී ගත නොහැක. භාණ්ඩ මිලදී ගත යුත්තේ චීනයෙන්ම පමණකි. එතනදී වන්නේ ද ලංකාවේ ණය පොත පිරීම පමණකි.මේ හේතු මත අද වන විට ශ්‍රී ලංකාව ඉන්දියාවේ හා චීනයේ අතකොලුවක් බවට පත්ව සිටියි.

එක් පසෙකින් චීනයේ කොන්දේසි හමුවේ නැටවෙන අතර අනෙක් පසින් ඉන්දියාවේ කොන්දේසි මත නැටවෙමින් සිටියි. මෙහිදි කළ හැකි හොදම කරණය වන්නේ උතුරු කොටස ඉන්දියාවට දී දකුණු කොටස චීනයට දීම ය. රාමායනය අනුව හනුමන්ගේ පාලම ඇතුළු ඉන්දියාව අයිතිවාසිකම් කියන කොටස ඉන්දියාවටත් පැරණි සේද මාවත ඔස්සේ එක් මධ්‍යස්ථානයක් වන ලංකාවේ දකුණු කොටස චීනයටත් දීමෙන් ලංකාවේ ණය පොතවත් අඩුකර ගත හැකි වනු නියතය.

එසේ නැතහොත් ඔවුන් අපේ රට බලෙන් ආක්‍රමණය කරනුයේ මෙම ණය පොත පෙන්වමිනි.රටේ ණය පොත ගමේ ණය පොතටත් වඩා බියකරු වනුයේ එබැවිනි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර