ගැබිනි සමය, කාන්තාවකගේ සිරුරේ වෙනස්කම් රාශියක් ඇති වන කාල වකවානුවකි. මෙම වෙනස්කම් කායිකව පමණක් නොව මානසිකව ද ඇතිවෙයි. ගැබිනි බවට බොහෝ විට ම ආවේණික වන මෙම සංකූලතා බොහොමයක් ඉබේම මගහැරී යන මුත් ඇතැම් අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් පැතීමට සිදුවිය හැකිය.
සමහර ආහාරවලට දැඩි ප්‍රියතාවයක් දැක්වීම
මෙය ගැමි වහරේ දොළදුක නමින් හඳුන්වයි. මේ තත්ත්වයේදී බොහෝ ගැබිනි මව්වරු ඇඹුල් රසැති ආහාර කෙරෙහි දැඩි රුචියක් දක්වති. ඇඹුල් රසැති පලතුරු සහ එළවළු ආහාරයට ගැනීමට අමතරව සමහර ගැබිනි මව්වරුන් ඉස්සන් , දැල්ලන්, බලමාළු, දෙල් වැනි ආහාර කෙරෙහි ද දැඩි රුචියක් ඇති වීම සුලබ තත්ත්වයක් වේ. නමුත් එවැනි ආහාරවල හිස්ටමින් නමැති රසායනිකය අඩංගු නිසා ගැබිනි මව්වරුන් එබඳු ආහාර නොගෙන සිටීම වඩා යහපත් ය.
ගර්භනී කාලයේ ඇති වන ආහාර රුචි අරුචිකම්
සම්බන්ධයෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණයක් තිබේ. කලින් ඉතා කැමැත්තෙන් ගත් සමහර ආහාර මේ කාලයේදී ප්‍රතික්ෂේප කළ හැකිය. එසේම ඉන් පෙර කෙසේවත් ආහාර ලෙස නොගත් දේවල් කෑමට රුචියක් ඇති වීමට ද පුළුවන. ගැබිනි සමයේ මෙවැනි රුචි අරුචිකම් ඇති වන්නේ සිරුරේ හෝමෝනවල සිදුවන වෙනස්කම් මතය. මේ තත්ත්වය දරු ප්‍රසූතියෙන් පසු සාමාන්‍ය අතට හැරෙනු ඇත. නමුත් විශේෂයෙන් සඳහන් කළ යුතු දෙය නම් ගැබිනි මවට කිරි ආහාර සහ ඇය ප්‍රිය කරන ආහාර අතරින් පෝෂ්‍යදායි ආහාර මේ කාලය තුළදී හොඳින් ලබා දීම අත්‍යවශ්‍ය බව ය.
ඉහත ද සඳහන් කළ පරිදි ඇතැම් ගැබිනි මව්වරුන් සාමාන්‍යයෙන් පුද්ගලයකු කෙසේවත් කෑමට නොගන්නා අඟුරු, මැටි, ගල් වැනි දේවල් පවා කෑමට ප්‍රිය කරන අවස්ථා තිබේ. එබඳු දේවල් දරු ගැබට කෙසේවත් හිතකර වන්නේ නැත. එනිසා යම් ගැබිනි මවක් එවැනි ආහාර ප්‍රිය කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා දීම සුදුසු ය.
නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය දැනීම සහ මුත්‍රා ආසාදන
ගැබිනි සමයේදී නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය සහ ඇතැම් විට මුත්‍රා ආසාදන ද ඇතිවිය හැකිය. මේ කාලයේ වකුගඩු වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය සාමාන්‍ය කාලයට වඩා අඩකින් පමණ වැඩි වෙයි. මේ හේතුව නිසා මෙන්ම ප්‍රොජෙස්ටරෝන් හෝමෝනවල බලපෑමෙන් මුත්‍රා මාර්ගයේ පේශිවල වැඩිපුර සිදුවන ඉහිල් වීම හේතුවෙන් ද මේ තත්ත්වය ඇතිවෙයි. එසේම මේ හේතු මත ගර්භනී කාලයේ මුත්‍රා ආසාදන ඇතිවීම ද වැඩි ය. මෙවැනි ආසාදන නිසා වෘක්කදාහය නැමැති තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇති බැවින් මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවීම හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවීම වැනි තත්ත්වයන් තිබේ නම් වෛද්‍යවරයකු හමු වීම ඉතාමත් වැදගත් වේ.
කෙසේ වුවද මේ බොහොමයක් මූත්‍රා ආසාදන වැඩිපුර ජලය පානය කිරීම තුළින් වළක්වා ගත හැකිය. පිපාසය දැනෙන තුරු නොසිට පැය භාගයකට පමණ වරක් බැගින් ජලය ටික ටික හෝ පානය කිරීම ගැබිනි මවකට ඉතා යහපත් ය.
මළබද්ධය
බොහෝ ගැබිනි මව්වරුන් මුහුණ දෙන තවත් අපහසුකාරී තත්ත්වයක් වන්නේ මළබද්ධයයි. මේ නිසා මළ ඝන බවට පත් වන අතර මළ පිට කිරීමේදී දැඩි වේදනාවක් ඇති වේ. ඉහත සඳහන් කළ අන්දමට හොඳින් ජලය පානය කිරීම මීට ද ඉතා හොඳ ප්‍රතිකර්මයකි. එසේ ම ගැබිනි සමයේදී ඉතාම වැදගත් දෙයක් වන පලතුරු ආහාරයට ගැනීමද මළබද්ධය වළක්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත. ඒ හැරුණු විට එළවළු, පලා ආහාර වේලට යහමින් එකතු කරගත හැකි නම් එයින් ද මළබද්ධය වළක්වා ගත හැකි වෙයි.
දෙපාවලමස්පිඩු පෙරළීම
තවත් ඉතා බහුලව ගැබිනි මව්වරුන් මුහුණ දෙන වේදනාකාරී අත්දැකීමක් වන්නේ දෙපාවල මස්පිඩු පෙරළීමයි. මෙය සුලබව ඇති වන්නේ නින්දේ දී ය. සිරුරට අවශ්‍ය කැල්සියම් සහ පොටෑසියම් අඩු වන විට මස් පිඩු පෙරලීම සිදු විය හැකිය. වෛද්‍ය උපදෙස් මත එම පෝෂණ ද්‍රව්‍ය අඩංගු ඖෂධ ලබා ගැනීම මෙහිදී යෝග්‍ය වේ.
ගැබිනි සමයේදී ඇතිවන මෙබඳු විවිධාකාර වූ සංකූලතා ගැබිනි බවට ආවේණික වූ ඒවා විය හැකිය. එසේ නොවන අවස්ථා ද කලාතුරකින් හෝ යෙදෙන බැවින් මෙබඳු ලක්ෂණ නිතර නිතර සහ තදින් ඇති වන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්. බී ඒකනායක
ඉන්දු පෙරේරා