ගැහැනු දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කළ රටක් ඇති බව කිවහොත් සමහර විට ඔබ පුදුමයට පත් විය හැකියි. නමුත් එවැනි රටක් තිබේ. එම රට තිබෙන්නේ වැඩි ඈතක නොව අප ජීවත්වන දකුණු ආසියානු කලාපයේම ය. ඒ ඇෆ්ගනිස්තානය යි.
ඇෆ්ගනිස්තානය මේ වනවිට පවතින්නේ අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් ලෙස සැලකෙන තලිබාන් සංවිධානයේ පාලනය යටතේ යි. දෙවැනි වතාවට ඔවුන් එරට බලය අල්ලා ගත්තේ පසුගිය වසරේ ය. තලිබාන් සංවිධානය විවිධ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නම් දරා ඇති සංවිධානයකි. ඒ අතරින්ද කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වඩාත් කැපී පෙනේ.
ඔවුන් බලයට පැමිණීමෙන් පසු ගත වූ කාලය තුළ කාන්තාවන්ගේ නිදහස සීමා කිරීම සඳහා විවිධ නියෝග නිකුත් කළේය. කාන්තාවන් රැකියා කිරීම සම්බන්ධයෙන් බොහෝ සීමා පැනවිණි. මේ වනවිට එරට කාන්තාවන්ට උද්‍යාන, ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථාන වැනි තැන්වලට යාම පවා තහනම් ය. මෙවැනි සීමාවන් ක්‍රියාත්මක වෙද්දී තලිබාන් පාලකයන් කාන්තාවන්ට එරෙහිව පැනවූ අලුත්ම තහංචිය වූයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමයි. පසුගිය සතියේ එරට උසස් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ නැවත දැනුම් දෙන තුරු මෙම තහංචිය ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ය. මෙවැනි තහංචියක් පැනවීමට හේතු ද ඔවුන් සඳහන් කර තිබිණි.
තලිබාන් සංවිධානය ඉස්ලාමීය ෂරියා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන සංවිධානයකි. එම ඉස්ලාමීය සම්ප්‍රදායට ගැලපෙන ආකාරයෙන් සිසුවියන් ඇඳුම් නොහැඳීම ඔවුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමට එක් හේතුවක් ලෙස දක්වා තිබිණි. එරට උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවසා තිබුණේ ඇතැම් සිසුවියන් විශ්ව විද්‍යාලයට එන්නේ මගුල් ගෙදරක යන ආකාරයෙන් බවයි. සිසුවියන් පිරිමි සිසුන් සමග කිට්ටුවෙන් ඇසුරු කිරීම ද ඔවුන්ට විශ්ව විද්‍යාල ගමන තහනම් කිරීමට තවත් හේතුවකි.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා සිය අනාගත සිහින ඉටු කර ගැනීමට බලා සිටි ඇෆ්ගන් සිසුවියෝ මෙම තීන්දුවත් සමග දැඩි කම්පාවට පත්ව සිටිති. තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනට පසු දා විශ්ව විද්‍යාල වෙත ගොස් සිටි සිසුවියන් ආපසු හරවා යැවීමට නිලධාරීන් පියවර ගෙන තිබිණි. විශ්ව විද්‍යාල අවට දැඩි ආරක්ෂාවක් ද යොදා තිබී ඇත.
‘මම එදා හවස් වරුවෙම පොත් ටික ළඟ තියාගෙන අඬ අඬ හිටියා’ අවසන් වසරේ විභාගයට පෙනී සිටීමට සූදානම් වෙමින් හුන් සිසුවියක පවසා තිබුණාය. ‘මම ඉගෙන ගන්න හුඟක් මහන්සි වුණා. ඒ නිසා මේ තත්ත්වය මට දරාගන්න අමාරුයි. මට දැන් අධ්‍යාපන කටයුතු නතර කරන්න වෙලා තියෙනවා. දැන් මට මගේ අනාගත සිහින ඉටු කරගන්න බැරි වේවි’ යයි ඇය තවදුරටත් සඳහන් කර තිබිණි. ‘මේක හරියට කාන්තාවන් සහ ගැහැනු දරුවන් පණ පිටින් වලලා දැමීමක් හා සමාන යි’ ඇය පවසන්නීය.
විශ්ව විද්‍යාල තහනම කොපමණ කාලයක් පවතීවිද යන්න තවමත් පැහැදිලි නැත. කෙසේ නමුත් තලිබාන් සංවිධානයේ මධ්‍යස්ථ මත දරණ කණ්ඩායම් මෙම තීන්දුවට එකඟ නැති බව ද වාර්තා වේ. පසුගිය කාලයේ සිසුවියන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබූ නමුත් එම ආයතනවල පිරිමි සහ කාන්තා දෙපක්ෂයට අධ්‍යාපනය ලබා දුන්නේ වෙන වෙනම පන්ති කාමරවලය. සිසුවියන්ට ඉගැන්වීම් කළේ කාන්තාවන් සහ වයෝවෘද්ධ ගුරුවරුන් පමණි.
විශ්ව විද්‍යාලවලට අදාළව පමණක් නොව එරට ද්වීතියික පාසල්වලට අදාළව ද තහංචියක් පනවා තිබේ. මේ වනවිට එම පාසල්වල අධ්‍යාපනය ද ගැහැනු දරුවන්ට තහනම් ය.
මෙම විශ්ව විද්‍යාල තහංචියෙන් දින කිහිපයකට පසු කාන්තාවන් ඉලක්ක කර තවත් තහනමක් පැනවීමට තලිබාන් පාලනය පියවර ගත්තේය. එනම් එරට දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල රැකියා කිරීම කාන්තාවන්ට තහනම් කිරීමයි. මෙම ආයතනවල සේවය කරන කාන්තාවන් ෂරියා නීතියට අනුකූල වන සේ හිජාබය නොපළඳින නිසා මෙම තහංචිය පනවන බව තලිබාන් නිලධාරීන් පවසා තිබිණි.
කෙසේ හෝ වේවා, ඇෆ්ගනිස්තානයේ ජනගහණයෙන් විශාල කොටසක් මේ ආකාරයෙන් සමාජ ආර්ථික කටයුතුවලින් කොන් කිරීම නිසා එරට සංවර්ධනයට, ඉදිරි ගමනට විශාල බලපෑමක් වන බව බොහෝ පාර්ශ්ව පෙන්වා දී ඇතත් තලිබාන් සංවිධානයට ඒ ගැන තැකීමක් නැති බව පෙනේ. ඇෆ්ගනිස්තානය යනු දකුණු ආසියානු කලාපයේ පවතින දිළිඳුම රටකි. එරට මානව හිමිකම් උල්ලංඝනයන් නිසා මේ වනවිට ඇමරිකාව ඇතුළු රටවල් රැසක් ඔවුන්ට එරෙහිව සම්බාධක වැනි සීමාවන් ක්‍රියාත්මක කර තිබේ. මේවා නිසා ද එරට ඉදිරි ගමනට දැඩි බලපෑමක් එල්ල වේ.
පසුගිය දා පැනවූ විශ්ව විද්‍යාල තහංචිය ද ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි විවේචනයට ලක්ව තිබිණි. මේ නිසා ඉදිරියේ දී තවදුරටත් සම්බාධක පැනවීමට ඉඩ ඇති බව ද නිරීක්ෂකයන් පවසා තිබේ.
නිහාල් පීරිස්