ගෙදර දොර සුනඛයන් බළලුන් ඇති කරන්න බොරුවට බය වෙන්න එපා!

ගෘහස්ථ සුරතල් සතුන් අතර සුනඛයන්, බළලුන්, හාවුන්, කුරුල්ලන් වැනි සතුන් ප්‍රධානයි . මෙයිනුත් වැඩිපුරම එහි මිනිසාට සමීප වී සිටින්නේ සුනඛයා සහ බළලා යි.

නමුත් සමහරුන් සුනඛයන් සහ බළලුන් ඇති දැඩි කරන්න කැමති නෑ. ඇතැම් විට ඇති දැඩි කළත් කුඩා දරුවන්ට එම සතුන්ට ළංවන්නටවත් ඉඩ නොදෙන අය සිටිනවා. ඒ, එම සතුන් නිසා විවිධ ලෙඩ රෝග බෝ වෙන බවට ඔවුන් විශ්වාස කරන නිසයි.
මිනිසුන්ට රෝග බෝ වන ක්‍රම ගණනාවක් තිබෙනවා. ආහාර, වාතය, ජලය, සිරුර තුළ ඇතිවන අසමතුලිතතා, මානසික හේතු ආදී වශයෙන් නොයෙකුත් හේතු මෙහිදී දක්වන්න පුළුවන්. ඒ අනුව සතුන්ගෙන් බෝවෙන ලෙඩ රෝග ගැන බැලුවොත් ඉහත කී දේවල්වලට සාපේක්ෂව එය ඉතාමත් සුළු කොටසකට ඇතිවිය හැකි තත්වයක්.

නමුත් විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තිබෙනවා. සතුන්ගෙන් බෝවන රෝග සතුන්ව හොඳින් බලා ගැනීමෙන්, උන්ගේ රෝගවලට ප්‍රතිකාර ලබාදීම සහ ඔබගේ පෞද්ගලික සෞඛ්‍යය ගැන මනා සැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් වළක්වා ගත හැකියි.
අසාත්මිකතාව ඇති වන අයට සතුන්ගේ ලෝමවලින් අසාත්මිකතාව එන්නට පුළුවන්.

නමුත් කුඩා දරුවන්ට ඒ ආකාරයේ අසාත්මිකතාවයක් ඇති වුණොත් එය ගෙදර සුරතලයට ඇතිකරන සුනඛයාගෙන්, බළලා ගෙන් වගේම ඔවුන් නිතර තමා ළඟ තබාගෙන සිටින ටෙඩිබෙයාර් වැනි කෙඳි සහිත රෙදි වලින් සකස් කරන ලද සෙල්ලම් බඩු වලිනුත් හටගත හැකි බව අමතක නොකළ යුතුයි.

මෙම සතුන්ගෙන් හටගත හැකි ජලභීතිකා රෝගය 100 % ක්ම වළක්වා ගත හැකි තත්ත්වයක්. ඒ, එම සතුන්ට වසරක් පාසා ජලභීතිකා එන්නත නිසි පිළිවෙළට ලබාදීම තුළිනුයි.

සුනඛයන්ට සහ බළලුන්ට කොකු පණුවන්, පටි පණුවන්, වට පණුවන් වැනි පණු රෝග හටගැනීමේ හැකියාව තිබෙනවා. උන්ට එම පණුවන් හැදුණොත් ඔවුන්ගේ මළ සමග පණුවන් පිටවී මහ පොළොවේ ආහාර, වතුර ආදියට එකතු වෙනවා. අමුවෙන් හරිහැටි සෝදා නොගත් ආහාර ගැනීමෙන් සහ ජලය නටවා ගැනීමෙන් තොරව පානයට ගැනීමෙන් මෙම පණු රෝග මිනිසුන්ට වැළඳිය හැකියි. මේ තත්ත්වය වළක්වා ගන්නට ඔබේ පෞද්ගලික සෞඛ්‍යය ගැන දැනුවත් වීම සහ කුඩා දරුවන් දැනුවත් කිරීම වගේම තමන්ගේ සුරතල් සතුන්ට නිසි කලට පණු බෙහෙත් ලබාදීම තුළින් හැකියාව තිබෙනවා.

සතුන්ට වැළඳෙන දිලීර වර්ග මිනිසුන්ට බෝවීම ද පහසුවෙන් වළක්වා ගත හැකියි. සතුන්ට දිලීර රෝගයක් ඇති බවට පෙන්වන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ උන්ගේ ලොම් සීඝ්‍රයෙන් ගැලවී යාමයි. මෙම රෝග සඳහා සතාට ප්‍රතිකාර ලබාදිය යුතුයි. සාමාන්‍යයෙන් බළලුන් තමන්ගේ සම ලෙව කා ගනිමින් පිරිසිදු කරගන්නා නිසා ඌට සමේ රෝග හට ගැනීම ඉතාම අඩුයි.

සුනඛයන්ට වැළඳෙන හොරි වර්ග අතර තිබෙන කටුවා කෑම නමින් හඳුන්වන Demodectic Mange නම් රෝග තත්ත්වය කිසිදු ආකාරයකට මිනිසුන්ට බෝවන්නේ නෑ. එසේම සුනඛයන්ට හැදෙන අධික ලෙස කසන, කැසූ තැන්වල රෝස පැහැය ඇති වන, ලෝම හැලෙන Sarcoptic mange නම් හොරි වර්ගය ද සුනඛයන් ගෙන් මිනිසුන්ට බෝ වන එකක් නොවෙයි. මෙම රෝගය මිනිසුන්ටත් හැදෙන එකක් වුවත් එය මිනිසුන්ගෙන් මිනිසුන්ට මිස, සුනඛයන් ගෙන් මිනිස්සුන්ට වැළඳෙන්නේ නෑ.

සුනඛයන්ට ට වැළඳෙන, බළලුන් තුළ ද ඉඳහිට දැකිය හැකි කිනිතුල්ලන්, මැක්කන් වැනි සතුන්ද මිනිසුන්ට අහිතකර වන්නට පුළුවන්. නමුත් ඔබේ සුරතලාට එවැනි සතුන් බෝ වී ඇත්නම් සතාට ප්‍රතිකාර ලබාදී ඒ රෝග තත්ත්වයෙන් සතා මුදවා ගැනීම තුළින් ඔබට එවැනි පරපෝෂිතයන්ගෙන් වෙන හානි පහසුවෙන් වළක්වාගත හැකියි.

මේ අනුව බලන විට ඉතා පැහැදිලි කරුණක් වන්නේ මිනිසුන්ට රෝග බෝවීමට තිබෙන බොහෝ අවකාශයන් අතර, සුරතල් සතුන්ගෙන් මිනිසාට රෝග බෝවීමට ඇත්තේ කුඩා අවකාශයක් පමණක් බවයි. නමුත්, මෙම රෝග පහසුවෙන් වළක්වා ගන්නට පුළුවන්. ඒ ඔබේ සුරතලාට නිසි පිළිවෙළට එන්නත්, පණු බෙහෙත් ලබාදීම, සතා රෝගී වූ විට ප්‍රතිකාර කර සුව කර ගැනීම සහ ඔබ හොඳින් අත් සෝදා ආහාර ගැනීම ආදී වූ පෞද්ගලික සෞඛ්‍යය ගැන මනා උනන්දුවක් දැක්වීම හා දරුවන්ටත් එම පුරුදු හුරු කරවීම තුළින්.

සුරතල් සතකු ඇති නොකර සිටීමට වඩා ඇති කිරීම තුළින් ඔබට තවත් බොහෝ යහපත් දේවල් හිමි වන බව අමතක නොකළ යුතුයි. ඔබේ මානසික ආතතිය අඩු කරන්නට සුරතල් සතුන්ගෙන් විශාල පිටිවහලක් ලැබෙනවා. එසේම කුඩා දරුවන් තුළ කරුණාව නැමැති උතුම් ගුණාංගය වර්ධනය වීමට සුරතල් සතුන් ඇති කිරීමෙන් හැකියාව ඇති වෙනවා. දරුවන්ගේ සහ කායික හෝ මානසිකව තනිවූ වැඩිහිටියන්ගේ ද එම පාළුව කාන්සිය මකා ගන්නට මෙවැනි සතුන්ගෙන් ලැබෙන සහයෝගය අසීමිතයි.

පශු වෛද්‍ය උපදෙස් ඇසුරිනි.

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය