බොහෝ දෙනෙක් තමන්ගේ නිවසේ සුනඛයකු හෝ බළලෙකු ඇති කරති. ඇතැම් විට මේ දෙවර්ගයේම අය දෙතුන් දෙනෙක් වුව එක නිවසක ඉන්නට ඉඩ තිබේ.
මේ එක් එක් අයගේ සතුන් ඇති කිරීමේ අරමුණු විවිධ ය. සමහරුන් සුනඛයන් ඇති කරන්නේ ගෙදර ආරක්ෂාවට ය. ගෙදර මීයන් සිටින විට කොහෙන් හෝ බළල් පැටවෙකු සොයා ගෙනැවිත් ඇති දැඩි කරන අයද සිටිති. නමුත් මේ ආකල්ප දැන් බොහෝ දුරට පුළුල් වී සුරතලයට මෙන්ම පාළුව කාන්සිය මකා ගන්නටත් සුනඛයන් සහ බළලුන් ඇති කිරීම දක්නට ලැබේ.
ආරක්ෂාවට හැදුවත්, සුරතලයට හැදුවත් සැබෑවටම ආදරයෙන් ඇති දැඩි කරන්නේ නම් ඔවුන්ගේ යහපත් ගතිගුණ රාශියක් මිනිසුන්ගේ ජීවිතවලට එකතු වනු ඇත. විශේෂයෙන් සුරතලයට ඇති දැඩි කරන බළලෙකු ජීවිතයට සහකාරයකු ( Companion) වැනිය.
දරුවකුගේ ළමා කාලයේදී සුනඛයකු ඇති දැඩි කිරීමට ඉඩ සැලැස්වීම එම දරුවාගේ කායික මානසික වර්ධනය සඳහා ඉතා වැදගත් වෙයි . පරිසරයට ළමයා එකතු වීමත්, පරිසරයේ හැසිරීමට පුරුදු වීමත් සුනඛයා වෙතින් ළමයාට උරුම වනු ඇත. මේ හේතුව මත දරුවාට අධ්‍යාපනය අතින්ද නොසිතන ආකාරයේ ප්‍රතිඵල ලැබෙන බව කිවහොත් ඔබ පුදුමයට පත්වනු නිසැකය .
දරුවා තුළ සංවේදීතාවය පුරුදු පුහුණු වීම සඳහා සතුන්ගෙන් ඉතා හොඳ පිටිවහලක් ලැබේ. තමන්ට මෙන්ම සතුන්ට ද හැඟීම් තිබෙන බව, තමන්ට මෙන් ඔවුන්ට ද රිදෙන බව, තමන්ට මෙන් ඔවුන්ට ද බඩගිනි දැනෙන බව, තමා මෙන් ඔවුන් ද ආදරය බලාපොරොත්තු වන බව සහ තමාට මෙන් ඔවුන්ට ද ආදරය අවශ්‍ය බව දරුවා මෙමගින් හඳුනා ගනී. එනිසා සතුන්ට ආදරයෙන් සැලකීමේ වටිනාකම සහ ආදරය කළ යුතු ආකාරය දරුවෝ ප්රායෝගිකවම ඉගෙන ගනිති. මෙය පොත් ගණනාවක් කියවා හෝ දෙමාපිය වැඩිහිටියන් මාස ගණනක් තිස්සේ උගන්වා හෝ දරුවකුට ලද නොහැකි අගනා පාඩමකි.
එසේම දරුවාට හොඳින් හුරු වූ පසු සුනඛයා දරුවන්ගේ හොඳ මිතුරකු බවට පත්වේ. කතා කරන්නට නොහැකි වුණත් දරුවන් කියන දේ අසා හිඳිමින් ඊට කුමක් හෝ ප්‍රතිචාර දැක්වීම සුනඛයාගේ සිරිත ය. ඒ අනුව දෙමාපියන් සමග කිව නොහැකි දේවල් පවා තම සුරතල් සුනඛයා සමග පවසන්නට දරුවා පෙළඹෙනු ඇත. මෙය සුනඛයන්ට පමණක් නොව බළලුන්ට පවා පොදු තත්ත්වයකි. දරුවා මෙමගින් කාන්සිය පාළුව මගහැර ගනී. විශේෂයෙන් වර්තමානයේ පවුල්වල දරුවන් එක් අයකුට දෙදෙනකුට පමණක් සීමා වීම, දරුවන් අසල්වැසියන් සමග ඇසුරට නොයැවීම නිසා නිවෙස තුළ කොටුවීම වැනි හේතූන් මත සුනඛයෙක් හෝ බළලෙකු නිවසෙහි ඇති දැඩි කිරීම තුළින් දරුවාගේ කාන්සිය පාළුව මකා ගැනීමට මහත් වූ මෙහෙවරක් සැලසේ.
දරුවාගේ හැඟීම් යම් පමණකට හෝ අවබෝධ කරගැනීමේ හැකියාවක් ද සුනඛයා සතු ය. එනිසා සුනඛයන් තමාට ආදරය දක්වන දරුවා දුකට පත් වූ විට, රෝගීවී සිටින විට එම දරුවා ළඟම ගැවසීම බොහෝ විට දක්නට ලැබේ. තමා ආදරය කරන දරුවාට කරදරයක් අනතුරක්
වන්නට ගිය විට එම දරුවන් බේරා ගත් සුනඛයන් පිළිබඳ කතාද අපි අසා ඇත්තෙමු. අනතුරක් සිදුවන්නට යන විට එය කලින් හඳුනා ගැනීමේ ඉවක්ද බොහෝ විටම සුනඛයන් සතුය .
මේ ආකාරයට කායික වර්ධනයට අවශ්‍ය වන ව්‍යායාමත්,මානසික වර්ධනයට අවශ්‍ය වන ඉහත කී සියලු ගුණාංගත් සුනඛයෙකු ඇතිදැඩි කිරීම තුළින් දරුවකුට හිමිවනු ඇත.
මෙතෙක් අප දැක්වූයේ සුරතල් සතුන් වෙතින් දරුවන්ට සැලසෙන මෙහෙය පිළිබඳව ය. එලෙසින්ම සුනඛයන් ඇතිදැඩි කිරීම තුළින් වැඩිහිටියන්ටද සුවිශේෂ වාසි හිමිවෙයි. කායික මානසික නිරෝගීතාවය සඳහා සුනඛයකු වෙතින් වැඩිහිටියන්ට ලැබෙන පිටිවහල ඉතා විශාල ය.
හුදෙකලාව වෙසෙන වැඩිහිටියන්ගේ එම හුදෙකලාව දුරු කිරීම පිණිස සුනඛයෙකු ඉතා හොඳ මිතුරෙකි. විශේෂයෙන් රැකියාවක් කරමින් හිඳ විශ්‍රාම ගත් කෙනෙකුට නිවසේ ගත කරන ජීවිතය තුළ තදබල තනිකමත් දැනෙනු ඇත. මේ කාලය වන විට දරුවන් ද වැඩිහිටි තත්ත්වයට පත් ව සිටින බැවින් දරුවන්ට දෙමාපියන් සමග කාලය ගත කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත. මෙබඳු කෙනෙකුට අන් කාටත් වඩා හොඳින් සමීප විය හැකි හිතමිතුරා සුනඛයා ය. එසේම සුනඛයකු ඇතිදැඩි කිරීම තුළින් එවැනි අයගේ ජීවිතය ද ක්‍රමවත් රටාවකට හැඩගැසෙයි. බොහෝ සුනඛයන් තම ස්වාමියා කොහේ හෝ ගොස් නිවසට පැමිණෙන තෙක්ම බලා සිටීම සිරිතකි. ඇතැම්විට ඔහුගේ දරුවන් හෝ බිරිඳවත් එතරම් උනන්දුවකින් ඔහුගේ පැමිණීම බලාසිටින්නේ නැත. සෙසු අය වෙතින් තදබල ලෙස විශ්වාසවන්ත බව බිඳී යන විටෙක වුවත් සතුන් හා මිනිසා අතර නොබිඳෙන විශ්වාසවන්ත බවක් පවතී. එබැවින් තමන්ගේ ස්වාමියා තමාට හොඳින් සැලකුවත්, නැතත් සුනඛයා තම ස්වාමියා කෙරෙහි ඇති ලෙන්ගතු බව පලුදු කර ගන්නේ නැත. කිසිම හේතුවකටවත් සුනඛයා ස්වාමියාට ප්‍රතිරෝධයක් එල්ල කරන්නේද නැත.
විශාද රෝගයෙන් පෙළෙන අය සුනඛයන් ඇති කිරීම ඉතා යහපත් ය. එයින් ඔවුන්ට තම ජීවිතය තුළ යම් වටිනාකමක් ලැබේ. ඔවුන්ගේ පාලුව පාළුව කාංසිය මකන්නට ද සුනඛයාගෙන් මහත් පිටිවහලක් සැලසෙනු ඇත. සමහරුන්ට වයසට යන විට වැළඳෙන දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදිය සුනඛයන් ඇති කිරීම තුළින් සමනය වේ. එසේම ඔවුන් තුළ ක්‍රියාශීලී බව ද ඇතිවනු ඇත. සුනඛයන් සමග නිතර කල්ගත කරන විට ආතතිය ද අඩු වේ. සතෙකුට ආදරය කිරීම සහ පෙරළා එම සතාගෙන් ආදරය ලැබීම මෙලෙස ආතතිය අඩු වීමට හේතුවයි.
ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන වයසක අය මාළුන් ඇති කිරිම ඉතා වැඩදායක ය. මාළුන් පිහිනන විට ඔවුන්ගේ චලන රටා ඇසට ප්‍රිය මනාප වන අතර එයින් මානසික සංයමයක් ඇති වේ. මෙය අතීතයේ පටන් පැවති දෙයකි. අතීතයේ ජපාන යුද නායකයන් සිත ආවේගශීලී වූ විට තීරණ නොගෙන මාළුන් පීනන දෙස බලා සිටි බව සඳහන් ය. ඉන් මඳ වේලාවකට පසු සිත නිවුණු විට ඔවුන් තීරණ ගත් බව පැවසේ. මෙය එක්තරා ආකාරයක භාවනාවක් වැනිය.
ඩිමෙන්ෂියා රෝගයේදී ස්නායු තව දුරටත් මැරී යාම වැළැක්වීමට මාළුන් සහ කුරුල්ලන් ඇති කිරීම ඵලදායක බව පර්යේෂකයන්ගේ මතයයි. ප්‍රධාන ගණයේ මානසික රෝග සුව වී ගෙන එන විට සතුන් ඇසුරු කිරීම ඒවා තවත් සුව වීමට හේතුවක් වෙයි.
මානසික වර්ධනයේ දුබලතා පවතින දරුවන්ට සහ මන්ද මානසික දරුවන්ට සතුන් ඇසුරු කිරීම ප්‍රතිඵලදායකය. විශේෂයෙන් සමාජශීලී බවේ ගැටලු , භාෂා සන්නිවේදනයේ දුර්වලතා , අමුතු චර්යා රටා ආදිය දරුවන් තුළ ඇතිවන ඕටිසම් නම් රෝගයේදී ද සතුන් ඇසුරු කිරීම සුදුසු වේ.
නමුත් විශේෂයෙන් අවධාරණය කළ යුතු දෙයක් තිබේ. ඔබ සුනඛයකු හෝ වෙනත් සතකු ඇති දැඩි කළ යුත්තේ ඔබට ඔවුන් වෙනුවෙනුත් යම් කාලයක් වැය කළ හැකි නම් පමණි.
විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ
සැකසුම – ඉන්දු පෙරේරා