ගොවිතැනට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ තැනක උද්ඝෝෂණ; තවත් තැනක වැසි පිරිත්!

wasi-pirith

පවතින නියඟය මුල් කොට මේ දිනවල උඩවලවේ ජලාශය, චන්ද්‍රිකා වැව ආදී ජලාශවල ජලය ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.ඒ හේතුවෙන් ඉන් දියවර ලබා ගන්නා කුඹුරු විශාල ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමකට ලක්වෙමින් තිබේ. එම කරුණ මුල් කොට පසුගිය දිනවල ඇඹිලිපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් ගොවි උද්ඝෝෂණ කිහිපයක්ම පවත්වන ලදී. එහි දී ඔවුන් පවසා සිටියේ උඩවලව සහ චන්ද්‍රිකා වැව යන ජලාශවලින් ලැබෙන ජල සැපයුම කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් නොවීම මත විදුලි බලය උත්පාදනය පිණිස භාවිතා කෙරෙන සමනල වැව ජලාශයේ ජලය හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා මුදාහරින ලෙස ය.විදුලි උත්පාදනය සඳහා ජලය ඇතුළු විකල්ප ක්‍රම කිහිපයක් ඇති මුත් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය වෙනුවට ලොව අන් කිසිදු විකල්පයක් නොමැති බව ද ඔවුන් විසින් මෙහි දී පෙන්වා දෙන ලදී.

මේ අතර වර්තමානයේ පවතින නියඟය මුල් කොට කෘෂිකාර්මික කටයුතු බිඳ වැටීමෙන් ඉදිරියේ දී ඇති විය හැකි දුර්භික්ෂය පිටුදැකීම පිණිස වන ආධ්‍යාත්මික උපාය මාර්ගයක් ලෙස ඇඹිලිපිටිය, තුංකම,ඓතිහාසික තෙරුන්නාන්සේගම රජමහා විහාරයට නුදුරු භූමියේ දී පසුගිය ජූලි විසි නව වන දා විශේෂ වැසි පිරිත් සජ්ඡායානාවක් ද පවත්වන ලදී. අප ජන සංස්කෘතියේ ජන ආගමික පක්ෂයට අයත් වැසි සඳහා වන යාතු කර්මයක් වන මෙම වැසි පිරිත මෙහි දී සර්ව රාත්‍රික ගිහි පිරිත් සජ්ඡායානාවක් සමඟ සම්බන්ධ කොට තිබිණ. එහි දී මහ පිරිත නිමාවීමෙන් පසු සිදු කරනු ලබන පිරිත් සජ්ජායනාව අතරට වරින් වර වැසි පිරිත ද එක් කොට වැසි සඳහා කන්නලව්වක් ද සිදු කරන ලදී.ඒ සඳහා ගම්වාසීන් සැලකිය යුතු පිරිසක් එක් ව සිටීම ද විශේෂත්වයකි.
වැසි පිරිත යනු සුවිසල් පෙළක් සහිත සජ්ජායනයක් නොවේ.සමස්තයක් වශයෙන් ගත් විට වැසි පිරිත යනු මේ කෙටි ගාථා ඛණ්ඩය පමණි.

සුභූතෝච මහාථේරෝ – මහාකායෝ මහෝදරෝ,
නීලවණ්ණෝ මහාතේජෝ – පවස්සතු වලාහකා,
අභිත්ථනය පජ්ජුන්න – නිධිං කාකස්ස නාසය,
කාකං සෝකාය රන්ධේහි – මච්ඡේ සෝකා පමෝචය,
එතේන සච්චවජ්ජේන – සම්මා දේවෝ පවස්සතු.

පිරුවානා පොත් වහන්සේ යනුවෙන් හඳුන්වන අප සමාජයේ භාවිතා වන පිරිත් පොතේ ද අග කොටසට අයත් ඉහත සඳහන් ගථා ඛණ්ඩයේ අරුත ඉතා සරල ලෙස මෙසේ දැක්විය හැක.
“නීල වර්ණයෙන් දිස්වන මහා තෙදැති වැසි වලාකුළු සුභූති නම්, නම් මහා තෙරුන් ගේ මහා කාය හා මහා උදරය මෙනි. කපුටකුට හොටෙන් ගැනීමට තරම් වත් දිය බිඳක් මිහි මත නැත.එහි සත්‍යානුභාවයෙන් කපුටන් හා මා ඒ ශෝකයෙන් ගලවා ගනු පිණිස යහපත් ලෙස වැසි වසීවා!”
එහෙත්, මෙහි සඳහන් කාල වර්ණ රූප කායකින් හා උදරයකින් යුතු සුභූති හිමියන් පිළිබඳ පැහැදිලි තොරතුරක් ථේරවාදී ත්‍රිපිටක සාහිත්‍යයෙන් සොයා ගැනීම අසීරු වී තිබේ .ඒ සම්බන්ධයෙන් අපගේ පෞද්ගලික අනුමානය වනුයේ ආසන්න වශයෙන් මහනුවර රාජධානි සමයේ දී මෙය ඒ සමයේ අප ගේ ජන සංස්කෘතිය හා බද්ධ වූ මහායානික පුරාණෝක්තියක් මත පදනම් වූවක් විය හැකි බව ය.

නියං සමයට වර්ෂාව සඳහා සිදු කෙරෙන අනේක විධ අභිචාර විශාල සංඛ්‍යාවක් තිබේ. මුල දී ජන ආගමික ලක්ෂණ සේ ඉස්මතු වූ ඇතැම් අභිචාර විධි වලට පසුව ආගමික අර්ථ කථන ලබා දී සත්‍ය හෝ කල්පිත පුරාණෝක්ති ආරෝපණ ද ලබා දී ඇති බව ද නොරහසකි.මෙම වැසි පිරිත නම් වන ශාන්ති කර්මය උඩරට සහ පහත රට තෙත් කලාප හැරුණු කොට වරින් වර නියඟයට බඳුන් වන දිවයිනේ සෙසු ප්‍රදේශවල විවිධ අයුරින් භාවිතා වූ බව ඒ සම්බන්ධ විමසුම් වලදී පෙනී යයි.
දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල වර්ෂාව අපේක්ෂාවෙන් සිදු කරන යාතු කර්මයක් වන සූභූති බලිය යනු මෙම වැසි පිරිත් දෙසුමේ ම තවත් දිගුවකි. සූභූති බලියේ දී මහ රහතන් වහන්සේ නමක සේ හැඳින්වෙන සුභූති නම් හිමියන් ගේ රූපය මැටියෙන් නිමා කෙරේ. එම බලිය ඉදිරියේ තබාගෙන භික්ෂූන් වහන්සේ සත් නමක් තුන් වරුවක් වැසි පිරිත සජ්ජායනා කරති. මෙහි දී උන්වහන්සේලා එම පිරිත් සජ්ජායනා කරන්නේ හිටි ඉරියව්වෙන් යුතුව වීම ද විශේෂත්වයකි. පසුව ගම්මු සූභූති බලි රූපය ඔසවාගෙන ගොස් වැව් තාවුල්ලේ තැන්පත් කරනුයේ සුභූති මහ රහතන් වහන්සේ ගේ ආනුභාවයෙන් හා වැසි පිරිතේ සත්‍යානුභාවයෙන් වැසි ලැබේවා යන පැතුමිනි. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවර කලාපයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරළේ සමහර ප්‍රදේශවල ද නියඟය දුරලීම පිණිස වැහි බලිය සහ වැහි බලි යාගය යන යාතු කර්ම පවත්වන ලදී. මුළුමනින්ම ජන සංස්කෘතිකාංගයක් වන වැහි බලිය වැහි බලි යාගය පිළිබඳව එම නියඟය ද විස්තර කෙරෙන කෝල්මුර කවියක් මෙලෙසිනි.

අහල ගං හතක ගවයෝ නැති වෙච්චි
පහළ වැවේ දිය පතුලට හිඳිච්චි
ඉහළ දෙවියන්ට මඩිතිය කැඩිච්චි
අපල දෝස වැහි බලියෙන් ගෙවිච්චි

මෙම වැහි බලිය නම් යාතු කර්මයේ ආධ්‍යාත්මික ලක්ෂණ එතරම් ප්‍රකට නොවේ.මගේ නිගමනය අනුව එය හුදු භාව විරේචන අභිචාර ක්‍රමයක් පමණි.
එහිදී ගම්ම්නුන් ගේ පොදු අනුමැතිය මත ගම්පති වරයා ගමේ කපුරාළ ද කැඳවා ගෙන ගමේ සංහිඳට හෝ දේවාලයට ගොස් නියඟයෙන් වගා හානි වී සතා සතුන් විපතට පත්ව ඇති බව නොපෙනේදැයි කරන යාතිකාව අවඥාවකට බර වූවකි. මෙහි දී වර්ෂාව ලබා දීම වැහිගම්පළ මුත්තා ගේ වගකීමක් බවටත් මුත්තා එසේ නොකළ හොත් වැහිගම්පළ මුත්තා ලජ්ජාවට පත් වන වැහි බලියක් අරින බවට එම යාතිකාවෙන් ඔව්හු අනතුරු අඟවති.නමුදු මෙම වැහි ගම්පල මුත්තා ජන සම්මත වැස්ස වලාහක දෙවියන්ම ද යන්න පැහැදිලි නැත. නමුත් ඊළඟ කෙම්මුර දිනයට පෙර වැසි නොලැබුණහොත් ගමේ පුරුෂ පාර්ශවය එක්ව වැහිගම්පළ මුත්තා සඳහා වැහි බලි යාගය පවත්වන ලදී. රාත්‍රිය පුරා පවත්වන මෙම වැහි බලි යාගය කාන්තාවන්ට හා දරුවන්ට සපුරා තහනම් ය.ඒ එය එතරම් අශ්ලීල බැවිනි. වැහිගම්පළ මුත්තා අපහාසයට ලජ්ජාවට පත් කරවන අසභ්‍ය වදන් සහිත බලියාග කවි හා කෝල්මුර කවි මෙහි දී ගායනා කෙරේ. මෙහි දී වැහි ගම්පල මුත්තාගේ සහ ඔහු ගේ බිරිඳගේ බලි රූප දෙකක් තනා රාත්‍රියේ එය පෙරහැරකින් වැව් පිටියක් වෙත ගෙන යනු ලැබේ. පසුව නිරුවත් වන ගැමියෝ මුත්තාගේ බලිය මතින් මුත්තාගේ බිරිඳගේ බලිය තබා මුත්තාගේ ”පුරුෂ ශක්තිය මඳ බව” හුවා දක්වමින් මඩ වතුරින් ඒ බලි රූප දෙක දිය කර හරිති. එහි දී පැවසෙන බලියාග කවි අතුරින් සභ්‍ය ස්වරූපයේ පවතින මේ කවිය තරමක් ප්‍රකට වූවකි.

වැහැපං දෙවියා කහපන් දෙඤ්ඤං
දොරකඩ පොල් ගහ නින්දෙම දෙඤ්ඤං
හාංඩ මීගොන් බානක් දෙඤ්ඤං
තනිකඩ අක්කා දීගෙට දෙඤ්ඤං

ඉහත සඳහන් කවියේ “කහපන්”යනු අනුරාධපුර යුගයේ භාවිතා වූ හස් එබූ කාසි විශේෂයක් වන කහාපන විය යුතු ය.එමෙන්ම දොරකඩ පොල්ගහ නින්දෙම දෙඤ්ඤං යන පදයේ “නින්දෙම” යන වදනින් නින්දගම යන්න හැඟවෙන බව මගේ වැටහීම ය.
මෙම වැහි බලි යාගයට එක් වන පිරිමින් විසින් ඊළඟට සැපිරිය යුතු තවත් වත් පිළිවෙතක් විය. එනම් නැවත වැසි ලැබෙන තුරු බිරියන් හා කාම සම්භෝගයේ නොයෙදීම ය. එසේ යෙදීමෙන් බිරිඳ ගැබ් ගත හොත් එය අංග විකල හෝ අඥාන දරු උපතකට මුල් වනු ඇතැයි ඔව්හු විශ්වාස කළහ.ඒ සම්බන්ධ ප්‍රායෝගික සත්‍යය නම් දිගින් දිගටම වැසි නොලැබෙන දුර්භික්ෂ සමයක ගැහැනියක ගැබ් ගැනීම මත ඒ ගැබිණි බවේ මුල් අවදියේ දීම ඇය පෝෂණ ඌණතාවයකට ලක් වීමට ඇති හැකියාව විය යුතු ය. එය නීරෝගීමත් දරු උපතකට බාධාවක් වීම වලකාලිය නොහැක.එමෙන්ම ඉන්දීය ජන සංස්කෘතීන්හි සේම අපේ ජන සංස්කෘතියේ ද වර්ෂාව,ලිංගිකත්වය සහ සෞභග්‍යය එකට කැටි කොට දක්වන අභිචාර විධි කොතෙකුත් දක්නට පුළුවන.

ඒ කෙසේ හෝ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනමය ආකල්ප පුළුල් වීම මුල් කොට හුදු විරෝධතා,උද්ඝෝෂණ ප්‍රමුඛස්ථානයට පත් වන නූතනයේ විවිධාකාර දුක් කරදර විපත් ආදියට පත්වන ජනතාව ඉන් අත්මිදීම පිණිස යොදනු ලබන මෙවන් සාම්ප්‍රදායික අභිචාරාත්මක ක්‍රමෝපායන් අපහාසයට උපහාසයට හෝ විවේචනයට ලක් කිරීමට අපට නොහැක. ඒ විකල්ප වශයෙන් හෝ එමගින් ඔවුන් පෞරුෂ, පවුල්, ප්‍රජා සහ සමාජමය වශයෙන් කිනම් හෝ ආකාරයක සාධනීය ප්‍රතිඵල ද ලබා ගන්නා බව මනාව තහවුරු කළ හැකි බැවිනි.

තිලක් සේනාසිංහ

ඡායාරූප – රේණුකා දමයන්ති

 

එතෙර - මෙතෙර