3 වැනි චාල්ස් රජු මේ දිනවල මාධ්‍ය තුළ විශාලම අවධානයක් දිනාගෙන සිටින කෙනෙක් බව රහසක් නොවෙයි. ඔහු ගැන වාර්තාවන බොහෝ තොරතුරු අතරේ ඉතා අපූරු සුළු සුළු සිදුවීම් පවා තිබෙන අයුරු දකින්න පිලිවන්. මෙවැනි එක් සිදුවීමක් වූයේ චාල්ස් රජුට කේන්ති ගිය අවස්ථාවක් පිලිබඳව වාර්තා වූ සිදුවීමයි.
මෙම සිද්ධිය සිදුව තිබුණේ ඔහු රජකමට පත් වීමෙන් අනතුරුව පසුගිය දිනෙක උතුරු අයර්ලන්තයේ සංචාරයක නිරත වෙද්දී යි. එහි එක්තරා මාලිගයක තිබූ නිල කටයුත්තකට සහභාගි වීමෙන් පසු ඔහු අමුත්තන්ගේ පොතක අත්සන් කිරීමට නියමිතව තිබුණා. කෙසේ හෝ වේවා, එහි යම් සටහනක් තබා අත්සන් කිරීමෙන් පසු රජුට දැකගන්නට ලැබුණේ අත්සන් කළ පෑනේ තීන්ත කාන්දු වීම නිසා තම ඇඟිලිවල පවා තීන්දු තැවරී ඇති බවයි. මෙයින් ඔහු තුළ දැඩි නොරුස්නා බවක් ඇති වන අතර ඔහු පෑනට බැණ වදින ආකාරය දැකිය හැකියි. මේ සියල්ල සිදු වන්නේ රූපවාහිනි කැමරා ආදිය ඉදිරියේ නිසා එය කාගේත් අවධානය පැහැරගත් සිදුවීමක් බවට පත් වුණා.
‘අනේ දෙයියනේ, මට දැන් මේක එපා වෙලා’ යනුවෙන් චාල්ස් රජු පවසන්නේ කෝපයෙන් යුතුව පෑන තමා අසළ සිටින කැමිලා බිසව අතට දී ලේන්සුවකින් ඇඟිලි පිස දමන ගමන්. පෑන අතට ගන්නා කැමිලා ද ඒ දෙස බලා ‘බලන්නකො, මේකෙ හැම තැනම තීන්තනෙ’ යනුවෙන් චෝදනාත්මක ස්වරයෙන් පවසනවා. අය ඒ අසළ සිටින කෙනෙකුගෙන් වෙනත් පෑනක් ඉල්ලද්දී චාල්ස් තව මොනවාදේ පවසමින් එතැනින් ඉවත්ව යනු දැකිය හැකියි.
බි්රතාන්ය මාධ්‍ය පවසන ආකාරයට අලුත් රජු රජකමට පත්වීමෙන් පසු ප්‍රසිද්ධියේ මෙලෙස නොරුස්නා ආකාරයෙන් හැසිරී තිබුණේ දෙවැනි වතාවටයි. ඊට දින කිහිපයකට පෙර ඔහු නිල වශයෙන් රජකමට පත් කළ උත්සවය අවස්ථාවේ ද මෙයට සමාන සිද්ධියක් සිදුව තිබුණා. එදින අදාළ ලියකියවිලිවලට අත්සන් කරද්දී එම මේසය මත තිබූ පෑන් රඳවනයකින් ඔහුට බාධාවක් ඇති වෙනවා. එයින් නොඉවසිලිමත් වන රජු ඒ අසළ සිටින සේවකයකු දෙස බලා පෑන් රඳවනය එතැනින් ඉවතට ගන්නා මෙන් නොරුස්නා ආකාරයෙන් පවසනු දැකිය හැකියි.
චාල්ස් සාමාන්‍යයෙන් විහිළුතහළු කිරීමට කැමැති කෙනෙකු වුවත් සමහර අවස්ථාවල ඉක්මනින් කේන්ති ගන්නා බව වරක් එක්තරා සේවකයකු පවසා තිබුණා. නමුත් ලෝකයම ඔහු දෙස බලා සිටින අවස්ථාවක මේ ආකාරයෙන් හැසිරීම ඔහුට අවාසි සහගත විය හැකි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මහ රැජනගේ ඉරියව් තුළින් පළ වූ සන්සුන්, ප්‍රියජනක විලාසය සමග ජනතාව මෙම හැසිරීම් සසඳන්නට යොමුවනු ඇති බව නිසැකයි.
කෙසේ හෝ වේවා, චාල්ස් ගේ ප්‍රියජනක ගති ස්වභාවයන් ගැනත් මේ දවස්වල නිතර මාධ්‍ය තුළ විස්තර පළ වෙනවා. ඒ අතර ඔහු ගැන බොහෝ දෙනෙකු නොදන්නා තොරතුරු ද තිබෙනවා. චාල්ස් චිත්‍ර ඇඳීමට සහ සංගීතයට ඉතා ලැදි කෙනෙකු බවයි පැවසෙන්නේ. ඔහු කුඩා කාලයේ සිටම පියානෝ සහ ට්‍රම්පට් වාදනයට දස්කම් දැක්වූ බව සඳහන්. පාසලේ ගායක කණ්ඩායමේ ද ඔහු සාමාජිකයකු ලෙස කටයුතු කර තිබුණා දිය සායම් චිත්‍ර ඇඳීමත් චාල්ස්ගේ විනෝදාංශයක් බව පැවසෙනවා. වින්ඩ්සර් මාලිගය වැනි තැන්වල ඔහුගේ චිත්‍ර අලෙවිය සඳහාත් තබා තිබෙනවාලු. ඒවායෙන් ලැබෙන ආදායම යොදවන්නේ විවිධ සමාජ සේවා කටයුතු සඳහා යි.
චාල්ස් කුඩා කාලයේ පටන්ම කතන්දර කීමටත් ආසාවක් දැක්වූ කෙනෙකු බවටත් කතාවක් තිබෙනවා. තම බාල සොහොයුරන් වූ ඇන්ඩෲට සහ එඩ්වඩ්ට පැවසීම සඳහා ඔහු කතන්දර ගෙතූ බව සඳහන් වෙනවා. පසුකාලයේ (1980) ඔහු ළමා කතා පොතකුත් ලියා පළ කළා. එහි නම ඔයැ ධකා ඵ්බ දf ඛදජයබ්ට්ර. රජ මාලිගයක් අසළ පිහිටි ගල් ගුහාවක ජීවත්වන මිනිසකු ගැනයි එයින් කියැවෙන්නේ.
තේ පානයත් චාල්ස්ගේ දින චරියාවේ විශේෂ අංගයක් බව සඳහන්. සෑම දිනෙකම සවස 4 ට තේ කෝප්පයක් පානය කිරීම ඔහු නොවරදවාම කරන කටයුත්තක් බව පැවසෙනවා. සැහැල්ලු ආහාරයක් ගැනීමෙන් පසු ඔහු මේ ආකාරයෙන් තේ පානය කරන්නේ මී පැණි සහ කිරි සමග බවයි සඳහන් වන්නේ. චාල්ස් දහවල් ආහාරය නොගන්නා බවටත් කතාවක් තිබෙනවා. මෙයින් පෙනෙන්නේ ඔහු තම ශරීර සෞඛ්‍යය ගැන බෙහෙවින් සැලකිලිමත් වන බවයි.
බි්රතාන්යයේ වංශ කතාවලට අනුව චාල්ස් සහ රුමේනියාවේ ඉතා ප්‍රකට ප්‍රාදේශීය පාලකයකු වූ ඩ්රැකියුලා අතරත් සම්බන්ධයක් තිබෙනවා ! ඉතා ජනප්‍රිය නවකතාවක් වූ බ්රෑම් ස්ටෝකර් ගේ ‘ඩ්රැකියුලා’ කතාවට පසුබිම් වූයේත් එම පාලකයා බව රහසක් නොවේ. ඔහු ඉතා කුරිරු පාලකයකු ලෙසත් ප්‍රසිද්ධියක් දිනා සිටියා. දෙවැනි එළිසබෙත් රැජිනගේ සීයා වූ 5 වැනි ජෝර්ජ් රජුගේ බිසව මේරි රුමේනියාවේ විසූ ඩ්රැකියුලා ගේ පෙලපතින් පැවත එන්නකු බවයි විශ්වාස කෙරෙන්නේ.
චාල්ස් රජු බි්රතාන්ය රාජකීය ඉතිහාසය තුළ වාර්තා කිහිපයක් පිහිටුවීමටත් සමත්ව සිටිනවා. එරට සිහසුනට පත් වියපත්ම රාජකීයයා වීම එක වාර්තාවක්. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 73 ක්. එමෙන්ම රජ පවුල තුළ කිරුළට උරුමකම් කියූ අය අතරින් මුලින්ම විශ්ව විද්‍යාල උපාධියක් ලැබූ රාජකීයයාත් චාල්ස් රජු යි.
නිහාල් පීරිස්