බ්‍රීතාන්‍යයේ 3 වැනි චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය පසුගිය දිනවල ලෝකයේම අවධානය දිනාගත් සිදුවීමක් විය. මෙම මහා උත්සවය හා බැඳුණු විශේෂ ස්ථාන අතරින් කැපී පෙනුණු එක් ස්ථානයක් වූයේ බකිංහැම් මාලිගය යි. අභිෂේක මංගල්‍යය පැවැත්වුණු වෙස්ට්මින්ස්ටර් දේවස්ථානය වෙත රජු සහ රැජින අශ්ව රථයෙන් ගමන් කළේ බකිංහැම් මාලිගයේ සිට යි. දේවස්ථානයේ කටයුතු අවසන් වීමෙන් පසු ඔවුන් නැවත පැමිණියේ ද බකිංහැම් මාලිගයට යි. එහි සඳළුතලයේ සිට ඔවුන් ජනතාවට ආචාර කළ අවස්ථාව ද මෙම උත්සවය හා බැඳුණු තවත් විශේෂ අවස්ථාවක් විය.
මධ්‍යම ලන්ඩනයේ පිහිටි මෙම සුවිසල් මාලිගයට මෙවැනි විශේෂ වැදගත්කමක් ලැබෙන්නේ එය බ්‍රීතාන්‍යයේ කිරුළ දරන්නාගේ නිල නිවහන වන අතරම ඔහුගේ/ ඇයගේ පරිපාලන මූලස්ථානය ද වන බැවිනි. පහත පළ වන්නේ මෙම අපූරු මාලිගය පිලිබඳ රසවත් තොරතුරු බිඳකි.
අක්කර 39 ක සුවිසල් භූමි භාගයක පිහිටා ඇති මෙම මාලිගයේ කාමර 775 ක් ඇති බව සඳහන් වේ. ඒ අතරින් 52 ක් රාජකීයයන් වෙනුවෙන් සහ විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති නිදන කාමර ය. කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෙන් කර ඇති නිදන කාමර 188 ක් ද මෙහි තිබේ. කාර්යාල කාමර ගණන 92 ක් වන අතර නාන කාමර ගණන 78 කි. අමුත්තන් පිලිගැනීමට සහ ඔවුන්ට සංග්‍රහ කිරීමට වෙන් කර ඇති කාමර සංඛ්‍යාව 19 ක් බව සඳහන් වේ. මාලිගයේ ජනෙල් 760 ක් සහ දොරවල් 1,514 ක් ඇති බව ද පැවසේ.
සාමාන්‍යයේ වසරේ ජුලි සිට සැප්තැම්බර් දක්වා ග්‍රීෂ්ම සෘතුවේ රජු හෝ රැජින බකිංහැම් මාලිගයේ වාසය කරන්නේ නැත. එම කාලය තුළ බකිංහැම් මාලිගය නැරඹීමට මහ ජනතාවට අවස්ථාව හිමි වේ. වාර්ෂිකව අති විශාල සංචාරකයන් සංඛ්‍යාවක් මෙය නැරඹීමට එති. නමුත් ඔවුන්ට නැරඹීමට හැකි වන්නේ ඉහත කී කාමරවලින් අවසන් වශයෙන් සඳහන් කළ කාමර 19 පමණි. මේවා සම්පූර්ණයෙන් නැරඹීම සඳහා සාමාන්‍යයෙන් කෙනෙකුට පැය 2 ක පමණක් කාලයක් ගත වේ. රජු මාලිගයේ සිටින විට එහි ඔසවන ධජය සහ නොසිටින විට ඔසවන ධජය එකිනෙකට වෙනස් ය.
මෙම අපූරු මාලිගය තුළ වෙනම තැපැල් කාර්යාලයක්, පොලිස් ස්ථානයක්, සිනමා ශාලාවක්, පිහිනුම් තටාකයක්, සෞඛ්‍ය මධ්‍යස්ථානයක් මෙන්ම මුදල් ගැනීමට හැකි (ATM) යන්ත්‍රයක් ද තිබේ. ඊට අමතරව හදිසි සැත්කම් සඳහා ශල්‍යාගාරයක් ද මේ තුළ තිබෙන බැව් සඳහන් වේ.
බකිංහැම් මාළිගය රජුගේ හෝ රැජිනගේ නිල නිවහන වුව ද අභාවප්‍රාප්ත වූ 2 වැනි එළිසබෙත් රැජින වඩාත් ප්‍රිය කළේ ලන්ඩනයේ සිට සැතපුම් 20 ක් පමණ දුරින් පිහිටි වින්ඩ්සර් මාලිගයේ කාලය ගත කිරීමට බව ප්‍රසිද්ධ කාරණයකි. ඇය බකිංහැම් මාලිගය භාවිත කළේ බොහෝ දුරට නිල කටයුතු සඳහා පමණක් බව සඳහන් වේ.
මෙම මාලිගයේ ඔරලෝසු සිය ගණනක් ඇති බව සඳහන් වන අතර ඒවා නිසියාකාරයෙන් නඩත්තු කිරීම සඳහා වෙනම ඔරලෝසු කාර්මික ශිල්පයකු සිටින බව පැවසේ. මෙහි ඇති විදුලි පහන් ගණන 40,000 කට අධික ය.
බකිංහැම් මාලිගයට යටින් රහස් උමං පද්ධතියක් ද දිවෙන බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි. එක් අවස්ථාවක 6 වැනි ජෝර්ජ් රජු සහ බිසව මෙම උමං මාර්ගයක යද්දී එහි යම් පුද්ගලයකු පදිංචි වී සිටිනු දැක ගන්නට ලැබී තිබිණි.
රජුන් සහ රැජිණන් බොහෝ දෙනෙකු මෙම මාලිගය භාවිත කර ඇතත් මෙහිම ඉපිද මෙහිම අභාවප්‍රාප්ත වී ඇත්තේ එකම එක රජෙකු පමණි. ඒ 7 වැනි එඩ්වඩ් රජු යි. ඔහු රජකම් කළේ 1901 සිට 1910 දක්වා යි. 1841 වසරේ සිදු වූ ඔහුගේ උපත මෙන්ම 1910 වසරේ වූ මරණය ද සිදුව තිබුණේ බකිංහැම් මාලිගය තුළ ය.
මෙම මාලිගයේ ගෙවත්ත ලන්ඩනයේ ඇති ලොකුම පෞද්ගලික ගෙවත්ත ලෙස සැලකේ. එහි වැවක්, ටෙනිස් ක්‍රීඩා පිටියක් සහ හෙලිකොප්ටර් අංගනයක් ද පිහිටා තිබේ.
බකිංහැම් මාලිගය පිහිටි ස්ථානයේ මුලින්ම රජකීය නිවසක් ඉදි කර තිබුණේ 1703 වසරේ යි. ඒ බකිංහැම් ආදිපාදවරයා වෙනුවෙනි. එකල එය හැඳින්වුණේ බකිංහැම් නිවස (Buckingham House) යන නමිනි. 1761 වසරේ 3 වැනි ජෝර්ජ් රජු එය ඔහුගේ බිරිඳ වූ චාලට් රැජින වෙනුවෙන් මිල දී ගෙන තිබිණි. එවිට එය හඳුන්වා තිබුණේ රැජිනගේ නිවස (Queen’s House) ලෙසින් බව සඳහන් ය. එය රජ මාලිගයක් බවට පත් කර තිබුණේ 4 වැනි ජෝර්ජ් රජුගේ කාලයේ යි. ඔහු රජකම් කළේ 1820 සිට 1830 දක්වා ය. පසුකාලයේ මෙයට තවත් අලුත් කොටස් එකතු කර වඩාත් විශාල මාලිගයක් බවට පත් කර තිබිණි.
බකිංහැම් මාලිගය බ්‍රීතාන්‍යයේ රජකම දරන්නාගේ ලන්ඩන් නිල නිවස ලෙස භාවිත කිරීමට පටන්ගෙන තිබුණේ වික්ටෝරියා රැජිනගේ සමයේ ය. ඇය රජකම දැරුවේ 1837 සිට 1901 දක්වා යි.
නිහාල් පීරිස්