චීන විස බැක්ටීරියා අපේ පොළොවත් වනසයිද?

අප රටේ වගාවන් සඳහා යොදන රසායනික පොහොර තහනම් කිරීමට තීන්දු කළ ආණ්ඩුව කාබනික පොහොර භාවිතයට ගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. නමුත් කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නංවා රසායනික පොහොර තහනම් කරනවා වෙනුවට හිටි අඩියේ කාබනික පොහොර භාවිතා කරන ලෙස ඉල්ලා සිටියත් මෙරට ගොවි තැනට අවශ්‍ය තරම් කාබනික පොහොර රට තුළ නිෂ්පාදනය වී තිබුණේ නැත.
වී, එළවළු ඇතුළු භෝග වගාකරන සියළු ගොවීන් අසරණ වූවේ අවශ්‍ය තරම් පොහොර නොමැති නිසා ය. ඒත් සමඟ නැගුණු ගොවි උද්ඝෝෂණ පදනම් කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කීවේ ඉදිරි කන්නය සදහා අඩුවකින් තොරව කාබනික පොහොර ලබා දෙන බව ය.
ඇමතිවරයා මෙම ප්‍රකාශය කරන විටත් රජයට හිතවත් ප්‍රධාන ව්‍යාපාරිකයෙකු චීනයෙන් කාබනික පොහොර ඇණවුම් කර තිබුණි. ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ගොස් අනුමැතිය ගන්නා විට ඔහු චීන කාබනික පොහොර සමාගමේ ලංකාවේ නියෝජිතයා වී හමාර ය.
කෘෂිකර්ම අමාත්‍යාංශය කාබනික පොහොර ආනයනය කිරීමේ ටෙන්ඩරය ඒ අනුව ප්‍රදානය කරන්නේ චීන චින්ඩාවෝ බයෝටෙක් සමාගමට ය. ටෙන්ඩරය පිරිනැමීමෙන් පසු අදාළ සමාගමෙන් කාබනික පොහොර සාම්පලයක් ගෙන්වා ගන්නේ පරීක්ෂා කිරීම උදෙසාය. ශාක නිරෝධායන පනත යටතේ මෙරටට කිසියම් ශාකයක්, ආහාරයක්, පළතුරක් හෝ ශාක සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක්, පොහොරක් ගෙන්වන්නේ නම් ඒවා ශාක නිරෝධායන සේවයට යවා පරික්ෂා කළ යුතුවේ.
බොහෝ රටවල් මෙම ක්‍රමය භාවිතා කරන්නේ ආක්‍රමිණික ශාක, විෂ බැක්ටීරියා, අහිතකර ක්ෂුද්‍ර ජීවින් යොමු කර එම රටවල ජෛව විවිධත්වයට හානි කර විය හැකි බැවිනි. රට තුළට ජපන් ජබර වැනි ආක්‍රමණික ශාක, මහානිදිකුම්බා වැනි ශාක සේම කුරුමිණියන් ආදී සතුන් පසුගිය කාලයේ එවා තිබුණි. එම ආක්‍රමණිකයන් යොදාගනිමින් කරනුයේ පරිසර විනාශය හා භෝග විනාශයන්ය.
අතීතයේ මෙරට පොල් කුරුමිණියෙකු නොසිටි නමුත් අද වන විට පොල් ශාකය විනාශ කිරිම වෙනුවෙන් පොල් කුරුමිණියෙකු පැමිණ තිබේ. එසේම සේනා දැළඹුවා වැනි දැළඹුවන් රටට හොර රහසේ එවන ලද කෘමීන් බවට සැක සංකා පවතියි.
ක්ෂුද්‍ර ජීවීන් සේම රටට අහිතකර බැක්ටිරියා ද පොහොර පස් ආදී දේ සමග රටට පැමිණිය හැකිය. එබැවින් මෙරටට යම් අමුද්‍රව්‍යයක් මහා පරිමාණයෙන් ගෙන්වීමට පෙර එහි සාම්පල ගෙන්වා පරික්ෂ කරනු ලබයි. මෙවර ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත චින්ඩාවෝ සමාගමේ කාබනික පොහොර සාම්පලයක් මෙරටට එවා තිබුණි.
එහි රටට අහිතකර අර්වේනියා ක්ෂුද්‍ර ජිවියා හා බැසිලිසා නම් බැක්ටිරියාව පවතින බවට ශාක නිරෝධායන සේවයේ විද්‍යාඥයින් කළ පරීක්ෂණයේදී තහවුරු විය. කාබනික පොහොර නිෂ්පාදනයේදී ස්වභාවික ක්‍රමවේදය හා කෘත්‍රිම ක්‍රමවේදය යන ක්‍රමවේද දෙක උපයෝගි කර ගන්නා බව විද්‍යාඥයෝ පවසති. ස්වභාවික ක්‍රමවේදයට කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස සැලකෙනුයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයයි.
එහි පස මෙරටට 99% ක්ම ගැලපෙන බැවින් ලංකාවට උචිතම කාබනික පොහොර ඇත්තේ කේරළයේ බව ද විද්‍යාඥයෝ පවසති. චිනය ද ස්වභාවික ක්‍රමවේදයට කාබනික පොහොර නිෂ්පාදනය කරනුයේ හොවැංහෝ නදිය අසබඩ ප්‍රදේශයන් හී ය. නමුත් එම ප්‍රමාණය චිනයේ අවශ්‍යතාවයටවත් ප්‍රමාණවත් නොවේ. මෙම නිසා චිනය මහා පරිමාණයෙන් කාබනික පොහොර නිපදවන්නේ මුහුද පැලෑටි උපයෝගී කරගෙන ය.
චින්ඩාවෝ සමාගම ද එලෙස මුහුදු ජීවින් යොදා ගනිමින් කාබනික පොහොර නිපදවනු ලබයි. එම සමාගමට ශ්‍රී ලංකා රජය කාබනික පොහොර ගෙන්වීමේ ටෙන්ඩරය පිරිනැමූ අතර එහි වටිනාකම ඩොලර් බිලියන 63 කි. ටෙන්ඩරය ප්‍රකාරව කාබනික පොහොර ගෙන්වීමට ප්‍රථම කළ පරිකෂාවෙන්ම මෙම කාබනික පොහොරවල විෂ සහිත මෙරට පසට අහිතකර ක්ෂුද්‍ර ජීවියෙකු හා බැක්ටිරිායක් තිබෙන බවට තහවුරු කර ගත්තේය.
නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය එය පිළිගැනීමට මැලිකමක් දක්වයි. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ මෙම සාම්පලය පැමිණි පිළිවෙල සැක සහිත බව ය. සාම්පලයේ ගැටළු මතුවූ පසු නිල නොවන ආකාරයට තවත් සාම්පලයක් ගෙන්වා ගත් බවත් එම සාම්පලය හා නීත්‍යානුකූල සාම්පලය පැමිණි ආකාරය බැලූ විට එහි ගැටළුවක් පවතින බවත් ඇමතිවරයා සදහන් කළේය. නිත්‍යානුකූල සාම්පලයට යමක් එන්නත් කළ හැකි ආකාරයක් පෙනුණු බවද කී ඔහු මේ ගැන රහස් පොලිසියට පැමිණිලි කළ බව ද සඳහන් කරයි.
වගකීම් සහගත ඇමති වරයකු නම් ඔහු කළ යුතුව තිබුණේ නීත්‍යානුකූල ආකාරයට තවත් සාම්පලයක් අදාළ සමාගමෙන් ගෙන්වා පරික්ෂණයට යොමු කිරීම මිසක නීත්‍යානුකූල නොවන ආකාරයට සාම්පලයක් ගෙන්වූ පළමු සාම්පලය ගැන තුන්වන පාර්ශවයකට ඇගිල්ල දිගු කිරීමෙ නොවේ. මෙයින් පැහැදිලි වන ප්‍රධාන කාරණය වනුයේ කෙසේ හෝ මේ කාබනික පොහොර රට තුළට ගෙන්වා ගැනීමේ ඔවුන්ගේ අවශ්‍යතාවය මිස වෙනත් කාරණයක් නොවන බව පැහැදිලි ය.
මෙවන් බැක්ටීරියා රටට පැමිණි පසු මෙහි පසේ සිටින ක්ෂුද්‍ර ජීවින් හා ගැටී සිදුවන විනාශය මිල කළ නොහැකිය. එය වසර ගණනාවක් රටෙහි කිසිදු භෝගයක් රෝපණය නොවන තත්ත්වයට වුවද වර්ධනය විය හැකිය. දේශපාලනය යනු තමන්ගේ සාක්කුව පුරවා ගැනීම මිස රටේ අනාගතය ගැන සිතීම නොවන බව වසර හැත්තෑ පහක ඉතිහාසය දෙස හැරී බලද්දී මනාව පැහැදිලි වන කාරණයකි.ලසන්ත වීරසූරිය

එතෙර - මෙතෙර