චීනය අභ්‍යවකාශයේ ඉදි කිරීමට සැරසෙන අපූරු සූර්ය බලාගාරය

චීනය අනාගතයේ ඇති වන බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා අමුතුම විසඳුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. එනම් අභ්‍යවකාශයේ සූර්ය බලාගාරයක් ඉදි කිරීම යි. මෙවැනි විදුලි බලාගාරයක් ඉදිවන්නේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට වීම විශේෂත්වයකි.

චීන විද්‍යාඥයන් මෙම අපූරු බලාගාරය ඉදි කිරීමට සූදානම් වන්නේ පෘථිවියේ සිට කි.මී. 400 ක් තරම් ඉහළ අභ්‍යවකාශයේ යි. මෙහි ඉදිකිරීම් කටයුතු 2028 වසරේ ආරම්භ කිරීමට මෙම විද්‍යාඥයෝ බලාපොරාත්තු වෙති. කලින් මෙම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ 2030 වසරේ යි. නමුත් දැන් ඔවුන් එම දිනය වසර දෙකකින් ඉදිරියට ගෙනැවිත් තිබේ. මෙම ව්‍යාපෘතිය භාරව සිටින්නේ ‘අභ්‍යවකාශ තාක්‍ෂණය පිළිබඳ චීන ඇකඩමිය’ (The China Academy of Space Technology ) නැමැති ආයතනය යි. Chinese Space Science and Technology නැමැති ප්‍රකාශණයක පළ කර තිබූ වාර්තාවකින් පසුගිය දා ඔවුන් මෙම ව්‍යාපෘතියට අදාළ සැලසුම් ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
අභ්‍යවකාශ සූර්ය බලාගාරය ඉදිකිරීම අදියර හතරකින් සිදුවන්නක් බව සඳහන් වේ.

Solar-Power-Station

2028 වසරේ ඇරඹෙන්නේ එහි පළමු අදියර යි. සූර්ය ශක්තිය විදුලිය බවට පරිවර්තනය කිරීමත්, එය ක්‍ෂුද්‍ර තරංග හෝ ලේසර් තරංග ආකාරයෙන් පෘථිවියට ප්‍රක්ෂේපණය කිරීමත් මෙහි දී අත්හදා බලනු ඇත. ඒ වෙනුවෙන් විශේෂ චන්දි්‍රකාවක් අභ්‍යවකාශගත කරනු ඇති බව සඳහන් ය. සූර්ය කෝෂ පද්ධතියක්, මයික්‍රෝවේව් තරංග සම්ප්‍රේෂකයක් ඇතුළු උපකරණ කිහිපයක් ඊට ඇතුළත් ය. මෙම පළමු අත්හදා බැලීම් අදියරේ දී නිපදවීමට බලාපොරොත්තු වන්නේ කිලෝ වොට් 10 ක විදුලියක් පමණක් බව වාර්තා වේ. මෙය නිවෙස් කිහිපයකට පමණක් සෑහෙන විදුලි ප්‍රමාණයකි.

මෙම ව්‍යාපෘතියේ තවත් අදියර කිහිපයක් ඉදිරි වසරවල ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර නිශ්පාදනය කරන විදුලි ප්‍රමාණය මෙන්ම එය පෘථිවියට එවීමේ තාක්‍ෂණය ද එහි දී වැඩි දියුණු කෙරෙනු ඇත. ව්‍යාපෘතියේ දෙවැනි අදියර 2030 වසරේ දියත් කෙරෙනු ඇති බවත්, එහිදී මෙගාවොට් 1 ක පමණ විදුලියක් නිශ්පාදනය කරනු ඇති බවත් සඳහන් වේ. එහිදී එම බලාගාරය එකලස් කිරීමේ කටයුතු පවා සිදුවන්නේ අභ්‍යවකාශයේ දී වීම තවත් විශේෂත්වයකි. තුන්වැනි අදියර 2035 වසරේ ද, සිව්වැනි අදියර 2050 වසරේ ද දියත් කිරීමට අභ්‍යවකාශ තාක්‍ෂණය පිළිබඳ චීන ඇකඩමිය බලාපොරොත්තු වේ. මෙම අදියරවලදී නිශ්පාදනය කරනු ලබන විදුලි ප්‍රමාණය පිලිවෙලින් මෙගාවොට් 10 දක්වා ද, ගිගාවොට් 2 දක්වාද ඉහළ නැංවෙනු ඇත. ගිගාවොට් 2 ක් යනු මෙගාවොට් 2,000 ක ප්‍රමාණයකි.

විදුලි බලය නිවැරදි ආකාරයෙන් පෘථිවියේ මධ්‍යස්ථාන වෙත ඉලක්කගත කිරීමේ තාක්‍ෂණය වැඩි දියුණු කිරීම ද මෙම ඉදිරි අදියරවල දී කෙරෙනු ඇති බව චීන විද්‍යාඥයන් අනාවරණය කර තිබේ.

ඉතිහාසයේ පළමු වරට මෙවැනි බලාගාරයක් ඉදිකිරීමට සූදානම් වන්නේ චීනයේ විද්‍යාඥයන් වුවත් මේ ආකාරයේ බලාගාරයක් පිලිබඳ සංකල්පය මුල් වරට ඉදිරිපත් කර තිබුණේ සුප්‍රකට විද්‍යා ලේඛකයකු වන අයිසෙක් අසිමෝව් ය. ඔහු ඇමරිකානු ජාතිකයෙකි. (නමුත් අසිමෝව් උපත ලැබුවේ රුසියාවේ යි). 1941 වසරේ ඔහු විසින් ලියන ලද කෙටිකතාවක මුල් වරට මෙවැනි බලාගාරයක් ගැන සඳහන්ව තිබිණි. සූර්ය ශක්තිය ක්‍ෂුද්‍ර තරංග බවට පෙරලා සූර්ය ග්‍රහ මණ්ඩලයේ ඈත පිහිටි ග්‍රහලෝක වෙත යවන අභ්‍යවකාශ යානා විශේෂයක් ගැන ඔහු මෙහි විස්තර කර තිබූ බව සඳහන් වේ.

මේ ආකාරයෙන් සූර්ය බලාගාරයක් අභ්‍යවකාශයේ ඉදිකිරීම තාක්‍ෂණික වශයෙන් අතිශයින් අභියෝගාත්මක සහ වියදම් අධික කටයුත්තක් ලෙස සැලසේ. මෙයට වසර ගණනාවකට පෙර ඇමරිකාවේ නාසා ආයතනය ද මෙවැනි ව්‍යාපෘතියක් ගැන සැලසුම් කරමින් සිටියේය. ඒ සම්බන්ධ විවිධ අධ්‍යයනයන් පවා සිදු කෙරුණු බව සඳහන් වේ. නමුත් පසුව නාසා ආයතනය මෙම ව්‍යාපෘතිය අත්හැර දමා තිබිණි. ඊට හේතු වී තිබුණේ මේ සඳහා අධික මුදලක් වැය කිරීමට සිදු වීමයි. මේ අතර බි්‍රතාන්‍ය විද්‍යාඥයන් ද මෙවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අධ්‍යයනයන් කරමින් සිටින බැව් වාර්තා වේ. ඔවුන් එය දියත් කිරීමට බලාපොරොත්තු වන්නේ 2035 වසරේ ය. ස්ටර්ලිං පවුම් බිලියන 16 ක මුදලක් මේ වෙනුවෙන් ඔවුන් වෙන්කර තිබේ.

කෙසේ හෝ වේවා, චීනය ඉදිකරන මෙම සූර්ය බලාගාර හරහා ඔවුන්ගේ අනාගත බලශක්ති සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට හැකි වනු ඇත. එමෙන්ම පරිසරයට හානි කරන සහ දේශගුණික විපර්යාසවලට හේතුවන ෆොසිල ඉන්ධන (ඛණිජ තෙල්, ගල් අඟුරු, ගෑස්) වැනි බලශක්ති ප්‍රභවයන්ගෙන් තවදුරටත් ඈති වීමට ද මේ හරහා ඔවුන්ට හැකි වනු ඇත.

අභ්‍යවකාශයේ සූර්ය බලාගාරයක් ඉදිකිරීමෙන් ලැබෙන ලොකුම වාසිය වන්නේ වසර පුරාම, දවස පුරාම දිවා රෑ වෙනසකින් තොරව, කාලගුණයේ වෙනස්කම්වල බලපෑමකින් තොරව අඛණ්ඩව ඒ වෙත සූර්යාලෝකය ලබා ගැනීමට හැකි වීමයි.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්