මේ වනවිට චීනය තුළ නැවතත් කොවිඩ් රැල්ලක් පැතිරෙමින් තිබේ. මේ ගැන ලොව බොහෝ වසංගතවේදීන්ගේ දැඩි අවධානයක් යොමුව ඇති බව පෙනේ. මෙයට වසර දෙකකට පෙර ලෝකය බිලිගත් කොවිඩ් පළමු සුනාමිය ආරම්භ වූයේ ද චීනයෙනි. මෙවර එරට පැතිරෙන කොවිඩ් රැල්ලත් නැවතත් ලෝකයට යම් තර්ජනයක් එල්ල කරනු ඇත්ද යන්න ගැන මෙම වසංගතවේදීහු අවධානයෙන් පසුවෙති.
චීනයේ මෙම අලුත් රැල්ල ගැන සිත බියගන්වන සුළු අනාවැකි කිහිපයක් පසුගිය දිනවල පළ වී තිබිණි. ඒවායින් පැවසුණේ ඉදිරි මාස තුන තුළ එරට ජනගහණයෙන් සියයට 60 ක් පමණ ආසාදිතයන් වීමට ඉඩ ඇති බවයි. එමෙන්ම ඉදිරි කාලය තුළ මිලියන 1.6 ක පමණ සංඛ්‍යාවක් කොවිඩ් නිසා මරණයට පත්වීමට හැකි බව ද සඳහන් විය.
මේ වනවිට චීනයේ රෝහල් රෝගීන්ගෙන් පිරී යමින් ඇති බව වාර්තා වන අතර මේ නිසා රෝහල් පද්ධතිය මත විශාල පීඩනයක් එල්ල වී ඇතැයි පැවසේ. වෛද්‍ය මධ්‍යස්ථාන සහ දැඩි සත්කාර ඒකක අලුතෙන් පිහිටුවීමට පටන්ගෙන ඇති බව ද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර කොවිඩ් රෝගයෙන් මිය යන්නවුන් ආදාහනය කිරීම සඳහා වෙන් කර ඇති ආදාහනාගාර ද කෙමෙන් කාර්ය බහුල වෙමින් ඇති බව සඳහන් ය. චීනය එරට පවතින වත්මන් තත්ත්වය නිසි ආකාරයෙන් වාර්තා නොකරන්නේ ය යන චෝදනාව ද ඇතැම් පාර්ශ්ව එල්ල කර තිබෙනු දැකිය හැකි විය.
චීනය නැවතත් මෙවැනි අර්බුදයකට ගොදුරු වූයේ මන්ද යන්න සම්බන්ධයෙන් විශේෂඥයෝ විවිධ අදහස් පළ කරති. එරට අලුත් රැල්ලට හේතුව ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදයේ අලුත් උප ප්‍රභේද පැතිරෙමින් තිබීම බවට ද අදහස් පළ වී තිබිණි. BF.7 යනු එවැනි එක් උප ප්‍රභේදයකි. එරට එන්නත්කරණයේ පවතින ගැටලු ද තවත් හේතුවක් ලෙස සැලකේ. එමෙන්ම කොවිඩ් මර්ධනය සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කර තිබූ දැඩි සීමාවන් එකවර ලිහිල් කිරීම ද අලුත් කොවිඩ් රැල්ලට තල්ලුවක් දුන් බව ඇතැම් විශේෂඥයන්ගේ අදහස යි. රජයට මෙම සීමා ලිහිල් කිරීමට සිදු වූයේ ඒවායින් බැටකමින් සිටි ජනතාව එම සීමාවන්ට එරෙහිව විරෝධතා දැක්වීමට පටන් ගැනීම නිසාය. ජනාධිපති ෂි ජින්පිං ඉල්ලා අස්විය යුතු බවට ද ඇතැම් විරෝධතාකරුවෝ සටන් පාඨ කීවෝය.
කෙසේ හෝ වේවා, චීනයේ අලුත් කොවිඩ් රැල්ල ලෝකයට යම් අලුත් තර්ජනයක් එල්ල කළ හැකි ද යන්න සම්බන්ධයෙන් ද වසංගතවේදීන් ගේ සැලකිල්ල යොමු වෙමින් තිබේ. මේ වනවිට චීනය තුළ පැතිරෙමින් ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේද වුවත් මෙම රැල්ල නිසා ඉදිරියේ දී තවත් භයානක ප්‍රභේද ඇති විය හැකි බවට අදහස් පළ වේ. එසේ වුවහොත් එය දැනට වඩා වැඩි තර්ජනයක් එල්ල කරනු ඇති බව විශේෂඥයන්ගේ අදහස යි. චීනයේ මෙම අලුත් තත්ත්වය ගැන මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ද සිටින්නේ දැඩි අවධානයෙනි.
ඉන්දියාව වැනි රටවල් දැනටමත් ආරක්ෂක පියවර ගැනීමට සූදානම් වෙමින් සිටිනු පෙනේ. එරට සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. ඔහු අදාළ ආයතනවලට පවසා තිබුණේ ඉන්දියාව තුළ අලුත් ප්‍රභේද පැතිරෙනවාද යන්න සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස යි.
චීනය ඉදිරියේ දී නිසි පියවර ගතහොත් එහි පැතිරෙන රැල්ල පාලනය කරගත හැකි වනු ඇති බව ද වසංගතවේදීන් සඳහන් කර තිබේ. එරට ජනගහණයෙන් අවම වශයෙන් සියයට 85 කටවත් කොවිඩ් එන්නතේ සිව්වැනි මාත්‍රාවක් ලබා දීම ඔවුන්ගේ එක් නිර්දේශයකි. චීනයේ ජනගහණය බිලියන 1.4 කට ආසන්න නිසා මෙය ද මහත් අභියෝගාත්මක කටයුත්තක් වනු ඇත.
කෙසේ හෝ වේවා, අප වැනි රටවල් ද ඉහත කී අලුත් තත්ත්වය ගැන අවදියෙන් පසුවීම අතිශයින් වැදගත් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
නිහාල් පීරිස්