චීනය පසුගිය කාලයේ වඩාත්ම ලෝක අවධානයට ලක් වුණේ මුළු ලොවම බිය වැද්දූ නව කොරෝනා වයිරසයේ තිඹිරි ගෙය හැටියට සැලකුණු නිසායි. දැන් මේ වනවිට තවත් අලුත් වයිරසයක් ගැනත් එරටින් වාර්තා වන අතර ඒ ගැන විශේෂඥයන්ගේ දැඩි අවධානයක් යොමු වෙමින් ඇති බව පෙනෙනවා.
මෙම අලුත් වයිරසය හැඳින්වෙන්නේ ලන්ග්යා (Langya) වයිරසය යනුවෙනුයි. පසුගිය කාලයේ නැගෙනහිර චීනයේ ෂැන්ඩොං සහ හෙනාන් යන පළාත්වලින් මෙම වයිරසය ආසාදනය වූවන් 35 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව සඳහන්. මෙම ආසාදිතයන්ගෙන් පළ වී තිබූ රෝග ලක්ෂණ ලෙස සඳහන් වන්නේ තද උණ, කැස්ස, විඩාපත් බව, හිසරදය, වමනය, ඇඟපත රුදාව ආදියයි. ඇතැමුන් ගේ වකුගඩුවලට සහ අක්මාවට බලපෑම් සිදුව තිබූ බව ද වාර්තා වෙනවා. චීන, ඕස්ටේ්රලියානු සහ සිංගප්පූරු විශේෂඥයන් පිරිසක් විසින් මෙම වයිරසය පිළිබඳව කරන ලද අධ්‍යයනයක වාර්තාවක් පසුගිය දා New England Journal of Medicine නැමැති වෛද්‍ය විද්‍යා ප්රකාශනයක පළ කර තිබුණා.
ලන්ග්යා වයිරසය මෙයට කලකට පෙර හඳුනාගෙන තිබූ නිපා සහ හෙන්ද්‍රා යන වයිරස අයත් වන වයිරස පවුලටම අයිති එකක් බවයි පැවසෙන්නේ. එම වයිරස දෙක නම් ඉතාම භයානක වයිරස දෙකක් ලෙස සැලකෙනවා. පසුගිය කාලයේ නිපා වයිරසය ආසාදනය වූවන්ගෙන් සියයට 40 ත්, 75 ත් අතර සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව සඳහන්. මෙම වයිරසය මුල්වරට හඳුනාගෙන තිබුණේ 1999 වසරේ මැලේසියාවෙන්. එම වසරේම මුල් වරට ඕස්ටේ්රලියාවෙන් හඳුනාගන්නා ලද හෙන්ද්‍රා වයිරසය ද දරුණු වයිරසයක් ලෙස සැලකෙනවා. එය ආසාදනය වූවන්ගෙන් සියයට 70 ක් පමණ මරණයට පත්ව ඇති බව සඳහන්.
මෙම වයිරස පවුලටම අයත් අලුත් වයිරසයක් ලෙස සැලකෙන ලන්ග්යා වයිරසය ගැන මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරුවලින් නම් පෙනෙන්නේ එය අර තරම් දරුණු වයිරසයක් නොවන බවයි. එසේම එය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ වෙනවාද යන්නත් තවම නිශ්චිතව හෙලිදරව් වී නැහැ. දැනට වාර්තා වී ඇති ආසාදිතයන් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයන්ගෙන් නම් පෙනී ගොස් ඇත්තේ එය මිනිසුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වයිරසයක් නොවන බවකුයි. මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයන් සියලු දෙනාට එය බෝ වී ඇත්තේ සතුන්ගෙන් බවටයි සැක කරන්නේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ස්ථිර වශයෙන් තහවුරු කිරීම සඳහා තවම වේලාසන වැඩි බව ද ඇතැම් විශේෂඥයන්ගේ අදහස යි. කාලයත් සමග මෙවැනි වයිරසවල අලුත් අලුත් ප්‍රභේද ඇති වන බව රහසක් නොවෙයි. මේ නිසා ඉදිරියේදී මිනිසුන් මිනිසුන් අතර පැතිරෙන ප්‍රභේද වුව ඇති වීමට බැරිකමක් නැහැ.
මෙම වයිරසය බෝ කරන්නේ යයි සැලකෙන සතුන් පිළිබඳවද මෙම විශේෂඥයන්ගේ අවධානය යොමුව තිබුණා. මෙහිදී ප්‍රධාන වශයෙන් ම හඳුනාගෙන තිබුණේ මීයන්ට සමාන කුඩා සත්වයෙක්. (මෙම සතුන් ඉංග්‍රිසි බසින් හැඳින්වෙන්නේ shrews යන නමින්). අධ්‍යයනය සඳහා යොදාගන්නා ලද මෙම සතුන්ගෙන් සියයට 27 ක් තුළ වයිරසය තිබූ බව සඳහන්. එමෙන්ම බල්ලන්ගෙන් සියයට 5 ක් තුළ ද, එළුවන්ගෙන් සියයට 2 ක් තුළ ද වයිරසය හඳුනාගෙන තිබුණා.
ලන්ග්යා වයිරසය ගැන තවම බිය වීමට හේතුවක් නොමැති බව විශේෂඥයන් පැවසුවත් ඔවුන් ඒ ගැන දැඩි අවධානයෙන් පසුවන ආකාරයක් දැකිය හැකියි.
නිහාල් පීරිස්