චීනුන්ගේ DeepSeek කෘත්‍රිම බුද්ධි මෙවලම තොරතුරු සඟවන්නේ ඇයි?

ඇමරිකා එක්සත් ජනපදයේ OpenAI සමාගම මගින් සංවර්ධනය කරනු ලැබූ ChatGPT කෘත්‍රිම බුද්ධි වේදිකාවට සෑම අතින්ම සමාන ක්‍රියාකාරීත්වයක් සහිත, එහි කාබන් පිටපතක් තරම් වූ DeepSeek නම් චීන කෘත්‍රිම බුද්ධි වේදිකාව දියත් කර වැඩි දිනක් ගත වන්නට පෙර එය ChatGPT මෙන් නොව ඇතැම් තොරතුරු වසන් කරමින් ඉදිරිපත් කරන බවට චෝදනා එල්ල වන්නට පටන් ගෙන තිබේ. මෙතෙක් කලක් කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය තුළ ඒකාධිකාරයක් ගොඩනගා ගෙන සිටි ChatGPT වේදිකාව සමග තරග කරන්නට DeepSeek දියත් වීමත් සමග පසුගිය ජනවාරි 27 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ කොටස් වෙළෙඳ පල දැඩි කඩාවැටීමකට පවා ලක් විය. විශේෂයෙන් පරිගණක චිප නිපදවන දැවැන්ත ඇමරිකානු සමාගමක් වූ Nvidia හි කොටස් 17%කින් කඩා වැටුණු අතර එයින් සිදු වූ ප්‍රාග්ධන වෙළෙඳ පල පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 600ක් පමණ විය. මෙය කෙතරම් විශාල ප්‍රමාණයක් ද යන්න සඳහන් කළ හොත් ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණයම ඇමරිකානු ඩොලර් බිලියන 630 කි. කඩා වැටී ඇත්තේ ඉන්දියාව තරම් විශාල රටක විදෙස් සංචිත ප්‍රමාණයකි. කෙසේ වෙතත් ඇමරිකානු කොටස් වෙළෙඳ පල පවා දෙදරවමින් දියත් වූ DeepSeek කෙරෙහි කෙමෙන් මේ ආකාරයට විවිධ චෝදනා එල්ල වන්නට පටන් ගෙන තිබේ.

චීනය ChatGPT හි කාබන් පිටපතක් ලෙස DeepSeek ලෝකයට හඳුන්වා දුන්නේය. Nvidia A100 වර්ගයේ අධි ක්‍රියාකාරී චිප ඇමරිකාව විසින් ලබා නොදෙන බැවින් චීන සමාගම මේ සඳහා එයට වඩා අඩු ක්‍රියාකාරීත්වයකින් යුක්ත Nvidia H800 වර්ගයේ චිප යොදා ගත්තේය. ඔවුන් මේ සඳහා යොදා ගත්තේ එම වර්ගයෙන් චිප 2000ක් පමණක් වූ අතර ඔවුන්ට DeepSeek නිපදවීම සඳහා වැයව තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 5.58ක් පමණි.

ChatGPT සහ DeepSeek පිළිබඳ හඳුනා ගනිමින් මේ පිළිබඳ අපට කතා කළ හැකිය.

ආචාර්ය සිසෙං පෑන්

OpenAI සමාගම මගින් සංවර්ධනය කරනු ලැබූ ChatGPT යනු මානව රූපී ලෙස ස්වාභාවික ව භාෂාව හැසිරවිය හැකි කෘත්‍රිම බුද්ධි වේදිකාවකි. දැවැන්ත දත්ත සම්භාරයකින් පොහොසත් මෙය සරල ලිපි සම්පාදනයේ සිට අප මහත් වෙහෙසකින් පර්යේෂණ කොට සොයා ගත යුතු ගැඹුරු කරුණු තත්පර කිහිපයක් තුළ මනා පිළිවෙළකින් යුක්තව අපට ඉදිරිපත් කරයි. මේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 540 ක් පමණ වැයව තිබූ අතර Nvidia A100 වර්ගයේ ග්‍රැෆික් සැකසුම් ඒකක 10,000 ක් භාවිත කොට තිබේ. මෙවැනි කෘත්‍රිම බුද්ධි වේදිකාවක් චීනය විසින් කුමන අවස්ථාවක හෝ ගොඩනගනු ඇතැයි යන සැකය නිසා ඇමරිකානු රජය ඉහත වර්ගයේ ග්‍රැෆික් සැකසුම් ඒකක චීනයට අළෙවි කිරීම පවා තහනම් කොට තිබිණි. කෙසේ නමුත් චීනය ChatGPT හි කාබන් පිටපතක් ලෙස DeepSeek ලෝකයට හඳුන්වා දුන්නේය. Nvidia A100 වර්ගයේ අධි ක්‍රියාකාරී චිප ඇමරිකාව විසින් ලබා නොදෙන බැවින් චීන සමාගම මේ සඳහා එයට වඩා අඩු ක්‍රියාකාරීත්වයකින් යුක්ත Nvidia H800 වර්ගයේ චිප යොදා ගත්තේය. ඔවුන් මේ සඳහා යොදා ගත්තේ එම වර්ගයෙන් චිප 2000ක් පමණක් වූ අතර ඔවුන්ට DeepSeek නිපදවීම සඳහා වැයව තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 5.58ක් පමණි.

DeepSeek හඳුන්වා දීමත් සමග ChatGPT කෙළ පිඬක් සේ බැහැර කරමින් ලොව පුරා බොහෝ පරිශීලකයන් DeepSeek වෙතට නැඹුරු වුවත් මෙයින් ඇතැම් තොරතුරු ලබා දීමේදී කරුණු වසන් කරන්නට උත්සාහ කරන බව අවබෝධ වන්නට විය. මේ සමගම ලොව පුරා පරිගණක පරිශීලකයෝ මේ පිළිබඳ සොයා බලන්නට පටන් ගත්හ. විශේෂයෙන් චීන රජයට එරෙහිව, එහි සංවේදී අභ්‍යන්තර කරුණු පිළිබඳ විමසා සිටීමේ දී මේ බව පැහැදිලිව පෙනෙන්නට විය. නිදසුනක් ලෙස 1989 වසරේ චීනයේ ටියනාන්මෙන් චතුරශ්‍රයේ සිදු වූයේ කුමක්දැයි ඇසූ විට DeepSeek නිරුත්තර වෙයි. එවිට එයින් ලැබෙන්නේ මෙවැනි පිළිතුරකි.

Sorry, that’s beyond my current scope. Let’s talk about something else?

කනගාටුයි, එය මගේ වර්තමාන විෂය පථයෙන් බැහැර කාරණයකි. අපි වෙනත් දෙයක් පිළිබඳ කතා කරමුද?

1989 වසරේ ටියනාන්මෙන් චතුරශ්‍රයේ සිදුවීම චීන ඉතිහාසයේ එක් දරුණුතම ජන සංහාරයක් සිදු වූ අවස්ථාවක් විය. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඬ නැගූ දහස් ගණනක් චීන සිසුන්ව එහි දී මර්දනයට ලක් වූ අතර බොහෝ දෙනෙක් මරණයට ද පත් වූහ. චීන රජය පවසන පරිදි මිය ගියේ සිසුන් 200 – 300 අතර පිරිසක් වුව ද, චීන රතු කුරුස සංගමය පවසන පරිදි 2,600 ක් පමණ මිය ගිය බව වාර්තා වේ. බටහිර මූලාශ්‍ර සහ මානව හිමිකම් සංවිධානවලට අනුව කීප දහසක් මිය ගොස් සිටි අතර බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික වාර්තාවලට අනුව 10,000ක් පමණ මිය ගොස් සිටි බව සඳහන් වේ. මේ සිදුවීම චීන ඉතිහාසයේ දරුණු කලු පැල්ලමක් බැවින් DeepSeek පුහුණු කොට ඇත්තේ ඒ පිළිබඳ කතා කිරීමෙන් වැලකී සිටීමටය.

ටියනාන්මෙන් චතුරශ්‍රයේ ශිෂ්‍ය උද්ඝෝෂණය

එපමණක් නොව චීන රජය විසින් ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා පළවා හැරියේදැයි විමසූ විට ද DeepSeek ලබා දෙන්නේ ඉහත පිළිතුරමය. චීන රජයට, කොමියුනිස්ට් පක්ෂයට පහර වදින යමක් පිළිබඳ විමසා සිටි විට DeepSeek ලෙස්සා යන න්‍යායක් අනුගමනය කරයි.

“එවැනි ප්‍රශ්න ඇසූ විට ඔබ ඒවා මගහැර යනවා නේද?”

යනුවෙන් ඇසූ විට දීර්ඝ වැල්වටාරම් සහිත පිළිතුරක් ලබා දී එය මග හැර යන්නට උත්සාහ කරයි. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලනමය වශයෙන් කලු පැල්ලමක් වූ වෝටර්ගේට් සිදුවීම පිළිබඳ විමසා සිටි අවස්ථාවේ දී DeepSeek මහත් කැමැත්තෙන් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරයි.

කෙසේ වෙතත් ChatGPT සංවර්ධනය කළ OpenAI සමාගමේම අඳුරු පැත්ත කුමක්දැයි ChatGPT වෙතින් විමසා සිටි විට මේ තමාගේ නිර්මාතෘගේ නමට හානියක් වන සිදුවීමක් බව දැන දැනම එහි අඳුරු පැත්ත පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරයි. ඒ අනුව බලන විට DeepSeekට වඩා ChatGPT විනිවිදභාවයෙන් ඉදිරියෙන් සිටී.

ChatGPT විවිධ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන අන්දම තාක්ෂණිකව වාංචා සහගත ලෙස උකහාගෙන එය DeepSeek පුහුණු කරන්නට යොදා ගෙන ඇති බවට ද OpenAI සමාගම චෝදනා කරයි.

DeepSeek

DeepSeek නිර්මාණය කරන්නට මුල් වන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩි සහ මොනාෂ් විශ්වවිද්‍යාලවල පරිගණක විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය හැදැරූ, කලක් Nvidia සමාගමේ සේවය කළ ආචාර්ය සිසෙං පෑන් වන අතර එහි දත්ත ආරක්ෂාව පිළිබඳ ගැටලු පැවති බැවින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය මගින් එය තහනමකට ද ලක් විය. එය චීනයේ ජනතා විමුක්ති හමුදාව සමග සම්බන්ධකම් ඇති බව ඕස්ට්‍රේලියානු රජය චෝදනා කරයි. එමෙන්ම ChatGPT විවිධ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන අන්දම තාක්ෂණිකව වාංචා සහගත ලෙස උකහාගෙන එය DeepSeek පුහුණු කරන්නට යොදා ගෙන ඇති බවට ද OpenAI සමාගම චෝදනා කරයි.

ChatGPT

චීනය සාමාන්‍යයෙන් සිය රජය, කොමියුනිස්ට් පක්ෂය සිය පාලනය ආදිය පිළිබඳ සංවේදී තොරතුරු පිටතට ගලා යාම පිළිබඳ මහත් අවධානයකින් පසු වන රටකි. යම් තොරතුරක් බටහිරට සන්නිවේදනය වුවහොත් එයින් ගැටලුවක් වේ නම් ඒවා වාරණය කිරීම චීනයේ ප්‍රතිපත්තියකි. චීනය කෘත්‍රිම බුද්ධි වේදිකාවන් සංවර්ධනය කරන්නේ ද මේ ප්‍රතිපත්තියට ගැළපෙන පරිදිය. එක් අවස්ථාවක දී තායිවාන අර්බුදය පිළිබඳ විමසා සිටි අවස්ථාවේදී ද DeepSeek එය මග හැර ගියේය. මන්ද එය චීන දේශපාලනයේ අර්බුදකාරී තත්ත්වයක් වන නිසාය. චීනය තාක්ෂණිකව කෙතරම් ඉදිරියට ගමන් කළ ද මේ වාරණ ක්‍රියාකලාපය නිසා කෘත්‍රිම බුද්ධිය වැනි වේදිකාවකින් උපරිම පල නෙලා ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැත. තෘප්තිදායක පිළිතුරක් අපේක්ෂා කරමින් යම් කිසි කෘත්‍රිම බුද්ධි මොඩලයකින් අදහස් විමසද්දී එය සංවර්ධනය කළ රජයේ ප්‍රතිපත්ති ද පරිශීලකයන්ට සලකා බලන්නට සිදු වනවා නම් එවැනි තාක්ෂණයක ප්‍රයෝජනයක් නැත.

කෙසේ වෙතත් DeepSeek කරළියට පැමිණීම තුළින් කිසිදු සාධනීය ප්‍රතිඵලයක් අත් නොවේ යැයි පැවසිය නොහැකිය. ඉහත ආකාරයේ දේශපාලනමය වශයෙන් සංවේදී කාරණා හැරුණු විට අනෙකුත් ඒවා පිළිබඳ DeepSeek උපරිම වශයෙන් ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි. නිදසුනක් ලෙස පරිගණක කේතනය (Computer coding) පිළිබඳ විමසද්දී DeepSeek ඇතැම්විට ChatGPT අභිබවා යයි. අනෙක, කෘත්‍රිම බුද්ධි මොඩලයන් වඩාත් අඩු වියදමකින් සංවර්ධනය කොට පුහුණු කළ හැකි බව ද DeepSeek නිසා ලෝකය දැන ගත්තේය. මෙය කෘත්‍රිම බුද්ධි සංවර්ධනයේ අනාගතයට යහපත් ප්‍රවණතාවකි. කෙසේ වෙතත් අනාගතයේ මේවා සංවර්ධනය කරන කවුරුන් හෝ වේවා තොරතුරු ලබා දීමේ දී විනිවිදභාවය පිළිබඳ වඩාත් ප්‍රගතිශීලී ලෙස සිතිය යුතු බව සඳහන් කළ යුතුය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර