චෙක් ජනරජයේ විශ්ව විද්‍යාලයක බිහිසුණු වෙඩි තැබීමක්; 14 දෙනෙකු මියගොස් 25 දෙනෙකුට තුවාල

චෙක් ජනරජයේ ඉතිහාසය තුළ එරට සිදු වූ බිහිසුණුම සමූහ වෙඩි තැබීම ගැන ඊයේ (22) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සිද්ධිය සිදුව තිබුණේ චෙක් අගනුවර වන ප්‍රාග් හි පිහිටි එරට විශාලතම විශ්ව විද්‍යාලය වන චාල්ස් විශ්ව විද්‍යාලය තුළ යි. වෙඩික්කරුවා එම විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යයෙකු බව සඳහන් වේ. මෙම වැඩි තැබීමෙන් 14 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටින අයගෙන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.
සිද්ධිය සිදුව තිබුණේ සිකුරාදා සවස 3 ට පමණ ය.

මෙම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාගේ පියා ද මිය ගියවුන් අතර සිටින බව සඳහන් ය. සිසුවා ඔහුට වෙඩි තබා ඇත්තේ වෙනත් ස්ථානයක දී බව වාර්තා වේ. මෙම ශිෂ්‍යයා මේ ආකාරයේ අපරාධයක් සිදු කිරීමට හේතුව කුමක් ද යන්න සම්බන්ධයෙන් මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් අනාවරණය වී තිබුණේ නැත. ඒ පිලිබඳ පොලිසිය විමර්ශණයක් දියත් කර තිබේ.

වෙඩික්කරු විශ්ව විද්‍යාලයේ කොරිඩෝ දිගේ යමින් සිසුන්ට සහ ආචාර්යවරුන්ට ඉවක් බවක් නැතිව වෙඩි තබද්දී ඇතැමුන් ජීවිත බේරා ගැනීම සඳහා උස් තට්ටුවල සිට පහළට පනින ආකාරය දැක්වෙන ලොමු දැහැගන්වන දර්ශණ ඇතුළත් විඩියෝ ද මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබිණි. ඇතැම් සිසුන් සහ ආචාර්යවරුන් පුටු මේස යොදා ගනිමින් වෙඩි පහරින් ගැලවෙන්නට උත්සාහ කළ බව ද සඳහන් ය. කෙසේ හෝ දිවි ගලවාගෙන විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් එළියට පැනගත් අය ඒ අසළ මාර්ග දිගේ පවා දිව යනු දක්නට ලැබුණු බව මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි තැබීම සිදු කළ සැකකරු 24 හැවිරිදි සිසුවකු වූ ඩේවිඩ් කොසැක් නැමැත්තෙකි. සිද්ධියට ටික වේලාවකට පෙර පොලිසියට ඔහු ගැන තොරතුරක් ලැබී තිබිණි. එයින් කියැවුණේ ඔහු වෙනත් ප්‍රදේශයක සිට සිය දිවි හානි කර ගැනීම සඳහා ප්‍රාග් අගනුවර වෙත පැමිණෙමින් සිටින බවයි. ඔහු විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක දේශණයකට සහභාගි වීමට නියමිතව සිටි නිසා පොලිසිය එම ගොඩනැගිල්ල ආශ්‍රිතව රැක සිටි බව සඳහන් ය. එම ගොඩනැගිල්ලේ සිටි සිසුන් සහ ආචාර්යවරුන් ද, නිලධාරීන් ද ඉවත් කිරීම පවා පියවර ගෙන තිබිණි. නමුත් සැකකරු පැමිණ තිබුණේ වෙනත් ගොඩනැගිල්ලකට ය. පසුව පොලිසිය එම ගොඩනැගිල්ල වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

ආරක්‍ෂක අංශ පවසන්නේ වෙඩික්කරු ද මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇති බවයි. ඔහු සතුව තිබී ගිනි අවි සහ පතරොම් විශාල ප්‍රමාණයක් පොලිසියට සොයා ගන්නට ලැබී ඇත. ප්‍රාග් අගනුවර ආසන්නයේ වනයක තිබී මෙයට දින කිහිපයකට පෙර තරුණ පුද්ගලයකුගේත්, ඔහුගේ මාස දෙකක් වයසැති දියණියගේත් මළ සිරුරු සොයා ගන්නට හැකිව තිබිණි. පොලිසිය සැක කරන්නේ එම මරණ සිදු කළ ඝාතකයා ද මොහු විය හැකි බවයි. චාල්ස් විශ්ව විද්‍යාලය තුළ සිකුරාදා කළ වෙඩි තැබීම රුසියාවේ සිදු වූ එවැනිම සිදුවීමකින් ආභාෂය ලබා කරන ලද්දක් බව සැකකරුගේ සමාජ මාධ්‍ය ගිණුමකින් හෙලි වී ඇති බවක් ද වාර්තා වී තිබේ.

එරට ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම සමූහ වෙඩි තැබීම බව පැවසෙන මෙම සිද්ධියෙන් රටම දැඩි කම්පාවට පත්ව සිටියි. සෙනසුරාදා (23) දිනය ශෝක දිනයක් ලෙස නම් කිරීමට රජය පියවර ගෙන ඇති අතර සියලු ක්‍රීඩා සහ සංස්කෘතික උත්සව අවලංගු කිරීමට ද කටයුතු කර තිබේ.

”මෙම ම්ලේච්ඡ සිද්ධියෙන් මුළු රටම දෙදරුම් කා තිබෙනවා” චෙක් අගමැති පෙට්‍ර ෆියාලා සඳහන් කර තිබිණි.

මෙම සියවස තුළ යුරෝපයේ සිදු වූ මෙවැනි සමූහ වෙඩි තැබීම් අතර ද මෙය ප්‍රධාන තැනක් ගනියි. 21 වැනි සියවස තුළ තනි පුද්ගලයකු විසින් එක අවස්ථාවක දී වැඩිම පිරිසක් මරා දමන ලද අවස්ථාවක් ලෙස චෙක් ජනරජයේ මෙම සිද්ධිය ඉතිහාසයට එක් වෙයි.

යුරෝපය තුළ මේ ආකාරයේ දරුණුම සිද්ධිය වාර්තා වූයේ 2011 වසරේ නෝර්වේ හි ය. එහි ඝාතකයා වූයේ ඇන්ඩර්ස් බී්‍රවික් නැමැති පුද්ගලයෙකි. කාර් බෝම්බයක් මගින් 8 දෙනෙකු ඝාතනය කළ ඔහු ඉන්පසු තවත් 69 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේය. මේ අනුව ඔහු අතින් එදින මිය ගිය ගණන 77 කි.

2002 සහ 2009 වසරවල ජර්මනියේ සිදු වූ මෙවැනි වෙඩි තැබීම් දෙකකින් පිලිවෙලින් 19 දෙනෙක් සහ 17 දෙනෙක් මරණයට පත් වූහ. 2001 වසරේ ස්විට්සර්ලන්තයේ සිද්ධියකින් 14 දෙනෙකු ද, 2013 වසරේ සර්බියාවේ සිද්ධියකින් 13 දෙනෙකු ද මරණයට පත්ව තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර