රාජපක්ෂ පාලනයට එරෙහි ජන අරගලය පටන් ගත්තේ මේ වසරේ මුල් කාලයේ සිට ය. අරගලය උච්චස්ථානයට පැමිණියේ පසුගිය මැයි 09 වන දා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වන බව දැනුම්දීමට යැයි කියා අරලියගහ මන්දිරයේ පැවැති පාක්ෂික හමුවකින් අනතුරුව ය. අරලියගහ මන්දිරයට පැමිණි පිරිස් ඉන් නොනැවති අරගල භූමියට ගියෝය. අරගල භූමියේ සිටි පිරිස් පන්නා දැමීමෙන් පසු මුළු රටම ඇවිලුණේ ය. එය අවසන් වූයේ මන්ත්‍රීවරයෙක් ඝාතනය වීමෙන් පසුව ය. මැති ඇමති නිවෙස් ගණනාවක් ගිනිබත් වීමෙන් අනතුරුව ය.
ඉන් පසුව අගමැති ධූරයේ වෙනසක් වූ අතර අරගල භූමිය ද කෙමෙන් කෙමෙන් දියවී යන්නට පටන් ගත්තේය. එය සැබෑ මිනිසුන්ගෙන් තොර භූමියක් විය.. නැවත අරගලය පණ ගසන්නට පටන් ගත්තේ රටේ ආර්ථික අර්බුදය උග්‍රවී ඉන්ධන හිඟයක් මතුවීමත් සමඟ ය. ඉන්ධන නොමැතිව පෝලිම්වල දින ගණන් සිටින ජනතාව පෝලිම්වල මිනී මරා ගන්නා තැනට; මිය යන තැනට පැමිණියේය.
ජනතාව ගිනියම් වෙද්දී අරගලකරුවෝ යළි අරගලයට එන්නැයි ජනතාවට ආරාධනා කරන්නට වූහ. දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන්නට වූහ. අවසානයේ විපක්ෂයේ දේශපාලන පක්ෂ අරගලකරුවන්ට සහාය දෙන්නට ඉදිරිපත් වූහ. අරගලකරුවන් හා විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක් කොළඹ රාමඩා හෝටයේදි පැවැත්වූයේ විපක්ෂයේ ව්‍යාපාරිකයන්ගේ උපකාරයෙනි.
එහිදි තීන්දු වූයේ අරගලයට පහරදී මාස දෙකක් ගත වන දින ගෝඨාභය ජනාධිපතිධූරයෙන් පැන්නීමේ අඛණ්ඩ අරගලයක් ආරම්භ කළ යුතු බවකි. එහිදි සමගි ජනබලවේගයෙන් ඉදිරිපත්වූ යෝජනාව වූයේ අගමැතිත් අසාර්ථක බැවින් ගෝඨාභය හා රනිල් ඉවත් කිරීම වෙනුවෙන් අරගලය දියත් විය යුතු බවකි.
පළමුව ගෝඨාභයත් දෙවෙනුව රනිලුත් ඉවත් කිරීම වෙනුවෙන් අරගලය දියත් කිරීමට තීන්දු විය. ඒ අනුව 09 දා(අද) කොළඹ පැමිණෙන ජනතාව ගෝඨාභය ජනාධිපති ධූරයෙන් යන තෙක් ජනාධිපති මන්දිරය වටලා අඛණ්ඩ විරෝධයක් දියත් කිරීමට තීන්දු විය. ඒ අතර භික්ෂූන් ද කොළඹ කොටුව බෝධිය ඉදිරිපට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ අරගලයට සහාය දීමට ය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 08 දා(ඊයේ) සවසම කොළඹට පැමිණි අතර ඔවුන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල වුවත් ඔවුන් කොටුව ජනාධිපති මන්දිරය ආසන්නයේ නතර වූහ.
ඒ අතර ජනාධිපතිවරයා විසින් අරගලය පැවැත්වෙන දිනය වූ 09 දා ඉලක්ක කර ගනිමින් පොලිස් ඇදිරි නීතිය පැනවූවේ 08 දා රාත්‍රී 09.00 සිටය. අවසන් වන දිනයක් නොමැතිව පැනවූ ඇදිරි නීතිය අකුලා ගන්නට සිදුවූවේ එල්ල වූ ජාත්‍යන්තර විරෝධය මතය. පොලිස් ඇඳිරි නීතිය පැනවීමට හදිසි නීතිය නොමැති අවස්ථාවකදී බලයක් නැතැයි නීතිඥ සංගමය ප්‍රකාශ කළ අතර ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය කියා සිටියේ සාමකාමී අරගල මැඩ පැවැත්වීමට රජය කටයුතු නොකළ යුතු බවයි.
අවසානයේ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න නිකුත් කළ පොලිස් ඇඳිරි නීතිය පිළිනොගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර ද කසුකුසුවක් නිර්මාණය විය.. ඒ මන්ද නීතිඥ සංගමය අනීතික නියෝග පිළිපදින නිලධාරීන්ට එරෙහිව පනවන නඩුවලදී පෞද්ගලිකව පෙනී සිටිම වන බැව් කියා සිටීම නිසාය.අන්තිමට තමන්ගේ ඒ ඇඳිරි නීතිය පැය කිහිපයක් තුළ හකුලා ගැනීමට සී.ඩී වික්‍රමරත්නට සිදු විය.
ඇඳිරි නීතිය පැනවුවත් විශ්ව විද්‍යාල සිසුන් අරගල භූමියෙන් ඉවත් වූවේ නැත. ඔවුන් නිදි වරාගෙන එහි සිටි අතර පොලිසිය ඇදිරි නීතිය 09 දා පෙරවරු 08.00 ඉවත් කරනු ලැබූවේ එල්ල වූ එම බලපෑම මත ය. ඇඳිරි නීතිය පැනවීම නිසා අරගලයට අලුත් ජවයක් ලැබුණේය. ජනතාවට මාතෘකාවක් ලැබුණේය. විපක්ෂයට ද කතා කිරීමට දෙයක් ඇතිවූවේය. ජනාධිපතිවරයා තනි මතයට දුන් නියෝගය හේතුවෙන් ඔහුත් ආණ්ඩුවත් තව දුරටත් කුජීත වූ බව නොකියාම බැරිය.
අරගලකරුවන් නීතිය හා සාමය කඩ කරන්නේ නම් එයට පිළියම් යෙදීමට ආරක්ෂක අංශවලට හැකියාව පවතියි. මන්ද නීතිඥ සංගමය පවා කියාසිටින්නේ ප්රචණ්ඩ ක්‍රියා කරන අරගලකරුවන්ට සිය සංගමයේ සහාය හිමි නොවන බවට ය. එසේ නම් ජනාධිපතිවරයා හත් පොලේ ගා ගත්තේ මන්දැයි ගැටළුවකි. එයින් පැහැදිලි වන්නේ ඔහු බිය සුළු නායකයෙකු වශයෙනි.පසුගිය මහින්ද රාජපක්ෂ සමය තුළ ගෝඨාභය ගේ නමින් සිදු වූ ප්රජාතන්ත්රවාදී නොවන මැර ක්‍රියා වල සැබෑ හිමි කරු මහින්ද රාජපක්ෂ බව සනාථ විය.
ජනාධිපතිවරයාගේ මෙම හත් පොලේ ගා ගැනීම් නිසා 09 දා අරගල භූමියට නොපැමිණිමට සිතුන කෙනෙකුට වුවද ඊට සහභාගී විය යුතුය යන අදහසක් ඇතිවීම වැලැක්විය නොහැකි කාරණයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් විය යුතුය. එහි කතා දෙකක් නැත. නමුදු අරගලකරුවන්ද ප්රචණ්ඩත්වය අතට ගත යුතු නැත. ප්රජාතන්ත්රවාදී මාවතෙන් ඔබ්බට යා යුතු ද නැත.ශ්‍රී ලංකාවේ මේ වන විට දියත් වන ජ්රජාතත්රවාදී සිවිල් අරගලය දෙස මේ වන විට ලෝකයම බලා හිඳිති.
ජනාධිපති වරයා මේ උසිගන්වන්නේ අරගලකරුවන් ප්‍රචණ්ඩත්වයට ඇද දැමීමට ය.පොදු ජනතාව පොලිස් හා ආරක්ෂක හමුදා සමඟ ගැටුම් ඇති කර ලීමට ය. විපක්ෂයේ සියළු පක්ෂ ඉල්ලන්නේ ගලක්වත් රැගෙන අරගලයට නොපැමිණෙන ලෙසය. අගමැති ධූරය පමණක් ඇති එක්සත් ජාතික පක්ෂය පවා කියා සිටින්නේ සාමකාමී අරගලයට අවස්ථාව තිබිය යුතු බවය. එය ඔවුන්ට විරුද්ධ කණ්ඩායම්වලට විහිළුවක් වුවත් එහි යටි අරමුණක් තිබේ.එනම් අගමැතිවරයා නියෝජනය කරන පක්ෂයත් ජනාධිපතිවරයාට අකමැති බව ඉන් පෙන්වා දෙයි. ජනාධිපති හා අගමැති අතර ගැටුමක් ඇති බවට ද ඉන් තහවුරු වෙයි. එසේම ඔහුව බලයට ගනෙ ඒමට වෙහෙසවූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද ඔහු පිළිගන්නේ නැත. එයින් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා දැන් වත් නම්බු පිටින් ඉවත් විය යුතුය යන්නයි. නමුත් එය සිදුවිය යුත්තේ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයන් තුළය. ප්රචණ්ඩත්වය ඊට පිළිතුර නොවේම ය.
රාජපක්ෂ පවුල රටට කළ විනාශය ගැන ජනතාව සිටින්නේ කුපිත වී බව ඇත්තකි.. එහෙත්, එම කුපිත වීම ප්රචණ්ඩත්වය කරා ගෙනයාමට ඉඩ නොදිය යුතුය. ලිබියාව තුළ ඉස්මතු වූ ජනතා ප්රචණ්ඩත්වය තුළ පාලකයන් මහමඟ ඝාතනය විය. එනමුදු එරට ජනතාව බලාපොරොත්තු වූ ජයග්‍රහණය ලිබියාවට උදා වූයේ නැත. 2011 සිට තවමත් ගැටුම් පිරුණු රටක් ලෙස ලිබියාව ප්‍රකට වී තිබේ.
ලංකාව එතනට නොයා ප්රජාතන්ත්රවාදී අවසානයක් ලංකාව උදා කරගත යුතුය. ඉන් ඔබ්බට ජනතාව බලාපොරොත්තු වන සැබෑ ජයග්‍රහණය උදා වන්නේ නැත. ප්‍රචණ්ඩත්වයෙන් ජයගත් රටක් ලොව නැත. අරගලකරුවන් එය ද සිහිතබා අරගලය කළ යුතුය.කොටින්ම කිව හොත් මෙම අව්‍යාජ ජන අරගලයට ප්රචණ්ඩත්වයේ උනු පැන් නොව ප්‍රඥාවේ සිසිල් පැන්ම ඉසිය යුතුය .
ලසන්ත වීරකුලසූරිය