තමන් හට මුහුණ දීමට සිදුවන දරා ගත නොහැකි පරිපීඩන තත්වයන් හට විවිධාකාර ලෙසින් ප්‍රතිරෝධතා එල්ල කිරීම මිනිසුන්ට සේම තිරිසනුන්ට ද එක සේ පොදු ලක්ෂණයකි.
ඒ අනුව මේ වන විට මෙරට ජනතාව අත් විඳින ආර්ථික දුෂ්කරතා හමුවේ සංවිධානාත්මක මට්ටමින් දෙවි වරුන් ඉදිරියේ ජනාධිපති වරයා ප්‍රමුඛ රජයට දෙස් දෙවොල් තැබීම් ආදිය සිදු කෙරෙන අවස්ථා කොතෙකුත් දැකිය හැක.එමඟින් ඔවුන් ඉල්ලා සිටින කරුණක් වනුයේ පවත්නා දුක්ඛිත තත්වයෙන් ගොඩ ඒමට තමන් හට පිහිටක් වන ලෙසය.දෙවිවරුන් සම්බන්ධයෙන් කතාබස් කෙරෙන සෑම විටෙකම ඒ හා සබැඳුණු තවත් වදනක් තිබේ.
එනම් ‘පිහිටවීම’ යන්න ය. ඉන් පැවසෙනුයේ දෙවිවරුන් යනු මිනිසුන්ට පිහිට වීම පිණිසම සැදී පැහැදී හිඳින අධි මානුෂීය බලයෙන් යුතු අභෞතික ජීවී කොට්ඨාසයක් යන්න ය. එහෙත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමේ දී පෙනී යනුයේ එය අර්ධ සත්‍යයක් පමණක් බව ය. ලොව පුරා පවත්නා සියලු දේව විශ්වාසවල හරය එක්තැන් කළහොත් දෙවිවරුන් යනු මිනිසුන්ට පිහිට වීම උදෙසාම වන ජීවී කොට්ඨාසයක් නොවේ. ඔවුන් ද මිනිසුන් මෙන්ම මෙම අනන්ත අපරිමාන විශ්වයේ කොහේ හෝ ජීවත් වනුයේ හුදෙක් තමන්ගේ පැවැත්ම උදෙසා ය.
එහෙත්, ඒ අතරේ මිනිසුන්ගේ කන්නලව්, යාදිනි, බාරහාර, යාඥා ආදී මෙකී නොකී බලපෑම් හමුවේ ඔවුන් මිනිසුන්ට විවිධාකාරයෙන් පිහිටාරක්ෂාව සලසන අවස්ථා ඇති බව පොදු ජන විශ්වාසයයි. ඒ අතරතුර කිසියම් සත් පුරුෂයකුට කුමක් හෝ දුකක්, වේදනාවක්, කරදරයක්, විපතක් ඇති වුවහොත් ඔවුන්ගේ ඉල්ලීම්වලින් තොරවම පිහිට වන දෙවිවරු ද සිටිති.
බෞද්ධ සාහිත්‍යයේ ප්‍රමුඛතම දෙවියා වශයෙන් හැඳින්වෙන ශක්‍ර දේවේන්ද්‍රයා එලෙස මිනිසුන්ගේ කන්නලව්වකින්, යාතිකාවකින් තොරව ස්ව කැමැත්තෙන් පිහිටට එන දෙවියකු ලෙස අප ජන විඥානය තුළ ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙතරම් දෙවියන් අදහන විවිධාකාර දෙවිවරුන්ගෙන් පිහිට යදින අප සමාජයේ කිසිවකුත් සක් දෙවි රජුන් වෙනුවෙන් දේවාල ඉදි නොකිරීමටත්, පූජා වට්ටි ආදී පුද පිළිවෙත් නොකිරීමටත්, කාවඩි නැටීම්, ගිනි පෑගීම් වැනි වෙනයම් අභිචාරාත්මක දේ සිදු නොකිරීමටත් එකම හේතුව මෙයයි.
අප සමාජයේ ජන සම්මතයට අනුව සංඛ්‍යාත්මකව විස්තර කළහොත් “තිස්තුන් කෝටියක” දේව සමූහයක් සිටිති. එතරම් සුවිසල් දේව ගහණයක් සිටියදීත් අපට ඔවුන් පිහිට නොවන්නේ මන්ද? යන්නට දිය හැකි සරලම පිළිතුරක් අප ජන විඥානයේ තිබේ. එනම් දෙවිවරුන් කොතෙකුත් සිටියත් ඒ සෑම දෙවියකුම අපට පිහිටාරක්ෂාව නොසලසන බවකි.
මේ අතර අපට පිහිට වන සහ පිහිට නොවන දෙවිවරුන් සේම මිනිසුන් හට විපත් පමුණුවන දෙවිවරුන් ද සිටිය නොහැකිද? යන පැනයට පිළිතුරක් අද සමාජයේ බොහෝ දෙනකු සතුව නොමැති බව පෙනේ. එහෙත්, ඒ සඳහා දිය හැකි එක්තරා පිළිතුරක් ද තිබේ. එනම් පුද්ගලයන්ට විපත් පමුණුවන දෙවිවරුන් ද කොතෙකුත් සිටිය හැකි බව ය.
බෞද්ධ සාහිත්‍යයේ එන වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා දෙවිවරුන් අතරේ ප්‍රබලතමයෙකි. එහෙත් ඔහු ප්‍රබල සේම නපුරු දුෂ්ට පාපී දෙවියෙකි. ඒ දුෂ්ට පාපී බව කොතෙක් ද යත් බුදුන් වහන්සේට බෝධිසත්ව අවධියේ සිට පරිනිර්වාණය තෙක් ඔහු බුදුන්ට කළේ සතුරුකම්ම ය. බුදුන්ටත් සතුරුකම් කළ, විපත් පැමිණවීමට මාන බැලූ එවන් දෙවිවරු වෙත් නම් “මේ මේ නිකම්ම නිකම් නර පනුවන්” වන අප ගැන කවර කතා දැයි පැරණි ගැමියෝ කල්පනා කළහ.
අප ජන සමාජයේ ඇදහීමට ලක්වන දෙවිවරුන් අතරේ ප්‍රධාන කොටස් තුනක් වෙති. එනම් ශාන්තිවාදී, මධ්‍යස්ථ සහ නපුරු දුෂ්ට යනුවෙනි. අප ජන සමාජයේ ප්‍රධානම තැනක් හිමිකර ගන්නා විෂ්ණු, සමන්, නාථ, පත්තිනි ආදී දෙවිවරුන් ශාන්තිවාදී හෙවත් ඉවසුම් ස්වභාව ඇති දෙවිවරුන් ලෙස ප්‍රකට ය. කතරගම දෙවියන් මධ්‍යස්ථ ගතිගුණ සහිත දෙවියකු ලෙස සැලකෙයි. නොඑසේ නම් තමන්ට හිතෛෂී වූවන්ට පිහිට වන කතරගම දෙවියන් තමන්ට හෝ තම බැතිමතුන්ට සතුරුකම් පාන්නවුන්ට කුරිරු දඬුවම් පමුණුවන දෙවි කෙනෙකු ලෙස ප්‍රසිද්ධ ය.
ඊශ්වර, දැඩිමුණ්ඩ, විභීෂණ ආදී දෙවිවරු ද මේ ගණයටම අයත් වෙති. මේ අතර සූනියම් ගම්බාර යනු ද්වි දේවත්වයක් ප්‍රකාශ කරන අපූරු දෙවි කෙනෙකි. අප රටේ පවත්නා ජන සම්මතයට අනුව අමාවක සිට පසළොස්වක තෙක් සඳ මෝරන කාලයට හෙවත් පුර පක්ෂයට සුදු ශුක්ල හෙවත් ශාන්ත ගුණ යහපත් ස්වභාවයෙන් පෙනී සිටින මෙම දෙවිඳුන් පසළොස්වක සිට අමාවක දක්වා වන අව පක්ෂයේ දී කළු, කෘෂ්ණ හෙවත් ප්‍රචණ්ඩ ලක්ෂණ පළ කරයි.
මේ හැරුණු කොට දෙවොල්, කාලි, දුර්ගා ආදී දෙවිවරුන් තුළ නපුරු, දුෂ්ට ගතිගුණ ඇති බවට ජන සම්මතයක් තිබේ. මෙම කරුණු දැක්වීමේ දී එක් එක් දෙවියා සතු ආවේණිකතා සරල රේඛාවකින් බෙදන්නාක් මෙන් හොඳ හෝ නරක ලෙස බෙදා වෙන් කිරීමට කිසිවකුටත් නොපුළුවන. ඒ නපුරු, දුෂ්ට, පාපී යනුවෙන් ජන සම්මත දෙවිවරුන් තුළ ද ඇතැම් විට යහපත් ගති ලක්ෂණ දක්නට ලැබෙන බැවිනි.
ශ්‍රී ලාංකේය ජන සමාජයේ විවිධ ජන කොටස් අතරේ අදහනු ලබන දෙවිවරුන් හා ඒ ජන කොටස්වල සිතුම් පැතුම් අතරේ ඉතා පැහැදිලි අනුරූපී, සමපාත බවක් පෙනෙයි. මේ සම්බන්ධයෙන් ඉතා විශිෂ්ට සමාජ විද්‍යාත්මක ඇගයුමක් කොට ඇති මහාචාර්ය ගණනාථ ඔබේසේකර විද්වතාණන් පෙන්වා දෙනුයේ අගනුවර ආශ්‍රිත අඩු ආදායම් ලාභී පැල්පත් ආශ්‍රිත ජනතාව අතරේ සූනියම්, කාලි ආදී දේව විශ්වාස වඩාත් ප්‍රචලිතව ඇති බවකි. තමන් ගත කරන දුෂ්කර, වේදනාකාරී දිවි පෙවෙත මත ස්වභාවිකවම ගොඩ නැගෙන අයහපත් මානසික වාතාවරණය යටතේ ඒ ජනතාවට ක්ෂාන්තිවාදී දෙවිවරුන්ගෙන් ලැබෙන අහිංසක සතුට, සුව සැනසුම මගින් සෑහීමකට පත් වීමට නොහැකි වීම ඊට හේතු වන්නට ඇතැයි මට සිතෙයි.
‘අෂ්ට කර්ම’ යනු සියලු ගුප්ත විශ්වාසවලට පොදු සිද්ධාන්ත සේ සැලකෙයි. වශී (රජුන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා සිත් වසඟ කර ගැනීම) ආකර්ෂණ (යමකු ස්වකැමැත්තෙන් බැහැරව ඇදගැනීමට ඇති හැකියාව) මෝහන (යමකු සිහි මුළාවට පත් කිරීම) ස්තම්භන (අමනුෂ්‍යාදීන් බන්ධනය කර ගැනීම) ශාන්ති (මෙම අෂ්ටකර්මවලින් වඩාත් ප්‍රචලිත ශාන්තිකර්ම නම් වන මෙම ක්‍රියාව විවිධ රෝග පීඩා සුව කිරීමට යොදා ගැනෙයි) විද්වේශන (පුද්ගලයන් එකිනෙකා කෙටවීම, බිඳවීම) උච්චාටන (අණවින හදි හූනියම් කැපීම, සතුරු සහ වන මෘග උවදුරු පහ කිරීම) සහ මාරණ (පුද්ගලයන් වනසා දමා ඔවුන් සතු සියලු ධන ධාන්‍ය ද විනාශ කොට දැමීම) යන මේ අෂ්ට කර්මය සෑම දෙවියකු සතුවම පවතින බලයකැයි කියනු ලැබේ.
එහෙත්, ඒ එක් එක් දෙවියා තමන් සතු මේ එක් එක් බල ශක්තිය තමන්ටම ආවේණික රටාවකට අනුව භාවිතයට ගන්නා අතර මෙහි අවසානයේ දැක්වෙන මාරණ නම් වන ශක්තිය ඔස්සේ මිනිසුන් වනසා ඔවුන්ගේ සන්තකයන් ද වනසා දමන දෙවිවරුන් ද මෙරට ජන විශ්වාස පද්ධතිය තුළ හිඳින බව ඒ අනුව අපට පිළිගැනීමට සිදු වෙයි.අතීත ජනයා තුළ පැවැති මෙම විශ්වාසය තත්කාලීන සමාජයේ අපරාධ නිවාරණයට හේතු වූ බව පෙනෙයි.
අතීත ගැමි සමාජය තමන්ගේ විවිධ කටයුතු සම්බන්ධ දෙවියන්ගේ අභිලාශයන් හා අදහස් විමසා සිටියේ දේවාලවල කපුවන් නොවන එක්තරා විශේෂිත පුද්ගලයකු වෙතිනි. දෙවියන්ගේ අනුමැතිය ලබා දෙන තැනැත්තා යන අදහසින් අනුමැතිරාල ලෙස නම් ලද ඔහු නුවර කලාවියේ පැරණි ගැමියන් විසින් හඳුන්වන ලද්දේ” ඇනමිතිරාල” වශයෙනි.
ඇනමිතිරාල යන නම මුල්කොට ගත් මෙම චරිතය බොහෝ විට සියලු දුසිරිතෙන් තොර ආගමානුකූල දිවි පෙවෙතකට නැඹුරු වූ වැඩිහිටියකු බව පෙනේ. එමෙන්ම ජීවිතයේ කිසියම් සංසිද්ධියක් මුල් කොට ඔහුට හිමි වන දිව්‍යමය වරමකින් පසු වරින් වර දේවාරූඪයන් හිමි වීම මත ගම්මු ඔහු තම ගමේ “ඇනමිතිරාල” ලෙස ඒකමතිකව තීරණය කරති.
තම ගමේ ගම් මඩුවක්, කංකාරියක් වැනි යාතුකර්මයක් සේම ගමම එක්ව සිදු කරන කිනම් හෝ යහපත් පොදු කටයුත්තක් ඇරඹීමට පෙර ඒ සඳහා දෙවියන්ගේ අනුමැතිය හිමි වේද යන්න සොයා බැලීමටත් අතීත ගැමියෝ පසුබට නොවූහ.
එහි දී ඔවුන් විසින් කරන ලද්දේ එම ගම් තුලානේ ඇති පැරණි වනස්පති වෘක්ෂයක්, වැව් ඉහත්තාවක්, උස් කමතක් වැනි තැනක ගම් නැකැත් රාල විසින් සකසා දෙන නැකතකට අනුව මල් පැලක් තනා ඒ හා සම්බන්ධ සෙසු කටයුතු ද සම්පූර්ණ කොට ගමේ ඇනමිතිරාල ඒ ස්ථානයට කැඳවීමය. එවිට එම මල් පැල ඉදිරියේ ඊට අදාළ යාදිනි කන්නලව් ආදිය කරමින් සිටින ඇනමිතිරාලගේ සාමාන්‍ය ස්වරූපය මුළුමනින්ම පහව ගොස් ඔහුගේ හිස ඇතුළු මුළු ශරීරයම දෙදරන්නට පටන් ගනී.
ඉන් පැවසෙනුයේ ඔහුගේ ශරීරය තුළට කිනම් හෝ දේවාරූඪයක් පිවිස ඇති බවකි. එවිට එම ගැමියන් අතුරින් ඒ සඳහා පේවී හිඳින ගැමියෙක් ‘දෙවියනේ’ ආදී වශයෙන් ඔහුගෙන් තම අරමුණ ඉටුකර ගැනීම සම්බන්ධයෙන් දෙවියන්ගෙන් අනුමැතිව විමසා සිටියි. එවිට ඒ මොහොතේ ප්‍රකෘති සිහියෙන් මුළුමනින්ම දුරස් වී හිඳින ඇනමිතිරාල ද ‘දරුවා, පුතේ’ ආදී වශයෙන් ඒ සම්බන්ධයෙන් තමන්ගේ හෙවත් “දෙවියන්ගේ අදහස” අවට රැස්ව සිටින්නවුන් හමුවේ ප්‍රකාශ කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.
ඇනමිතිරාලගේ එම දේව අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් විවිධ මූලාශ්‍රයන් මගින් කරුණු විමසා දැන සිටි මට එවන් අදහස් විමසීමක් සියැසින් දැක ගැනීමට ද අවස්ථාව උදා විය. ඒ ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටිය දී පාපතර ඇත් දළ සොරුන්ගේ වෙඩි පහරට ලක්ව 2017 නොවැම්බරයේ මියගිය දළපූට්ටුවා ඇත් රජුගේ මරණයෙන් ප්‍රකම්පිත වූ ගල්ගමුව සියඹලංගමුවේ ජනතාව එම ඇත් රජුට පින් පැමිණවීම උදෙසා එම වසරේ දෙසැම්බර් 08, 09 යන දිනවල සියඹලංගමුව වැව් ඉස්මත්තේ දී සිදු කරන ලද ධර්ම දේශනාමය සහ දානමය පුණ්‍යකර්මයකදී ය.
එම දානමය පින්කමට පෙර දෙසැම්බර් 09 දින පෙරවරුවේ සියඹලංගමුව වැව ඉස්මත්තේ දී එම බිහිසුණු අපරාධය පිළිබඳව දෙවියන්ගේ අදහස දැන ගැනීමට කැමැති වූ සියඹලංගමුව ජනතාව ඉහත විස්තර කළ අන්දමින්ම ඒ සඳහා සියඹලංගමුව වැව් ඉස්මත්තට ඇනමිතිරාල කෙනකු කැඳවන ලද්දේ දෙවියන්ගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා සිටීමට ය.නමුදු එම භූමිකාව සඳහා ඇනමිති රාළ යන නම ව්‍යහාර වන බව එම ප්‍රදේශයේ ගැමියන් දැන සිටියේ නැත.ඇතැම් විට කාලානුරූපී ලෙස එම ව්‍යවහාරය ඔවුන් වෙතින් අභාවයට යන්නට ඇත.
ඉහත සඳහන් අයුරින්ම දේවාරූඪයට පත් “ඇනමිතිරාල” දළ පූට්ටුවාට එවැනි ඛේදනීය ඉරණමක් අත්වීම තමන්ට සිදු වූ අතපසු වීමක් බව පවසා එම අපරාධය කළ පාපතරයන්ට බරපතළ දඬුවම් දී මින් පසුව එවැනි බිහිසුණු පාපතර ක්‍රියා මුළුමනින්ම නතර කිරීමට පොරොන්දු විය. එමෙන්ම ‘උඹලා ඒ සතා වෙනුවෙන් කරන හැම දේකටම මාත් උදව් කරන්නම්. ඒ සතා දැන් ඉන්නේ බොහොම උතුම් ආත්මයක. දේවතාවෙක් වෙලා. ඒ දේවතාවා උඹලට පිහිට වෙනවා.’ යනුවෙන් පවසා සිටීම ද විශේෂත්වයකි.
මෙම සිදුවීම දැකබලා ගැනීම සඳහා පැමිණි පිරිස අතරේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා,ගල්ගමුව හිටපු ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පතිරාජ මහත්මිය, සත්ත්ව අහිංසා ක්‍රියාකාරීන් වන අනුරාධපුර මහ රෝහලේ ප්‍රජා වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය පද්මා බණ්ඩාර මහත්මිය, පේරාදෙණිය මහ රෝහලේ ප්‍රජා වෛද්‍ය නිලධාරී සුගත් විජේවර්ධන මහතා ඇතුළු තවත් පිරිසක් ද වූහ.
ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය,ජන පීඩක ආණ්ඩුව පනමු ආදී වශයෙන් වන පොදු ජන විරෝධතා මාලාවක් ජාතික ජන බලවේගය විසින් මේ දින වල රට පුරා ක්‍රියාත්මක කරමින් තිබේ.එවන් තත්වයක් තුළ ඇතැම්හු මෙම ජන පීඩනයට එරෙහි ව දෙවියන්ගේ උදව් උපකාර මඟින් එම ජන පීඩකයන්ට දේව දඬුවම් ලබා දීමේ සාම්ප්‍රදායික ක්‍රියාන්විතයකට ද අවතීර්ණ වී සිටිති.එහෙත්,ඒ සම්බන්ධ පොදු ජන පැතුම වී ඇත්තේ ජන පීඩකයන්ට දඬුවම් ලබා දෙන්නේ දෙවියන් ද මිනිසුන් ද යන්න නොවේ.ඒ කවරකු විසින් හෝ ජන පීඩකයන් නිසි දඬුවම් ලද යුතුය යන්න ය.
තිලක් සේනාසිංහ