ඉන්ධන මිල දී ගැනීම සඳහා පෝලිම් වල සිටි වයෝවෘද්ධ පුද්ගලයන් සිව් දෙනෙක් මේ වන විට හදිසි මරණ වලට ලක්ව තිබේ. ඊට අමතරව ඉන්ධන පිරවුම් හලක දී ඇති වූ බහින් බස් වීමක් මුල් කොට ත්‍රිරෝද රථ රියැදුරකු විසින් යතුරු පැදියකින් පැමිණි තරුණයකු පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් ද වාර්තා වී ඇත. ඊට අමතරව ඉන්ධන, ගෑස්, කිරිපිටි ආදිය සඳහා පෝලිම් වල සිටින්නවුන් කලහකාරී ලෙස හැසිරීම මගින් මහජන සාමය කඩවීම වළක්වා ලීම පිණිස පොලිසීය පමණක් නොව යුද හමුදාව පවා කැඳවීමට සිදුව තිබේ.
මේ අතර බලශක්ති ඇමතිවරයා ගේ රියදුරා බව පැවසෙන පුද්ගලයකු පසු ගියදා කිසියම් පිරිසක ගේ පහරකෑමට ලක්ව මිය ගොස් ඇත.
ඉහත සඳහන් සිදුවීම් එකි’නෙක විමසුමට ලක් කරන විට ඒවායේ හුදු හෙවත් කේවල ස්වභාවයක් දක්නට පුළුවන. එය තව දුරටත් විස්තර කළ හොත් ඒ එක් එක් සිදුවීම අනෙක් සිදුවීම හා සම්බන්ධ නොමැති බවක් පෙනී යන්නට පුළුවන. නමුදු සමාජ විද්‍යාත්මක, අපරාධ විද්‍යාත්මක සහ සමාජ මනෝ විද්‍යාත්මක නිර්ණායකයන් අනුව බලන විට පෙනී යන්නේ ඉහත සඳහන් සමස්ත සිදුවීම් දාමය තුළින්ම පොදු සමාජමය දර්ශකයක් හුවා දැක්විය හැකි බවයි.
ඉහත සඳහන් සිදුවීම් එකි’නෙක විමසුමට ලක් කරන විට ඒවායේ හුදු හෙවත් කේවල ස්වභාවයක් දක්නට පුළුවන. එය තව දුරටත් විස්තර කළ හොත් ඒ එක් එක් සිදුවීම අනෙක් සිදුවීම හා සම්බන්ධ නොමැති බවක් පෙනී යන්නට පුළුවන. නමුදු සමාජ විද්‍යාත්මක, අපරාධ විද්‍යාත්මක සහ සමාජ මනෝ විද්‍යාත්මක නිර්ණායකයන් අනුව බලන විට පෙනී යන්නේ ඉහත සඳහන් සමස්ත සිදුවීම් දාමය තුළින්ම පොදු සමාජමය දර්ශකයක් හුවා දැක්විය හැකි බවයි.
මානව විද්‍යාත්මකව බලන විට මිනිසා යනු සාමූහික සත්වයෙකි. සාමූහික සත්වයන් අතරේ වුව යම් යම් කරුණු මුල් කොට ගැටුම් අර්බුද පැන නැඟිය හැක. එහෙත්, කිසියම් ප්‍රජාවක් හෝ සමාජයක් වෙතට එල්ල වන දැඩි පීඩාකාරී බලපෑමක් මත සමාජය තුළ හටගන්නා අසහනකාරී, නොසන්සුන් කාරී සහ කලහකාරී තත්වය ඉහත සඳහන් ගැටුම අර්බුද සීමාව අතික්‍රමණය කරන්නකි.
කිසියම් ප්‍රජාවක් හෝ සමාජයක් තමන් අත්විඳින සහ අපේක්ෂා කරන සමාජ තත්වයන් ගෙන් එක්වරම පහළටම ඇදවැටීම මත හටගන්නා මෙම සමාජ අර්බුදය සමාජමය කලහය (Social panic ) ලෙසින් හැඳින්වෙයි.මෙය තත්කාලීන සමාජ,ආර්ථික හා සංස්කෘතික සාධක හා බද්ධ වූවකි.නිදසුනක් ලෙස මීට දශකයකට හමාරකට ඉහත මෙම වත්මන් ගෑස් ප්රශ්නය ඉස්මතු වී නම් එය සමාජමය කහලයක් තෙක් උත්සන්න නොවනු ඇත.ඊට හේතුව එවක අද මෙන් ගෑස් භාවිතය ව්‍යාප්ත වී නොතිබුණු බැවිනි.
නමුත් මෙම කලහකාරී තත්ත්වයන් ඉස්මතු වනුයේ පාලන තන්ත්රය වැනි බලවේග මුල් කොට හටගන්නා පරිපීඩිත සහ අවිනිශ්චිත වාතාවරණයන් යටතේ ය. එසේ නොමැතිව කිසිවකුටත් පාලනය කර ගත නොහැකි ස්වභාවික ආපදා වැනි තත්වයන් මුල් කොට මෙම සමාජ කලහමය තත්වයක් නිර්මාණය වීමේ අවකාශයක් නැත.ඉකුත් සුනාමි ව්‍යසනය,වත්මන් කොරෝනා වසංගතය මේ සඳහා වන නිදසුන් ලෙස දැක්විය හැක.
මෙවන් සමාජමය කැළඹීමක දී සමාජය සතු විචාර බුද්ධිය බිඳ වැටීම සිදුවීම මත ඔවුන් සාමුහිකව නැගී සිට තමන්ට එරෙහිව නැඟෙන ප්රතිරෝධයන්ට අවිනිශ්චිත ප්‍රතිචාර දැක්වීමේ අවකාශයක් පවතී. මෙවැනි මහජන නැඟී සිටීම්,අරගල වලදී පොදු දේපල ආදියට පවා හානි සිදුවනුයේ එවන් භාවාතිශය සහ ආවේගාත්මක ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.අතීතයේ සිට පැවැති මෙවන් තත්වයන් හිදී ජනතාව කැති,උදළු,මෝල් ගස් වැනි ගෘහස්ථ උපකරණ පවා තමන්ට එරෙහි වන පාර්ශවයනට ප්‍රතිරෝධය දැක්වීමට යොදා ගත් බව පෙනේ.පොදු ජනතාව අත් විඳින මානසික පීඩනය,අසහනය මත කුළුගැන්වෙන ව්‍යුහාත්මක නොවූ ජන අරගල රාජ්‍ය බලය යොදා මර්දනය කිරීමේ පිළිවෙත මගින් කෙසේ වත් මැඩ පැවැත්විය නොහැකි අතර එය එලෙසින් ම හෝ වෙනත් සංවිධානාත්මක ව්‍යුහයක් ලෙස පෙරටත් වඩා සවිමත් ලෙසින් ඉස්මතු වීමේ පැහැදිලි අවකාශයක් තිබේ.
2013 වසරේ භූගත ජලයට විෂ රසායනික මුසුවීම මුල් කොට විරෝධතාවයකට එක් වූ ගම්පහ, වැලිවේරියේ රතුපස්වල සාමාන්‍ය ජනතාවට හමුදාව මගින් වෙඩි තබා මිනිස් ඝාතන තුනක් සිදු කිරීම මත හටගත් එවක රජයට එරෙහි ජනතා විරෝධය රට පුරා පැතිර ගිය අයුරු අප කාටත් මතකය.විකල්ප දේශපාලන බලවේග සවිමත් කරවීමට හේතු සාධක වූ ඒ කුරිරු මර්දනයේ රාවය 2015 පැවැති ජනාධිපතිවරණ වේදිකාවේ ද රැව් පිළිරැව් දීම එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ පරාජය කෙරෙහි ද තීරණාත්මක ලෙස බලපෑ බව අපගේ පෞද්ගලික අදහස ය.
ඒ අනුව කිනම් හෝ සමාජමය අසහනයක් පරිපීඩනයක් හමුවේ ප්‍රචණ්ඩකාරී නොවන අයුරින් තම ප්‍රතිරෝධය එල්ල කරන ජනතාවට “රතුපස්වල ආදර්ශය”ට අනුව ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීම අතිශය අනර්ථකාරී පියවරක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි.එමෙන්ම වර්තමානයේ පෝලිම් හැසිරවීම පිණිස හමුදාව යෙදවීම සම්බන්ධයෙන් ද රජය මීට වඩා ගැඹුරින් සිතා බැලිය යුතුය.
වර්තමානය නොවිධිමත් දේශපාලනික තීන්දු තීරණ රැසක් පදනම් කරගනිමින් ජතතාව දැඩි පීඩාවට පත් ව ඇති යුගයකි.මෙහි ඉහතින් සඳහන් වූයේ එහි ද්‍රශ්‍යමාන කරුණු කිහිපයකි.ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා ගේ කාර්යාලය සේම පෞද්ගලික නිවස ඉදිරිය තෙක්ම”ඔඩු දිවූ ” ජනතා විරෝධයන්ට රජය දැක් වූ නිහඬ ප්‍රතිචාරය අගය කළ යුතුය.නමුදු එම අගැයුම පරිපූර්ණ කළ හැක්කේ රජය එම සාධාරණ ජනතා විරෝධය ඉවසා දරා ගැනීම මත පමණි.
වර්තමාන සමාජයේ පවත්නා ආර්ථිකමය සමාජමය බිඳ වැටීම දේශපාලනික කරුණක් බැවින් ඒවාට විසඳුම් දිය හැකි බව පවසන විපක්ෂ දේශපාලන කණ්ඩායම් මේ කාලයේ විවිධ උපාය මාර්ග මගින් ජනතාවට සමීප වීමට වෙර දරනු පෙනේ. එමෙන්ම ඒ උත්සාහයන් සාර්ථක වී ඇති බව ද විපක්ෂ දේශපාලන පක්ෂ වටා වැඩි වැඩියෙන් ජනතාව ගොනු වීමෙන් පෙනී යයි.මෙලෙස විපක්ෂයේ දේශපාලන බලය ප්‍රවර්ධනය වීමත් සමඟ ආණ්ඩුව දේශපාලනික වශයෙන් යම් අස්ථාවර බවකට පත්වන බව බැලූ බැල්මට පෙනී යයි. එහෙත් මේ සම්බන්ධ සත්‍යය අනෙකකි.
දැනට රජය විසින් ගනු ලබන විවිධ දේශපාලනික තීන්දු තීරණ වල අවිධිමත් බව මුල් කොට රජයට එරෙහිව ඇතිවන පීඩනය පදනම් කරගනිමින් ජනතාව සෘජුව නැගී සිටීම වෙනුවට ඔවුන් විපක්ෂ දේශපාලන කඳවුරු හා එක් වී හෝ ප්රජාතන්ත්රීය ව්‍යුහයකට ගොනු වීම පවත්නා රජය අනියමින් හිමි කර ගන්නා වාසියකි. ඒ තුළින් ඉදිරියේ පැවැත්වෙන කිනම් හෝ මැතිවරණයකින් රජයට තම ප්‍රතිචාරය දැක්වීමට මහජනයා පෙළඹීම මත ඔවුන් ව්‍යුහාත්මක නොවූ පදනමක් මත රජය කෙරෙහි සෘජුව දක්වන ප්‍රචණ්ඩකාරී ප්‍රතිරෝධය අවම වී යයි.
නමුත් මේ සියලු සංසිද්ධීන් අතරේ රජය විදේශ ණය වශයෙන් ලබා ගත් අති විශාල ධනස්කන්ධයන් ආයෝජනය කරමින් සංවර්ධනය යන නාමය පෙරදැරි කර ගනිමින් මානව සංවර්ධනය මත පදනම් වන ජාතිය සතු මූලික අවශ්‍යතා පසෙක තිබිය දී පෙර පරිදි වරායන්, ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්, ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා, ක්‍රීඩාංගන සහ නෙළුම් කුළුණු ආදිය සෑදීම පෙරටු කොට මෙරට ජනතාවගේ මූලික අවශ්‍යතා සහ ප්‍රශ්න යටපත් කිරීමේ හෝ මගහැරීමේ සුපුරුදු ක්‍රියා මාර්ගයට නැවත්ත් අවතීර්ණ වීම තුළින් මතුවන ජනතා විරෝධය “රතුපස්වල ආදර්ශය”ට අනුව යටපත් කිරීම ඔස්සේ රජයට එරෙහි සන්නද්ධ අරගලයක් දියත් විය නොහැකි යැයි සහතික වීමට අපට නොපුළුවන.
ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර