ජනතාවට අරගලය කියන්නේ ආර්ථික පීඩනය නම් දිය ගැඹර තරණය කරන පහුරක් විතරයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ආරාධනාවක් කළේය. ඊට අමතරව සිය රාජාසන කතාව කරමින් ද ඔහු සර්ව පාක්ෂික ආණ්ඩුවකට පක්ෂ විපක්ෂ සියළු පාර්ශවවලට ආරාධනා කරනු ලැබීය.ජනාධිපති වරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ආරාධනා කරන්නට හේතු වූයේ පවතින ආර්ථික අර්බුදයට හා ඒ මත පැන නැඟී ඇති දේශපාලන අස්ථාවරත්වයට විසදුම් සෙවීම වෙනුවෙනි. දේශපාලන ස්ථාවරත්වයක් නොමැති රාජ්‍යයකට ආර්ථික අර්බුදයක් ජයගත නොහැක.

මේ වන විට ශ්‍රී ලංකාව ඉතාම දුර්වල ආර්ථික තත්ත්වයකට පත්ව ඇති අතර ඉන්ධන, ඖෂධ, ගල් අගුරු වැනි බලශක්ති ක්ෂේත්‍රයට ඉන් දැඩි බාධාවක් එල්ල වී තිබේ. ඉන්ධන වෙනුවෙන් කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට සිදුව ඇත්තේ ද පවතින ආර්ථික අර්බුදය හේතුවෙනි. පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4 ක ණය පහසු කමක් ඉල්ලා ඇති අතර ඊට අදාළ සාකච්ඡා ආරම්භ කෙරුණේ ඉකුත් මැයි මාසයේ දී රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ය.

එම සාකච්ඡාවන් හි ප්‍රධාන කාරණයක් වූයේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් පැවැතිය යුතු බවකි. දේශපාලන ස්ථාවරත්වයක් නොමැති රාජ්‍යයකට අයි.එම්.එෆ් සංවිධානය ණය ලබා දෙන්නේ නැත. සාකච්ඡා අවසන් මට්ටමට පැමිණ අගෝස්තු මුල සතියේ දී දෙපාර්ශවය අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණ ද රට තුළ ඇරඹි අරගලය හේතුවෙන් එය කල් ගියේ ය.

අගෝස්තු මුල් සතියේ අත්සන් කිරීමට නියමිතවූ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සැප්තැම්බර් මාසය දක්වා කල් යන්නේ අගෝස්තු දෙවන සතියේ සිට එහි නිවාඩු කාලයක් ආරම්භ වන බැවිනි. සැප්තැම්බර් මුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය රාජකාරී ආරම්භ කළ පසු එම ගිවිසුම අත්සන් කෙරෙනු ඇත. එහෙත් යළිත් රට තුළ නොසන්සුන්තාවයක් මතු වුවහොත් යළිත් වරක් ගිවිසුම් ගතවීමේ කාලය තවත් කල් යාමට නියමිත ය.

රටේ පවතින අරගලකාරි වාතාවරණය මැඩ පැවැත්වීම වෙනුවෙන් හා ජනතා විශ්වාසය තහවුරු කර ගැනීම වෙනුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ජනාධිපතිවරයා මුලින්ම සර්ව පාක්ෂික ආණ්ඩුව වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කරනු ලැබූවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමඟ ය.

ඔවුන්ගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී තිබුණි. ජනාධිපතිවරයාට ඉදිරි වසර දෙකක කාලයක කටයුතු කිරීම වෙනුවෙන් තමන් සහාය දක්වන බව එම මන්ත්‍රීවරු ප්‍රකාශ කරන ලදී. ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දමිල ජාතික සන්ධානය, පක්ෂ 09 කණ්ඩායම, සමගි ජන බලවේගය, කම්කරු කොංග්‍රසය මෙන්ම ජාතික කොංග්‍රසය යන පක්ෂ සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡා කළේය.

හමුවූ සියළු පාර්ශවයන් යෝජනා ඉදිරිපත් කරනු ලැබූවා විනා සර්ව පාක්ෂික ආණ්ඩුවේ සංයුතිය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් සාකච්ඡා කර තිබුණේ නැත. රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රථම සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවිය යුතු ය. 19 වෙනි සංශෝධනය ගැන කතා කරන්නට පෙර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාත්මක විය යුතු ය.19 ඉක්මන් කළ හොත් රටේ ප්‍රමුඛතම අවශ්‍යතාව පිටුපසට තල්ලු වනු ඇත.

ආණ්ඩුව බිහි වූ පසු සාකච්ඡා කළ යුතු කරුණු ගැන මේ සියළු දෙනා කතා කර ඇතිවා විනා සර්ව පාක්ෂික ආණ්ඩුවේ සංයුතිය සම්බන්ධයෙන් කිසිවෙකු කතා කළ බවක් මාධ්‍ය තුළ දකින්නට ලැබුණේ නැත. සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමති ධූර සංඛ්‍යාව එය කොපමණ කලකට පිහිටුවනවාද? එහි ඉලක්කය කුමක් ද යන්න ගැන කතා කළ බවක් පෙනේන්ට නැත.

ඇමතිවරුන් ඊට හිමි වරදාන වරප්‍රසාද ගන්නවාද? නැතිනම් ඇමතිධූර දැරුවද මන්ත්‍රී වැටුප පමණක් ගන්නවා ද යන්න ගැන කිසිවෙකු කතා කළ බවක් අසන්නට නැත. ආර්ථික අර්බුදයේ දිග පළල ගැන කතා කිරීමෙන් ඵලක් ඇතැයි සිතිය නොහැක. හදිසි නීතිය පවත්වාගෙන යනවාද? නැතිද? යන්න ගැන කතා කරන්නට පෙර අරගලකරුවන් රටේ නීතිය අතට ගැනීම වළක්වා ලිය යුතු ය.

සමගි ජන බලවේගය වන රටේ ප්‍රධාන විපක්ෂය කතා කර තිබුණේ එම කාරණා ගැන ය. ඩලස් අලහප්පෙරුම පාර්ශවය කතා කර තිබුණේ ආණ්ඩුවට ජන මතයක් නැතැයි කියා ය. මේ සියළු දෙනා තවමත් රට ගැන වෙනුවෙන් නොව පෞද්ගලික මති මතාන්තර වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන්ගේ කතාවලින් මොනවට පැහැදිලි වේ. එසේම ජනාධිපතිවරයා හමුවූ සියළු පාර්ශව පිටතට පැමිණ කතා කරන්නේ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ය.හදිසි නීතිය පැනවූ ආකාරය ගැන ය. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තබමින් කීවේ දියවන්නා දූපතේ සිටින පිරිස හා එළියේ ජනමතය අතර වෙනසක් පවතින බව ය. එය එසේ නම් ජනාධිපතිවරණ තරඟයෙන් ඔහු ජනාධිපති වුවත් තත්ත්වය එලෙසම ය. එම කාරණය නිවැරදි නම් එය පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහුටත් එක සේ අදාළ ය.

මෙයින් පෙනෙන්නේ මොවුන් තවමත් දේශපාලන සූදුවක කදිමට නිරතව සිටින බව ය. ජනතාවගෙන් බහුතරයකට මේ කාරණා වැදගත් නැත. ඔවුන්ට අවශ්‍ය 2019 ට පෙර පැවැති නිදහස් ජිවිත රටාව පවත්වාගෙන යාමට ය. නිදහසේ ජීවත් වීමට ය. පෝලිමකින් තොරව ගොස් ඉන්ධන ලබාගැනීමට ය. ගෑස් ලබා ගැනීමටය. අඩු මිලට ආහාර ටික, බෙහෙත් ටික ලබා ගැනීමට ය.ගාලුමුවදොර අරගලය ජනාධිපති ගෝඨාභය බලයෙන් පහ කරන තැනට මුවහත් වූයේ ඒ පොදු ජන අවශ්‍යතාවය මය..

එහෙත්, දේශපාලන සත්වයන්ගෙන් කොටසකට අවශ්‍ය වන්නේ ජනතාවගේ මෙම අවශ්‍යතාවය ඔවුන්ගේ අවශ්‍යතාවය හා සමපාත කර ගැනීමට ය. එම නිසා ඔව්හු තවදුරටත් අරගලයක නිරත වෙමින් ජනතාව උසි ගැන්වීමට මාන බලමින් සිටිති. සුළුතරයක් වන දේශපාලන මනසින් සිතන ජනතාවගේ මතය හා දියවන්නාවේ මතය අතර වෙනසක් ඇති මුත් බහුතරයක් ජනතාවගේ මතය එය නොවන බව මේ ලියුම්කරුගේ අදහසයි.

අරගලකරුවන් අත්අඩංගුවට ගත්තාය කියා ජනතාව ප්‍රකෝප වන්නේ නැත. එසේ නම් මේ වන විටත් ජනතාව පාරට පැමිණිය යුතු ය. ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගත් ආකාරය ගැන අප එකඟ නැති මුත් ජනතාවට එය අදාළ නැත. ජනතාවට අවශ්‍ය ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ය. ඒ වෙනුවෙන් සියළු දෙනා එකතු විය යුතු බව ඔවුහු සිතති. එහෙත් විපක්ෂයේ දේශපාලන පක්ෂ හා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ සිතන්නේ අරගලය ගැන පමණකි.

අරගලකරුවන් ජනතාව උසි ගැන්වූ බව ජනතාව දැන් හොදින් අවබෝධ කරගෙන සිටිති. ජනතාව ආවේ තමන්ගේ ආර්ථික අර්බුදයේ පීඩනය නිසාවෙන් මිස අරගලකරුවන් රජ කිරීමට නොවන බව ඉදිරි මැතිවරණයක දී ජන මතය ප්‍රකාශ වන අන්දමින් පැහැදිලි වනු ඇත.එසේම ජනතාව සිටින්නේ අරගලකරුවන් සමඟ ද නැතිනම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළින් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට ද යන්න ලබන 09 දාට පැහැදිලි කර ගත හැකිය. මන්ද අරගලකරුවන් ද එදින රට වටා විරෝධතා මාලාවක් සංවිධානය කර ඇති බැවිනි.නමුත් අප කියා සිටිනුයේ අරගලය මේ රටේ පොදු ජනතාවට ආර්ථික පීඩනය නම් දියඹ තරණය කළ හැකි පහුරකට වැඩි දෙයක් නොවන බවකි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර