ශ්‍රී ලංකාව තුළ ගංජා වගාව ප්‍රවර්ධනය කිරීමට ඇති හැකියාව සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කරන බව පසුගිය අය වැය කතාවේ දී කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට පසු දිනෙක ඊට තරමක් වෙනස් කතාවක් කීය.එනම් ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණයට හා නව කෘෂි තාක්ෂණ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සදහා රජය කැලිෆෝනියා විශ්ව විද්‍යාල පද්ධතිය සමග සහයෝගයෙන් කටයුතු කරන බවකි.ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අමෙරිකා – ශ්‍රී ලංකා ෆුල්බ්රයිට් කොමිෂන් සභා වැඩසටහනේ 70 වැනි සංවත්සරය අමතමිනි. ආහාර සපයා ගැනීමට අවශ්‍ය සම්පත් නොමැති දුප්පත් රාජ්‍යයන්ට හා මැදපෙරදිග රටවල් සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සිංගප්පුරු ආයෝජකයන් සමඟ සාකච්ඡා කළ බව ද ජනාධිපතිවරයා එහි දී කීවේය. ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගෙන කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට තමා උපදෙස් දුන් බව ද ඔහු පැවසීය.ඒ සඳහා නව කෘෂි තාක්ෂණ විශ්ව විද්‍යාලය තේ පර්යේෂණායතනය සමග ඒකාබද්ධ කර මෙරට කෘෂි පර්යේෂණ ක්ෂේත්රය වැඩි දියුණු කර ගැනීම පිළිබඳව සොයා බැලෙන බවත් ඒ සදහා අමෙරිකානු ආයතන කිහිපයක සහාය ලබාගන්නා බව ද ඔහු කීය.
මේ වන විට අප රටේ බොහෝ දෙනෙකු ද දන්නා පරිදි ගංජා THC නම් භාන්තිකාරක සංඝටකය අඩංගු ශාඛයකි.එනිසා එය භාවිතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවා ඇත.නමුදු ගංජා වල ඇති ඖෂධීය නිස්කාරකයක් හේතුවෙන් ලොව විවිධ රට වල එය එම නිෂ්පාදන කාරිය උදෙසා පමණක් අපනයනය කරනු ලැබේ.එය හරියට නාගයන් ගේ ප්‍රතිවිෂ එක් කිරීම පිණිස නාගයන් ඇති කරන්නාක් බඳු සූක්ෂම ක්‍රියාවලියකි.එසේ නොමැතිව එය දුම් පානය සඳහා භාවිතා කිරීම ශරීරයේ ස්නායු පද්ධතියට දැඩි බලපෑම් එල්ල කරන බව නිල වශයෙන් ප්‍රකාශ කොට ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය එය භින්නෝන්මාදය(Schizophrenia) නම් බරපතල මානසික රෝගය හා සබැඳියාවක් ඇති බව ද අනාවරණය කරයි.
ජනාධිපති වරයාගේ ගංජා කතාව සහ ශ්‍රී ලංකාවේ ලංකාවේ කෘෂිකර්මාන්තය බහුවිධකරණය සඳහා විදේශීය තාක්ෂණික සහාය ලබා ගැනීමේ කතාව අහසට පොළව මෙනි.මුල් කතාව ප්‍රාථමිකය දෙවන කතාව අනාගත ලෝකය හා බැඳී පවතින්නකි.ඔහුගේ එම ගංජා කතාව පසෙක තිබිය දී ලංකා ඇපල් පිළිබඳ”රසවත්” කතාවක් ද පසුගිය දා අසන්නට ලැබිණ.ඒ පසුගිය ඔක්තොබර් 20 වන දා ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වෙත පිළිගැන්වූ පුවතකි. එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතාගේ ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි භාගයක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව නැරඹීම සඳහා පැමිණීමට අපේක්ෂා කරන බවට ද ප්‍රකාශ කර ඇත .ඇපල් බීජය මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බව ත් අක්කර දෙකක සරු ඵලදාවක් මේ වන විටත් ලැබී ඇති බවත් ලක්ෂ්මන් කුමාර ගොවි මහතා ප්‍රකාශ කර ඇත. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මෙම වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ලබා දීමට හැකියාව පවතින බවත් ලංකාව තුළ ඕනෑ ම ප්‍රදේශයක වගා කළ හැකි අයුරින් මෙම බීජ නිපදවා ඇති බවත් ය.
මේ අතර නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කොළ පැහැති පිපිඤ්ඤා වගාව අපනයන මට්ටමෙන් පුළුල් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, පෞද්ගලික සමාගමක් හා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය කාලය තුළ සිදු කෙරිණ. එම ආයතනයට කොළ පැහැති පිපිඤ්ඤා අපනයනය සඳහා තිබූ ඇනවුම වාර්ෂිකව මෙට්‍රික් ටොන් . 22,000 කි.දැනට ජාත්‍යාන්තර වෙළඳපොලේ කොළ පැහැති පිපිඤ්ඤා අපනයනය හරහා හුවමාරු වන මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 71,857 කි. වාර්ෂිකව ජාත්‍යන්තර වෙළඳපොලේ කොළ පැහැති පිපිඤ්ඤා වර්ගය පිළිබඳ පවතින ඉල්ලුම 2.2% කින් ඉහළ යයි.නමුත් ජාත්‍යන්තර වෙළඳපොලට ශ්‍රී ලංකාවේ කොළ පැහැති පිපිඤ්ඤා තුළ ඇති දායකත්වය ඉතාමත් අඩු ය.මෙම කරුණු අවධානයට යොමුකර ගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවීන් 500 ක් අපනයනය සඳහා කොළ පැහැති පිපිඤ්ඤා වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා යොමු කිරීමට පසුගිය සමයේ කටයුතු යොදා තිබිණ ඒ අනුව අක්කර 500 ක මෙම පිපිඤ්ඤා වගා කෙරෙන අතර එමඟින් එක් කන්නයකට, එක් ගොවියෙකුට ලබාගත හැකි ආදායම රු. 2,87,000 කි.සමස්තයක් ලෙස එක කන්නයකදී එක ගොවියෙකුගෙන් අපේක්ෂිත වගා ඉලක්කය කි.ග්රෑ. 10,000 කි.කොළ පැහැති පිපිඤ්ඤා වගා කිරීමේ ව්‍යාපෘතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය හා උපදෙස් සමඟින් යුරෝපා, දකුණු ආසියානු රටවල් සහ මැදපෙරදිග වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව පැවසුණි.
එමෙන්ම අප රටේ නිසරු බිම් කොටසක් ලෙස කලින් සම්මත ව තිබූ කල්පිටිය අර්ධද්වීපයේ අද වන විට උඩරට සහ පහතරට එළවළු වර්ග බහුළව වගා කෙරෙන අතරම, පළතුරු වශයෙන් ගස්ලබු, පේර, දෙළුම්, ඩැග්රන් ෆෘට් ආදිය බහුළව වගා කරනු ලැබේ. මෙම කොට්ඨාශය රටේ ජාතික ආර්ථිකයට විවිධ පැතිකඩවලින් සුවිශාල දායකත්වයක් ලබාදෙන අතර නවීන කෘෂි තාක්ෂණික දැනුම උපයෝගී කර ගනිමින් මේ තත්වයේ ශීඝ්‍ර ප්රවර්ධනයක් සිදු කළ හැකි බව අනාවරණය වී තිබේ.ඒ අනුව ජනාධිපති වරයා අය වැය කතාවේ දී කළ අතිශය අවදානම් සහගත සූදානම ඉවත ලා කෘෂිකර්මාන්තය නවීකරණයට හා නව කෘෂි තාක්ෂණ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට කරන ලද උත්සාහය මල් ඵල ගන්වන මෙන් අපි ඉල්ලා සිටිමු.
දමයන්ති ගමගේ