රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු පත් කරනු ලැබූවේ ඉකුත් බ්‍රහස්පතින්දා ය. එනයින්ම කියැවුණේ තවත් කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ද ඉදිරියේදී පත් කිරීමට නියමිත බව ය. දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරුන් අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ ද සිිටින බැවින් විමල් වීරවංශ ඇමතිවරයා කීවේ රාජපක්ෂ කසකාරයෙකු පැමිණ ඇති බැවින් නාමල් කුමාරයා ද ළඟදීම කැබිනට් ඇමතිවරයෙකු ලෙස පෙරහැරට එක් වන බව ය.
ඔහු කියූ කාරණයත් සමඟ තවත් ඇමතිවරුන් දිවුරුම් දෙන බවට රාවයන් පැතිර යන්නට විය. ජනාධිපතිවරයා දරණ අමාත්‍ය ධූරත් සමඟ මේ වන විට ඇමතිවරු 20 ක් සිටිති. ජනාධිපතිවරයා නොමැතිව සිටින්නේ අමාත්‍යවරු 18 ක් පමණකි.
ඔවුන් ඇමති වැටුප් ගන්නේ නැත. එසේම අලුතින් පත් වූ අමාත්‍යවරුන් සියළු දෙනාගේ වරප්‍රසාද කප්පාදු කළ නිවේදනයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කළේ දිවුරුම් දුන් දිනයේදීම ය. එහෙත්,විපක්ෂය පෙන්වා දෙන්නේ අති විශාල මුදලක් මේ ඇමතිවරුන් වෙනුවෙන් රජයට වැය කිරීමට සිදුවන බව ය.
ඔවුන් නොයෙක් නොයෙක් කාරණා දැන් ඉදිරිපත් කිරීමට පටන් ගෙන ඇත. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පත් විමෙන් පසු පාර්ලිමේන්තුව තුළ ඔහුට ඡන්දය දුන් හා නොදුන් සැමට ආරාධනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වන ලෙසට ය. ඒ වෙනුවෙන් ඔහු දින කිහිපයක් ඇමතිධූර පත් නොකර කල් ඇරියේය. එහෙත්, රාජ්‍ය පාලනය අකර්මණ්‍ය වන බැවින් ඔහු හිටපු ඇමතිවරු 18 දෙනාම යළිත් පත් කරනු ලැබීය.
සර්ව පාක්ෂික ආණ්ඩුව වෙනුවෙන් සාකච්ඡා ආරම්භ වූයේ ඒ අනුව ය. එහෙත්, ඇමතිධූර පත් කොට සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරනවා කීවේ ජාතික ජන බලවේගයේ නායකයන්ය. නමුත් ඇමතිවරු නැතිව දින ගණනක් රටක් පවත්වාගෙන යා නොහැකි බවක් ඔවුන් කීවේ නැත. සමගි ජන බලවේගය කීවේ ඔවුන් ඇමති ධූර නොගෙන සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට සහාය දක්වන බව ය.එයට පක්ෂය තුළ බෙදීමක් හටගත් බැවින් එම සාකච්ඡා කළ් ගියේය. අවසානයේ සජිත් ප්‍රේමදාස හා එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජනාධිපතිවරයා හමුවී ඉල්ලා සිටියේ සජබයේ අයට ඇමතිකම් නොදෙන ලෙසට ය.නමුත් අවශ්‍ය අවස්ථාවේදී තමන් ආණ්ඩුවට සහාය දෙන බවට ඔවුහු ජනාධිපතිවරයාට පවසා සිටියහ.
මේ අතර කාලයේ ඇතිවූ වෙනස්කම් සමඟ සර්ව පාක්ෂික ආණ්ඩු කතාව දිය වෙමින් යන්නට පටන් ගත්තේය.ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුළ දී ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලීම් කරන්නට වූයේ ඔවුන්ගේ කණ්ඩායමට ඇමතිධූර ලබා දෙන ලෙසට ය.නමුත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කළ ඇමතිධූර ඉල්ලීම ජනාධිපතිවරයා ප්රතික්ෂේ කළේය.නමුත් පොදු ජන පෙරමුණ පුනාම කියන්නට වූයේ තවමත් ජන වරම ඇත්තේ පොදු පෙරමුණට බව ය පසුව රාජ්‍ය ඇමතිධූර 37 ක් පත් කිරීමට එකඟ වූයේ මේ පසුබිම තුළ ය. රාජ්‍ය ඇමතිධූර පත් කිරීමෙන් පසු දේශපාලඥනයන් විසින්ම ප්‍රකාශ නිකුත් කරන්නට වූයේ නැවත ඇමති ධූර සංඛ්‍යාවත් ඉහළ දැමීමට යන බව කියමිනි.
ඒත්, සමඟ ජනමාධ්‍යය ද ප්‍රකාශ කළේ මේ සතියේ දී තවත් කැබිනට් ඇමතිධූර 5 ත් 10 ත් අතර සංඛ්‍යාවක් අලුතින් පත් කිරීමට නියමිත බව කි.එය පත් කරාවිද? නැතිද? යන්න කියන්නට ඉස්සර නොවුණ ද යහපත් රටක් හැදීම වෙනුවෙන් ජනාධිපතිවරයා කළ ඉල්ලීම විපක්ෂය ප්‍රතික්ෂේප කිරීම අනුමත කළ නොහැකිය. මන්ද? වත්මන් ඇමති මණ්ඩලය හා රාජ්‍ය ඇමතිවරුන් පත් වූයේ විපක්ෂයේ බල ලෝභී ක්‍රියාපිළිවෙත නිසා බැවිනි. සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු නොවී කල් මැරීම හේතුවෙන් ජනාධිපතිවරයාට සිදුවූයේ තම අභිමතයට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන ආකාරයට කටයුතු කිරීමට ය.විපක්ෂයේ පක්ෂ ද බලය බෙදා ගැනීමට එකතු වූයේ නම් ඔවුන් විවේචනය කරන රාජ්‍ය ඇමතිධූර පත් වන්නේ නැත.
එසේනම් පත් වන්නේ ස.ජ.බ යේ හා පොහොට්ටුවේ තොරා ගත් වැදගත් මන්ත්‍රීවරුන් එකතු වූ ඇමති මණ්ඩලයකි. ඔවුන් ආණ්ඩුව හා එකතු නොවීම නිසා ජනාධිපතිවරයාට සිදුවනුයේ සිටින පිරිසෙන් මෙන්ම පොදුජන පෙරමුණෙන් දැනුම් දෙන පිරිසට ඇමතිකම් දීමට මිස සැබැවින්ම තමන්ට හිතැති ලෙස ඇමතිකම් දීමට නොවේ.එමෙන්ම දැනට සිටින ජ්‍යේෂ්ඨතම දේශපාලනඥයකු වන ජනාධිපති වරයා මෙවැනි කලවම් ඇමති මණ්ඩලයක බහුතරය සමඟ කඹ ඇදීමෙන් ඇති වන විඩාව ගැන නොදන්නවා නොවේ. රියැදුරුට රථයේ සුක්කානම බාර දී ගියර් දැමීමට වෙනත් පුද්ගලයන් ඉදිරිපත් වීමෙන් ගමනට වන අවාසිය අන් කාටත් වඩා හොඳින් ජනපති දනී.
නමුදු ජනාධිපතිවරයා රජය ස්ථාවර ලෙස පවත්වා ගෙන යා යුතු ය. එසේ නොවුණහොත් ඔහුට රාජ්‍ය පාලනය කළ නොහැකි වනු ඇත. මන්ද පාර්ලිමේන්තුවට කිසිදු මුදල් පනතක් හෝ වෙනත් පනතක් ඉදිරිපත් කොට සම්මත කරගත නොහැකි වන නිසාවෙනි. එසේ නම් රාජ්‍ය අස්ථාවර වී නැවත අර්බුද ඇතිවනු වැළැක්විය නොහැකිය. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයාට අවුරුදු දෙකහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට යා නොහැකි බැවිනි.
මෙයින් පැහැදිලි වන්නේ විපක්ෂයේ අවශ්‍යතාවය සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු නොවී රට අස්ථාවර කොට බලය ඩැහැ ගැනීම බව ය. ඔවුන් බලය බෙදා ගැනීමට එකතු නොවී “අරක වැඩියි මේක වැඩියි ජනතා ද්‍රෝහි ආණ්ඩුවක් කියමින්” ගැලරියට කතා කරන්නේ එබැවිනි. බලලෝභී කණ්ඩායම් හමුවේ ජනාධිපතිවරයාට ඇමතිධූර දීමට සිදුව ඇත්තේ ජනතාව පාර්ලිමේන්තුවට පත් කර සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගෙනි.මෙය “ඉන්නා හරකුන්ගෙන්ම හා ගත යුතුය” යන ගැමි වහර සිහි ගන්වන්නකි.
එසේ නොමැතිව ඔහුට පිටත සිටින අයට ඇමතිකම් දිය නොහැකි ය. විපක්ෂය මේ කරන්නේ ජනාධිපතිවරයා අප්‍රසාදයට ලක් කොට ඔහුව පන්නා දමා තමන් එම පුටුවේ වාඩිවීමට අවස්ථාව උදාකර ගැනීමේ වැඩපිළිවෙල බව පැහැදිලි ය. විපක්ෂය අමතක කරනා පාඩම වන්නේ පොහොට්ටු මන්ත්‍රීවරුන් පත් වූයේ 69 ලක්ෂයක ජනවරමින් බව ය. මේ ජනවරම දීයවී ගොස් ඇති බවට පූර්ව විශ්වාසයක විපක්ෂය සිටියත් මේ ලියුම් කරුගේ විශ්වාසය එය එසේ නොවන බවටය.
ජනවරම තක්සේරු කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණකි. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණයකට යා හැක්කේ ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුවය.එතෙක් ජනපතිට වවුලාගේ ඇට් හෝම් ගෙදර ගිය එකාට අත් වන ඉරණමට මුහුණ දීමට සිදු වනු ඇත.
ලසන්ත වීරකුලසූරිය