ජනපතිට අගමැතිට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා රටම වැඩ වරයි

ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති දහසක පමණ ප්‍රමාණයක් ඒකාබද්ධව අද(28) පවත්වන දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රට තුළ බොහෝ කටයුතු අඩාල වී ඇතැයි පැවසෙයි.වැඩ වර්ජනයට ගුරු විදුහල්පති වෘත්තිය සමිති ද එක්ව සිටින බව, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන අතර ඒ හේතුවෙන් අද සමස්ත පාසල් අධ්‍යාපනයම බිඳ වැටී තිබේ.

මේ අතර අද සිදු කරන වැඩ වරජනය සඳහා දුම් රිය වෘත්තීය සමිති තිහක් පමණ එක් ව සිටින බැවින් දුම් රිය සේවය ද මුළුමනින්ම පාහේ ඇන හිට තිබේ.අවශ්‍ය කාර්ය මණ්ඩලය නොපැමිණීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ද, සියලු සේවා අද සිදු නොකෙරෙන බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසී ය.මේ අතර ගත වූ කාලය තුළ අග්‍රාමාත්‍ය වරයා සමඟ එහි ප්‍රධාන නිලයන් පෞද්ගලික සබඳතා පවා ගොඩ නඟා ගනිමින් කටයුතු කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද මෙම වැඩවර්ජනයට සහය පළ කරන අතර සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද දහවල් විරෝධතා ව්‍යාපාරවල නිරත වීමට තීරණය කර තිබේ.

මේ අතර අද ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු රැගෙන ඒමෙන් වළකින්නැයි සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමය ගොවින්ගෙන් ඉල්ලීමක් කරයි.

අද දිනයේ ද සාමාන්‍ය කාලසටහන් අනුව ලංගම බස් ධාවනයට සැලසුම් කර ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසන මුත් ලංගම සේවකයන් පවසන්නේ මෙය අසනීප නිවාඩු වාර්තා කිරීමක් නිසා කල් ඇතිව පාලන අධිකාරියට දැනුම් දීමට අවශ්‍ය නොවූ බවයි.අද දිනයේපෞද්ගලික බස් ධාවනය, හිමිකරුවන්ගේ අභිමතය පරිදි සිදු කිරීමට උපදෙස් දී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන අතර අද ලංගම සහ පෞද්ගලික බස් ධාවනය ද මුලුමනින්ම අඩාල වී තිබේ.

කාලීන පුවත්