ජනපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109යි

මෙවර ජනපතිවරණයේ දී අපේක්ෂකයෙකුට ජනපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.ඒ 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරමින්ය.සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.ඒ අනුව ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් රුපියල් 109කට නොවැඩි මුදලක් එක් අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැයකළ හැකි වන අතර වියදම් කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ අනූ අටදහස් පන්සිය අසූ හයක් වන බව සඳහන් කර තිබේ.එමෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලෙන් 60% හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ 79,151යි ශත 60ක මුදලක් සිය ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකිය.
ඊට අමතරව ඉතිරි 40% හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ දහ නමදහස් හාරසිය තිස් හතරයි ශත හතළිහක මුදලක් අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන්ස භාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ.මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු අතර එම වාර්තාව සැකසීමේ දී ප්‍රචාරක වියදම් සඳහා මුදල් ලැබුණු ආකාරය ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් විය යුතු බව පැවසේ.නියමිත දිනයට අදාළ වාර්තාව භාරනොදීම හෝ වාර්තාවල දෝෂ සහිත වීම නීතීවිරෝධී ක්‍රියාවක් වන වරදක් සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් පනතේ සඳහන් දණ්ඩනයට යටත් විය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව සිය ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කාලීන පුවත්