ඡන්දයක් කිට්ටුවෙද්දි හදන භූතයන් ගැන දැන් ජනතාව දන්නවා

අපි ඡන්දය පිළිබඳව මොන අර්ථකථන දුන්නත් අවසානයේ ඡන්ද දායකයා ඡන්ද පොළට යන්නෙ ඇයි? ඒක වැදගත්. ඒ මොකද ඡන්ද ව්‍යාපාරය නැති කාලේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ප්‍රසාදයෙන් කැමැත්තෙන් කතා කරන බොහෝ අය ඉන්නවා. හැබැයි ඒ ප්‍රසාදය, කැමැත්ත, ඒ ආකාරයටම ඡන්දයක් බවට පරිවර්තනය වෙන්නෙ නෑ.

ඒ නිසා බොහෝ අය ඡන්දෙන් පස්සෙ අපෙන් අහනවා “සහෝදරයා අපි ඔයිට වඩා බලාපොරොත්තු වුණා.” සමහර විට එයා ඡන්දෙ දීලත් නෑ . ඒ කියන්නෙ ඡන්දෙ නොදෙන කෙනාත් අපෙන් අහනවා අපි ඔයිට වඩා අපේක්‍ෂා කළා කියලා. හැබැයි, මම හිතන්නෙ නෑ වෙන කිසිම පක්ෂෙකට ඡන්දෙ දීල තව පක්ෂයකින් අහයි කියල අපි ඔයිට වඩා බලාපොරොත්තු වුණානෙ කියලා.

ඒ කියන්නෙ අපිට ඡන්දෙ නොදෙන කෙනා ගෙත් අපේ ජයග්‍රහණය පිළිබඳ පොඩි බලාපොරොත්තුවක් තිබෙනවා. ඒකනෙ ඉතින් කියන්නෙ. නමුත් ඇයි එයා ඡන්දෙ නොදෙන්නෙ.

ප්‍රධානම හේතුව තමයි අපිට ඡන්දෙ පිළිබඳ විවිධ දේශපාලන අර්ථකථන අපි හඳුන්වා දුන්නත් අවසානෙදි ඡන්දෙ කියල කියන්නෙ; ජනතාව ඡන්ද පොළට යන්නෙ; ආණ්ඩුවක් හදන්න. අපි ආණ්ඩුවක් හදන බව පේන්නෙ නැත්නම් අපි මැතිවරණ ව්‍යාපාර අතුළෙ අපේ ක්‍රියාමාර්ග ඇතුළෙ අපි ආණ්ඩුවක් හදන සංඥා, මේ සැරේ ජවිපෙට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියන මනෝභාවයක් ජනතාව තුළ ගොඩනැඟිලා නැත්නම් ඔවුන් කල්පනා කරනවා; අර පඳුරු දෙක දිහා බලලා, ඔවුන් ඉන්න ස්ථානය අනුව අඩු නපුර වැඩි නපුර තෝරන්න ඡන්ද පොළට යන්න. ඒනිසා ඇත්තටම අවසානෙදි වෙන දේ තමයි අපි ඡන්දෙට අදාල නැතිව යනවා. මොකද අපි ආණ්ඩුවක් හදන්නෙ නෑනෙ.

පුරවැසියෙක් ඡන්ද පොළට යන්නෙ ආණ්ඩුවක් හදන්න. දැන් ඡන්දෙ අවසන් වෙන කොට සාමාන්‍යයෙන් ඔබ දකිනවා; එදා පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට දාන්නෙ මොනවද? කවුද ආණ්ඩුව හදන්නෙ? ඡන්දෙ අවසානෙටම ඉලක්ක සහගත වෙනවා; ආණ්ඩුවක් පිහිටුවන්නේ කවුද කියලා. මොකද අපි ආණ්ඩුවක් පිහිටවන බව පේන්නෙ නැත්නම් අපි ඡන්දෙට අදාල නැතිව යනවා.

එකක් තමයි පහුගිය කාලෙ පුරාවට ඒ ගොල්ලො සමත් වුණා ප්‍රධාන බල කඳවුරු දෙකක් හැටියට පෙන්නන්න.ඒත් ඔය එකම කඳවුරක්. උදාහරණයක් හැටියට ගත්තොත් 1994 පහුගිය අවුරුදු තිහකට ආසන්න මැතිවරණ අපි සංසන්දනය කරලා බැලුවොත් 94 ප්‍රධාන වෙන්නෙ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පලවා හැරීම.

අවුරුදු 17ක සාපයෙන් 99 මැතිවරණයෙන් ප්‍රධාන වන්නෙ අවසානෙ චන්ද්‍රිකා ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප්‍රහාරය. 2005 දී ප්‍රධාන වන්නේ යුද්ධෙ. එතකොට රනිල් වික්‍රමසිංහ සාම ගිවිසුම වෙනුවෙන් පෙනී හිටිනවා. මහින්ද යුද්දෙ ගැන කිව්වෙ නැතත් අපි කිව්ව; ඒ වෙනුවෙන්. එතකොට ඒක ප්‍රධාන වෙනවා.

2010 දෙන්නම අපේක්‍ෂකයො වෙන්නෙ මොකක් නිසාද? යුද්දෙ ජයග්‍රහණය කරනකොට හිටපු ජනාධිපතිවරයා යුද්දෙ අවසන් කරනකොට හිටපු හමුදා පති වරයා. 2015 දී ප්‍රජාතන්ත්‍රවාදය .2019 දී ජාතික ආරක්‍ෂාව.

ඒත්, අද ජනතාව ආණ්ඩුව පලවා හරින්න ඕන කියල කල්පනා කරන්නෙ ඇයි? ආර්ථිකය. අද රට කඩා වැටෙනවා. රට පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා රටේ දුවා දරුවන්ට අනාගතයක් නෑ කියල සාකච්ඡාව ගොඩනැගෙන්නෙ මොකක් හින්දද? ආර්ථිකයත් එක්ක. හැබැයි ජනතාව පසුගිය දශක ගණනාවක් තිස්සෙ ආණ්ඩු මාරු කළේ ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද ප්‍රශ්න මත. ඒවා ඇත්ත ප්‍රශ්නත් නෙවේ. හදපු ප්‍රශ්න.

ඒගොල්ලන්ට ආර්ථික ප්‍රශ්නෙදි කඳවුරු දෙකක් වෙන්න බෑ. ආර්ථික ප්‍රශ්නෙදි මේ ආර්ථික අර්බුදයට හේතුවන නාස්තියෙ දි දෙපාර්ශවයම එකයි. මේ ආර්ථික ප්‍රශ්නෙට හේතුවන දූෂණය දෙපාර්ශවයම එකයි. මේ ආර්ථික අර්බුදයට හේතුවන ආකාර්යක්‍ෂමතාවය දෙපාර්ශවයටම එකයි.

මේ ආර්ථික අර්බුදයට හේතුවන ආර්ථික උපාය මාර්ගය දෙපාර්ශවයෙම එකයි. ඒනිසා දේශපාලනයෙ වැදගත්ම දේ ආර්ථිකයෙන් ඔවුන් සමාන වුණාට ඔවුන් විසින් නිර්මාණය කරන ලද කඳවුරු දෙකක් ඇති කරනවා. මං හිතනවා මෙවර ඇති වී තිබෙන විශේෂිතම දේ වන්නේ ඒකයි.

ලංකා ඉතිහාසයෙ දශක ගණනාවකට පස්සෙ ප්‍රමුඛ ප්‍රශ්න ආර්ථිකය බවට පත් වී තිබෙනවා. හැමදාම මා හිතනවා; දේශපාලනඥයන්ට පැවරෙන්නේ කුමක්ද? ආණ්ඩුවකට පැවරෙන්නේ ජනතාවගෙ ලෞකික ජීවිතය සැපවත් කිරීම. මේකයි දේශපාලන කාර්යභාරය.

වැදගත්ම දේ තමයි ආර්ථිකය. දැන් අපි ප්‍රශ්න කරමු. ඕගොල්ලො ආර්ථිකය හදන්නෙ කොහොමද? අපි ආර්ථිකය හදන්නෙ කොහොමද? ඒගොල්ලො ආර්ථිකයට කරපු විනාශය කුමක්ද? අපි ඒක බේරගන්නෙ කොහොමද? ඒ නිසා මං හිතනවා දැන් තමයි අපේ රටේ නිවැරදි දේශපාලන කඳවුරු බෙදීම ඇති කළ යුතු වන්නෙ.

ඒ කියන්නෙ දැන් මොකක් වුණත් දැන් කෙළවරක් වෙන්න ඕන. ඒ කියන්නෙ හැම විටම සමාජෙට මැතිවරණක් ආසන්නයේ ඔවුන් විසින් භූතයෙක් හදනවා.

හැබැයි ජනතාවටත් දශක ගණනාවක් ඒ භූතයා තමයි තමන්ගෙ ප්‍රධාන ප්‍රශ්නය. ඒ භූතයා පලවා හැරීම.ඒ තමයි ප්‍රමුඛ කාර්යය. ඒ භූතයා පලවා හැරීමකින් තොරව රටේ ආරක්‍ෂාවක් තහවුරු වෙන්නෙ නෑ.

ඔය වගේ සාධක ගොඩ නැගෙනවා. හැබැයි ජනතාවත් දැන් කල්පනා කරනවා, ඔවුන් අපිව රැවටීමට භාජනය කළ කියලා. ඒ නිසා මට දැන් සමහර හම්බවෙන අය කියනවා සහෝදරයා දැන් නම් හොඳයි ඕගොල්ලො ගැන කතා කරනවා ඕගොල්ලන්ට හොඳ ප්‍රසාදයක් තියෙනවා කියලා.

හැබැයි මේ ගොල්ලො අන්තිම වෙලාවෙ මොනව හරි කරයි ද දන්නෙ නෑ කියලා. ඒ සැකයක් තියෙන්නෙ මොකද? ඒ ගොල්ලො විසින් මොකක් හෝ ප්‍රශ්නයක් නිර්මාණය කරලා සමාජ ගත කරන්න පුළුවන් වේවි කියන සැකයක් තියෙනවා.

මම කියන්නෙ එහෙම අහන එකම තමයි දියුණුව. පුරවැසියා දැන් අවබෝධයෙන්ම ඉන්නවා.

එහෙම එකක් කරන්න පුළුවන් කියල අවබෝධයෙන් ඉඳීමෙන් එවැනි දේක තියෙන වලංගුතාවය නැතිවෙනවා.

අනුර කුමාර දිසානායක,නායක,ජනතා විමුක්ති පෙරමුණ,ජාතික ජන බලවේගය

එතෙර - මෙතෙර