ජනාධිපති කාර්යාලයේ වාහන 28ක් දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂණය කර නැති බවට විගණකාධිපති වාර්තාවක් උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තාකර තිබෙනු දුටුවෙමි. මීට හේතු ලෙස ජනාධිපති කාර්යාලය පෙන්වාදී ඇත්තේ රුපියල් කෝටි දෙකක් පමණ වන රක්ෂණ වාරිකයක් ගෙවීමට සිදුවන නිසා මේ කාර්ය ඉටු නොකළ බව ය. පවතින නීතියට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන්නේ නම් ඊට අදාල ප්‍රතිපත්තියක් සම්පාදනය කර ගත යුතු බව විගණකාධිපතිවරයා විසින් තම වාර්තාවෙන් පෙන්වාදී ඇති බව ද ලංකාදීප පුවතේ සඳහන් ය..
මේ පුවත මගින් වර්තමාන,රාජ්‍ය පාලන යන්ත්රනයේ බිඳවැටීම මැනවින් නිරූපණය වන බව මගේ නිරීක්ෂණයයි.වාහන ලියාපදිංචියේ සිට මහා මාර්ගයේ ධාවනය දක්වා වන කටයුතු නියාමනයට අදාලව රටේ පවතින නීතිය වනුයේ මෝටර් රථ වාහන පණතයි. මහා මාර්ගයේ ධාවනය කරන මෝටර් රථ තුන්වන පාර්ශවයේ අලාභ සඳහා ආවරණයක් සහිත රක්ෂණ සහතිකයක්වත් ලබාගෙන තිබිය යුතු බවට මෝටර් වාහන පණතේ 99(1) සඳහන් වේ.මේ නිසාම රථවාහන පොලිස් නිලධාරීහු ධාවනය කරන වාහනයක් පරීක්ෂා කිරීමේදී අනිවාර්යෙන්ම රක්ෂණ,සහතිකය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිති.මේ බොහෝ දෙනා දන්නා නීතිමය තත්වයයි. බොහෝ දෙනෙකු නොදන්නවා වුවද රක්ෂණ ආවරණයක් නොමැතිව ධාවනය කළ හැකි රථවාහන වර්ග දෙකක් ද මේ රටේ ඇතිබව මෝටර් රථ වාහන පණතේ දැක්වේ.ඒ වාහන වර්ග දෙක වනුයේ රජයට අයත් රථවාහන හා පලාත් පාලන ආයතන වලට අයත් රථ වාහන ය.මේ රථ වාහන වර්ග දෙක රාජ්‍ය සේවාවේ හෝ අදාල පලාත් පාලන ආයතනයේ සේවාව සඳහා ධාවනය කෙරෙන විට රක්ෂණ ආවරණය පිළිබඳ නිතිමය අවශ්‍යතාවයෙන් නිදහස් බව මෝටර් වාහන පණතේ 99(2)වගන්තියේ දක්වා ඇත.
එසේනම් විශාල මුදලක් වැය කරමින් රජයේ වාහන සඳහා රක්ෂණ ආවරණ ගන්නේ ඇයිදැයි කෙනෙකුට විමසිය හැකි වේ.අප රාජ්‍ය සේවාවේ ගත කළ මුල අවධිය වන විට (1985–1990වකවානුව) රජයේ වාහන සඳහා රක්ෂණ ආවරණ ගැනීමේ පුරුද්දක් නොතිබුණි.රජයේ වාහන එකල ධාවනය වූයේ රජයේ කාර්යයන් සඳහා පමණක් නිසා එලෙස රක්ෂන ආවරණ ගැනීමේඅවශ්යතාවයක් නොවිණි.පසුකාලීනව රජයේ නිල වාහන වෙන්කර ඇති නිලධාරීන්ට එම නිල වාහනය සිය පෞද්ගලික පරිහරනය සඳහා ද අවසර ලබාදීමත් සමඟ පෞද්ගලික කාර්යයන් සඳහාද රජයේ වාහන යොදා ගැනීම ඇරඹුණි.මෙහිදී නීතිමය ආවරණය තිබුණේ රජයේ කාර්යයකට ධාවනය වන වාහන වලට පමණක් බැවින් පුද්ගලික කාර්යයන්ට භාවිතා කරන රජයේ වාහනවලට රක්ෂණ ආවරණ ගැනීමේ අවශ්‍යතාව ඇරඹුණි..මෙයින් ඇරඹුණු රජයේ වාහන,රක්ෂණය වාහන අනතුරුවලදී අලාභයන් රජය මගින් දැරීම,වැලැක්වීමේ පියවරක් ලෙස සියලුම,රජයේ වාහන සඳහා රක්ෂණ ආවරණ ගැනීම දක්වා ව්‍යාප්ත විය. නීතිමය තත්වය අනුව නම් අදටත් රජයේ වාහන සඳහා රක්ෂණ,ආවරණ ගත යුතු නොවේ.නමුත් රක්ෂණ ආවරණ නැති රජයේ වාහනයක් රාජකාරි කටයුතු සඳහා පමණක් ධාවනය වීම අනිවාර්ය වේ..
එම ලංකාදිප පුවතින් හෙළිවන්නේ මේ නීතිමය තත්වය ජනාධිපති කාර්යාලය පවා නොදන්නා බවකි. දන්නවා නම් සල්ලි වැඩිපුර වැයවන නිසා රක්ෂණය නොකළායැයි කියන්නේ නැත.මේ නීතිමය තත්වය විගණකාධිපති වරයා ද නොදන්නා බව මේ විගණන වාර්තාවෙන්ම පැහැදිලි වේ.එසේ දන්නවා නම් පවතින නීතිමය තත්වයට අනුකූලව කටයුතු නොකළේ යැයි ජනාධිපති කාර්යාලයට චෝදනාවක ස්වරූපයෙන් සිය වාර්තාව ලියන්නේ නැත.මෙයින් පෙනෙන්නේ රාජ්‍ය සේවාවේ ඉන්නා අයවත් රාජ්‍ය කටයුතු විගණනය කරන අයවත් පවතුණු නනීතිමය තත්වයන් ගැන කිසිම අවබෝධයක් නැතුව ඔහේ කරන්නන් වාලේ කටයුතු කරන පිරිසක් බව ය.රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලිය පිළිබඳව කටයුතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කරන විගණකාධිපතිවරයා තමන්ගේ කාර්ය මණ්ඩල සඳහා හොඳ පුහුණුවක් ලබාදිය යුත්තේ මේ නිසා ය. නැත්නම් විගණකාධිපති වාර්තාවල විශ්වසනීයත්වයට බලපෑම් ඇති විය හැකිය.
සුනිල් කන්නන්ගර විශ්‍රාමික ශ්‍රී ලංකා පරිපාලන සේවය