ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේ ගේ අවමගුලට ජනතාව විරෝධය දක්වන්නේ ඇයි?

sinso

ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේගේ රාජ්‍ය අවමගුල් උත්සවය පැවැත්වෙන්නේ අද (27) ය. ඒ ඔහුගේ ඝාතනය සිදු වී මාස දෙකහමාරකටත් පසුව යි. සාහසිකයකුගේ වෙඩි පහරින් ඔහු මිය ගියේ ජුලි 8 වැනි දින යි.

දෙස් විදෙස් නායකයන් විශාල සංඛ්‍යාවක් අබේ ගේ අවමගුල් උත්සවයට සහභාගි වීමට නියමිතව තිබිණි. ඇමරිකාවේ උප ජනාධිපතිනි කමලා හැරිස්, හිටපු ජනාධිපති බැරක් ඔබාමා, ඉන්දියානු අගමැති නරේන්‍ද්‍ර මෝදි, ඕස්ටේ්‍රලියාවේ අගමැති ඇන්තනී අල්බෙනීස්, සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූංග් වැනි නායකයන් ද ඒ අතර විය.

කෙසේ හෝ වේවා, මෙම අවමගුල් උත්සවය සම්බන්ධයෙන් වඩාත් අවධානයට ලක් වූයේ ඊට එරෙහිව පැන නැගුණු විශාල ජනතා විරෝධය යි. මෙම විරෝධයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ මෙම උත්සවය සඳහා වැය කරන අති විශාල ධනස්කන්ධයයි. මෙවැනි රාජ්‍ය අවමගුල් උත්සව සඳහා වැය කරන්නේ රජයේ මුදල් හෙවත් ජනතා මුදල් ය. පසුගිය දා පැවැති මහ රැජිනගේ රාජ්‍ය අවමගුලට වැය කළ මුදලටත් වඩා වැඩි මුදලක් මෙයට වැය කරන බව ජපාන මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔවුන් පවසා තිබුණේ ජපාන යෙන් බිලියන 1.7 ක් පමණ මෙයට වියදම් කරන බවයි. සමහර විට එය ඊටත් වඩා වැඩි විය හැකි බවට ද ඇතැමුන් අදහස් දක්වා තිබිණි. පසුගිය වසරේ පැවැති ටෝකියෝ ඔලිම්පික් උළෙලට ඇමරිකානු ඩොලර් බිලියන 13 ක් වැය කර තිබූ අතර එය මුලින් ඇස්තමේන්තු කළ මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි වූ බව පැවසේ. මහ රැජිනගේ අවමගුල් උත්සවයට වියදම් කර තිබුණේ ස්ටර්ලිං පවුම් මිලියන 8 ක් පමණ බව බ්‍රිතාන්‍යයේ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එය ජපාන මුදලින් යෙන් බිලියන 1.3 කි.

ෂින්සො අබේගේ අවමගුලට මේ තරම් මුදලක් වැය වන්නේ මෙවැනි කටයුතු සංවිධානය කරන සමාගම් විශාල ලාභයක් තබා ගන්නා නිසා ද යන පැනය ද ඇතැමුන් මතු කර තිබිණි.

කෙසේ හෝ වේවා, සමහර දේශපාලන කණ්ඩායම් මෙන්ම ජනතාව ද මෙම අධික වියදමට එරෙහිව දැඩි ලෙස විරෝධය දැක්වීමට පටන් ගත්හ. එක් පුද්ගලයකු සිරුරට ගිනි තබා ගැනීමේ සිද්ධියක් පවා වාර්තා විය. දහස් ගණනක් විරෝධතාකරුවන් ටෝකියෝ හි වීදිවල පෙලපාලි ගොස් තිබුණේ අවමගුල් උත්සවය අවලංගු කරන ලෙස බල කරමිනි. සමහරුන් අධිකරණය හමුවට පවා ගොස් තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ලෝකයේ බොහෝ රටවල් මෙන්ම මේ වනවිට ජපානය ද ආර්ථික ගැටලු ගණනාවකට මුහුණ දී සිටියි. විශේෂයෙන් කොවිඩ් වසංගතය නිසාත්, යුක්රේන යුද්ධයේ බලපෑම නිසාත් ගැටලු රැසක් පැන නැගී තිබේ. ඒ අතර එරට උද්ධමනය ඉහළ යමින් ඇති අතර මෙතරම් ඉහළ යාමක් වාර්තා වන්නේ දශක ගණනාවකට පසුව බව සඳහන් ය. ජීවන වියදම වැඩි වීමෙන් ජනතාව අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටියි. ෂින්සො අබේ ගේ අවමගුල වෙනුවෙන් අර තරම් මුදලක් වැය කරන්නේ මෙවැනි තත්ත්වයක් තිබියදී ය. ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටින ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් මෙම මුදල් යොදා ගැනීමට තිබුණු බව බොහෝ දෙනා පෙන්වා දෙති.

අබේට රාජ්‍ය අවමගුල් උත්සවයක් ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළ වන්නේ ඒ සඳහා වැය කරන මුදල නිසා පමණක්ම නොවේ. ඔහුගේ ඇතැම් ප්‍රතිපත්ති සහ එක්තරා ආගමික සංවිධානයක් සමග පැවැත්වූ බව කියන සබඳතා ද ඊට හේතු වී තිබේ. ඔහු ඝාතනය කෙරුණේද ඉහත කී ආගමික සංවිධානය සමග පැවැත්වූ බව පැවසුණු සම්බන්ධය නිසා ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර