පසුගිය කාලයේ අප රටේ බහුතරයක් රටේ හෙට දවස පිළිබඳව අසා දැන ගත්තේ ජ්‍යොතීර්වේදීන් නමින් ජන මාධ්‍ය කරලියේ “මොනර නැටුම්” පෑ පුද්ගලයන් කිහිප දෙනකු ගෙනි.2020 වසර ආරම්භයත් සමඟ ඒ සැම දෙනකුම දැක් වූ පොදු ජ්‍යොතීර්වේදී මතයක් විය.එනම් එම වසර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අතිශය සෞභාග්‍යමත් වසරක් වන බව ය.එහෙත්,කිසිවකුත් නොසිතූ ලෙස ඒ වසරේ මුල් භාගයේ දීම අති බිහිසුණු කොවිඩ් වසංගතය අප රට පුරා පැතිර යන ලද්දේ ඒ ජ්‍යොතීර්වේදීන්ගේ “හැඳිවත්” ද උනා දමමිනි.
ඉන්පසු අප රටේ හෙට දවස සම්බන්ධයෙන් ජ්‍යොතීර්වේදී අනාවැකි ඇසීම මුළුමනින් නතර කළ ශ්‍රී ලංකාවාසීන් මේ වන විට අවිනිශ්චිත අගාගතයකට දෙනෙත් විවර කර ගත් ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කරමින් සිටිති. ඒ මොණර නැටුම් පෑ ජ්‍යොතීර්වේදීන් සේම අප කිසිවකුත් එදා සිහිනයකින් වත් නොසිතූ ලෙස අද බැලූ බැලූ අත තෙල් පෝලිම් ය. අනෙක් පසින් ගෑස් පෝලිම් ය. බඩු මිල අහස උසට ගොස් තිබේ. ජීවත්වීම ඉතාම අපහසු කටයුත්තක් වී ඇත්තේ බහුතරයක් නාගරික ජන කොට්ඨාශවලට ය. නාගරික ජනතාව එසේ පීඩාවට පත් වන්නට හේතුව ජනාධිපතිවරයා ඇතුළු හිටපු ඇමති මණ්ඩලය ගත් තීන්දු තීරණයන් බව අතිශය පැහැදිලි ය.
වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ කියන්නේ ශ්‍රී ලාංකිකයන් ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයකට පැමිණ සිටින බව ය.නමුත් ඒ රටේ පවත්නා වර්තමාන පසුබිම අනුව මිස ජ්යොතීර්වේදයෙන් නොවේ. ඉදිරි සති තුනෙන් පසු මෙය ක්‍රමානුකූලව මඟ හැරී යනු ඇතැයි ඔහුගේ ඇස්තමේන්තුවය. සති තුනක් යනු දින 21 කි. ඉදිරි දින 21 පසු කරන්නේ කෙසේද? දරුවන්ට කන්න දෙන්නේ කෙසේද? වැඩිහිටියන්ට ඖෂධ දෙන්නේ කෙසේද? යන ගැටළුව ඉතා සංකීර්ණය.
ඉන්ධන නෞකා 4 ක් මේ වන විට ලංකාවේ මුහුදු සීමාවේ ගාල් කොට ඇත්තේ මුදල් ගෙවන තුරු ය. ඔවුන් සතියක් තිස්සේ මුහුදේ නවතාගෙන සිටීම වෙනුවෙන් ඉන්ධනවලට ගෙවන ගාස්තුවට අමතරව ප්‍රමාද ගාස්තු ද ගෙවීමට සිදුවේ.
සතියකට පසුව ගෑස් නෞකාවක් නිදහස් කර ගත්තේ මුදල් ගෙවීමෙන් පසුව ය. ඊයේ(14) සිට එම ගෑස් ගොඩබාමින් සිටියි. හෙට සිට එම ගෑස් තොග බෙදා හරිනු ඇත.එම ගෑස් බෙදා හැරීමේ දී රෝහල් හෝටල් සහ ආදාහනාගාර වලට මුල් තැනක් දෙන බව ලිට්රෝ සමාගම කියයි.ඒ අනුව ප්‍රමුඛතා පදනමින් එම ගෑස් පරිභෝජනයට නම් ලෙඩ විය යුතුය.නැතිනම් හෝටල් වලි කෑම සඳහා අතමිට මුදල් තිබිය යුතුය.එසේ නැත්නම් ආදාහනය වීම පිණිස මිය යා යුතුය.
ලංකාව පසුකරමින් සිටින්නේ මෑත ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයේ ය. ජුලි මස මැද භාගය වනතුරු මෙම අර්බුදය ගමන් කරනු ඇත.මහ බැංකුව සතුව මේ වන විට ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 1800 ක පමණ විදේශ සංචිතයකි. එයින් වැය කළ හැක්කේ ඩොලර් මිලියන 300 ක් පමණකි. ඒ මන්ද ඉතිරිය ණය පහසුකමකි. එය මුදල් ලෙස මහ බැංකුව සතුව නැත.ඉන්ධන වෙනුවෙන් ඉන්දීය ණය පහසුකම ලැබුණු මුදල් වලින් ගන්නා අවසාන තෙල් නැව හෙට (16) පැමිණෙන ඉන්ධන නෞකාවෙන් අවසන් වේ. ඇමරිකන් ඩොලර් මිලියන 500 ක තවත් ණය පහසුකමක් ඉන්දියාවෙන් ඉල්ලා තිබුණ ද එම සාකච්ඡා දින නියමයක් නොමැතිව කල් ගියේ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී පර්ඩිනැන්ඩු කෝප් කමිටුව හමුවේ කළ කතාවත් සමඟය.
ඔහු කෝප් කමිටුව හමුවේ කියා සිටියේ මෙරට පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි සමාගමට දෙන ලෙසට මෝදි අගමැතිවරයා තමන්ට බලපෑම් කරන බව ජනාධිපතිවරයා තමන්ට කී බවකි.පසුව ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළ අතර විදුලිබල සභාපතිවරයා එය ආතතිය නිසා කියූ බව පවසමින් එම ප්‍රකාශය ඉල්ලා අස් කරගෙන තිබේ.නමුත් ඉන්දියානු පාර්ලිමේන්තුව උණුසුම් කිරීමට එම ප්‍රකාශය බලපා තිබේ.විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී පර්ඩිනැන්ඩු පසුව තම ප්‍රකාශය “ආතතියක්” පිට දමා ප්‍රතික්ෂේප කළ ද ඔහු 2021 වසරේ නොවැම්බර් 25 වන දා එවක මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගලට යොමු කළ ලිපියක් මඟින් ද පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි සමාගමට දෙන ලෙසට ජනපති බලපෑම් කළ බව ලිඛිතවම දන්වා තිබේ.
ඒ අනුව බොරු වනුයේ ඔහුගේ ආතති කතාව මිස ඔහු කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය නොවේ .මේ අර්බුදය හමුවේ ඉන්ධන වෙනුවෙන් තවත් මිලියන 500 ක් ලබාදීමට අදාළව ඉකුත් 12 දා පැවැත්වීමට තිබූ සාකච්ඡාව දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දියානු බලධාරීන් කටයුතු කළේය. එම නිසා ඉන්දියානු තෙල් ලැබීමට ද අවිනිශ්චිත ය.මේ සියළු තත්වයන් හමුවේ රටේ මධ්‍යම පාන්තිකයන්ට වුව කීමට ඇත්තේ අරපිරිමැස්ම උපරිම ලෙස භාවිතා කරමින් කෙටි කාලීන දුෂ්කර”දුර්ග තරණයකට” සූදානම් ව”පටි තද කර ගන්නා” ලෙසය.
ලසන්ත වීරකුලසූරිය