ජාතික ආරක්ෂාව තහවුරු නම් සංචරණ සීමා බිඳ වැටෙන්නේ කොහොමද?

කොවිඩ් වසංගතය හමුවේ රට විවෘත කරනු ලැබූවේ ඔක්තෝම්බර් පළමුවැනිදා සිට ය. නමුත් පළාත් අතර සංචරණ සීමා ඉවත් කෙරුණේ නැත. ඒ රට විවෘත කළ ද රෝග ව්‍යාප්තිය තවදුරටත් පාලනය කරනු පිණිස ය.

ඔක්තෝම්බර් 15 දා වනතුරු පනවා තිබුණු සංචරණ සීමා ඔක්තෝම්බර් මස 21 දා දක්වා දීර්ඝ කිරීමට පසුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තීන්දු කළේ ය. මේ වන විට එය ඔක්තෝම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ.

පළාත් සංචරණ සීමා පනවා තිබුණ ද රාජකාරී සදහා පළාතකින් පළාතකට යාමට බාධාවක් පැවැතියේ නැත. එම නිසා පළාත් අතර පොදු ප්‍රවාහන සීමා ක්‍රියාත්මක නොවුණ ද පෞද්ගලික වාහන ධාවනය විය.

පොලිස් මුරපොලවල් පළාත් සිමාවන්හි පැවැතිය ද ඉඳ හිට හැර වාහන පරික්ෂා කෙරුණේ නැත. සමහර ස්ථානයන්හි මුර කපොලු පැවැතිය ද පොලිසියේ හෝ හමුදාවේ නිලධාරීන් සිටියේ නැත.

මෙම සතියේ දීර්ඝ නිවාඩුවක් පැවැති බැවින් සෞඛ්‍ය අංශ 21 දා දක්වා සංචරණ සිමා දීර්ඝ කළ ද ආරක්ෂක අංශ ඒ ගැන උනන්දු වූවේ නැත. දීර්ඝ නිවාඩුවේ දී ජනතාව නිවාඩු ගත කිරීම වෙනුවෙන් විනෝද චාරිකා සංවිධානය කර ගත්හ.

දීර්ඝ නිවාඩුවේ සංචාරයන් සදහා හෝටල් හිමියන් ද ජනතාව උනන්දු කරවන දැන්වීම් සමාජ මාධ්‍යවල පළ කර තිබුණි.

හෝටල්වල වට්ටම් පවා දෙන බවට දැන්වීම් පළ විය. මේ නිසා සංචාරකයන් කලින්ම තමන්ගේ ගමනාන්ත වෙන් කරගෙන ඒ වෙනුවෙන් හෝටල් ද වෙන් කරවාගෙන තිබුණි.

සංචාරකයන් සිය ගමන් ආරම්භ කරන්නට වූයේ ඉකුත් සෙනසුරාදා සිට ය. එනම් ඔක්තෝම්බර් 16 වන දා සිට ය. සෞඛ්‍ය අංශවල මෙන්ම ආරක්ෂක අංශවල ඇස් හැරුණේ එවිට ය.

කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වූයේ ඒ අතරවාරයේ ය. වහාම පළාත් අතර සංචරණ සීමා දැඩි කරන ලෙස නියෝග නිකුත් වුණේ එහිදී ය. ඒ වන විට සංචාරයන් වෙනුවෙන් දේශීය සංචාරකයන් කොළඹ ඇතුළු තම තමන්ගේ වාසභූමිවලින් පිටත්ව ගොස් හමාර ය. ආණ්ඩුව හැමදාම ඉස්තාලය වසා දැමුවේ අශ්වයා පැන ගිය පසුව ය.

පසුගිය සිංහල අවුරුදු නිවාඩුව ඉහළින්ම සමරන්නට ආණ්ඩුව ජනතාවට අවසර දුන්නේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ එවක කාගේත් මුවින් මුව රැඳුණු “සුබ අලුත් අවුරුද්දක් වේවා” පැතුම නිකම්ම නිකම් පුහු වදනක් වී කොවිඩ් සිංහල අවුරුදු රැල්ලක් ඇතිවීම ය. අලුත් අවුරුදු රැල්ල කොතරම් පැතිරුණේ ද කියතොත් දෛනික මරණ සංඛ්‍යාව 200 ඉක්මවා ගියේය. මේ වන විට ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13500 ඉක්මවා ගොසිනි.අසාදිතයන් වාර්තාවීම ද ලක්ෂ 5 ආසන්න ය.

පසුව දින 40 ටත් වඩා වැඩි කාලයක් රට වසා තැබුවේය. ආණ්ඩුවට මෙන්ම ජනතාවට ද ඒ ගැන වගේ වගක් නැත. දැනට ද අහඹු පරික්ෂාවන්ගෙන් රෝගීන් හමුවීමේ ප්‍රවණතාවයක් පවතියි.

පළාත් සංචරණ සීමා පනවා තිබුණ ද එය නාම මාත්‍රික විය. නුවරඑළිය, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කතරගම වැනි ප්‍රදේශ ජනතාවගෙන් පිරී ගියේ.ඉදිරියේ පැවැත්වෙන කඨින පින්කම් සඳහා රජය පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඊයේ වප් පොහොය දා අප රටේ බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිතව මුලුමනින් බිඳ වැටුණි.

මේ වන විට මුව ආවරණ පැළඳ ගෙන මෙන්ම නොපැළඳ සිටින්නෝ බොහෝ ය. සෞඛ්‍ය අංශ අනතුරු හඟවන්නේ ඉදිරි සති දෙක තීරණාත්මක බව ය. එනම් මෙලෙස ගමන් බිමන් ගිය පුද්ගලයන්ගෙන් හෝ ඔවුනට රෝගය වැළදී තිබුණ හොත් නැවත කොවිඩ් රැල්ලක් මතුවිය හැකි බව ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මේ අනතුරු හැගවීම කර තිබුණි.

රටේ ජාතික ආරක්ෂාව පිළිබද වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලයට ය. සෞඛ්‍ය ආරක්ෂාව ද ජාතික ආරක්ෂාවේම කොටසකි. පළාත් සංචරණ සීමා නිසි ලෙස ක්‍රියාත්මක වුවා නම් මෙතරම් පිරිසකට පළාත් සංචරණ සිමා උල්ලංඝනය කරන්නට හැකියාවක් මතු වන්නේ නැත. එක රටක් එක නීතියක් කියා බලයට පැමිණිය ද එක නීතියක් තබා තිබෙන නීතිය ද තම තම නැණ පමණින් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ.

කන්න නැතත් ඉන්න රටක් අවශ්‍ය බව කියමින් පත් කර ගත් ආණ්ඩුව තුළ ජීවත්වීමට අරගල කිරීමට සිදුවීම දෛවෝපගත ය. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නට රජයට වගකීමක් ඇත.

එසේනම් දහස් ගණනක් ජනතාව පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෙනත් ප්‍රදේශවලට ගොස් විනෝද වන්නේ කෙසේද? හෝටල් හිමියන් ප්‍රචාරණ කටයුතු කරද්දී ජාතික ආරක්ෂක සේවාවන්ට එය දැනගන්නට ලැබුණේ නැතිද? රජයේ යම් යම් දේශපාලකයන් ද සංචාරයේ ගොස් ඇති බවට වාර්තා පළවී තිබුණි.

ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය මෙහි වරදත් දැන් ජනතාව පිට පටවමින් සිටිති.ඒ පළාත් සංචරණ සිමා පනවා තිබිය දී ඒවා උල්ලංඝනය කරමින් සංචාරයේ ගොස් නැවත කොවිඩ් රැල්ලක් වර්ධනය වුවහොත් එහි වගකීම ජනතාව දැරිය යුතු බව කියමිනි. හොඳක් වුවහොත් හොඳටම කළේ “මම”ය. නරකක් වුවහොත් ජනතාවගේ නොසැලකිල්ල මත එය වී තිබේ.

එවන් ආණ්ඩුවක් යටතේ කොවිඩ් මර්දනයක් ගැන යහපත් බලාපොරොත්තු තබා ගත නොහැකි ය. ජනතාව ද හැසිරෙන්නේ ආණ්ඩුව හැසිරෙන ආකාරයටය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිනවාදැයි සොයා බැලීමට කෙනෙක් නැත. මුව ආවරණ නොපළඳින පිරිස් සොයන්නට වැඩපිළිවෙලක් නැත. මුව ආවරණ නොපළඳින හෝ නිසි ලෙස මුව ආවරණ නොපළදින අයට එරෙහි වන්නට ජනතාව ද උත්සාහ කරන්නේ ද නැත.

මුව ආවරණ නොපැළද ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදි කරුවෙකුට මුව ආවරණ පැළඳ එනතුරු ඉන්ධන නොදෙන බව කී පොම්පකරු උස්සා පොළොවේ ගැසුවේය.

මෙවැනි දේ නිසා ජනතාව තම තමන්ගේ කටයුතු කරගනිමින් සිටිනවා විනා වෙනත් දේ ගැන සොයා නොබලති. නමුත් නිසි ලෙස මුව ආවරණ නොපළඳින අයට එරෙහි වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පුන පුනා කියති. ජනතාව එය පිළි නොගනිති.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා හමුදාපතිවරයාය. නමුත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ජනතාව සති අන්ත නිවාඩුව යෙහෙන් සැමරුවේය. එහි ප්‍රතිඵල සියළු ජනතාවට භුක්ති විදිමට සිදුවන්නේ ඉදිරියේදී ය. ජාතික ආරක්ෂාව කට කයිවාරුවට සීමාවී ඇත.

හොඳ වුණොත් මම නරකක් වුණොත් ජනතාව යන තියරිය ඉදිරියට ද ක්‍රියාත්මක වනු ඇත.එමෙන්ම මෙම කරුණු එළි පිට කතා කිරීම ද ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණ බව රජය මඟින් කියා සිටීම නිසා මේවා කතා කරන කටවල් සෑහෙන ගණනක් අද වන විට වැසී තිබේ.

ලසන්ත වීරකුලසූරිය

 

එතෙර - මෙතෙර