ජාතික ජන බලවේගය යන ගමන් මඟ ඉදිරියේ කොල එළියක් දල්වමුද?

ජාතික ජන බලවේගය ඊයේ(23) විරෝධතාවක් දියත් කොට තිබුණේ “ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන්න තේමා කරගනිමිනි. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය අසල දී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් එම විරෝධතා රැලිය පැවැත්විණි. දෙල්කඳ හන්දියෙන් ඇරඹි පෙළපාලිය හයිලෙවල් පාර ඔස්සේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨය අසලට පැමිණියේය.

ජන පීඩක ආණ්ඩුව පැන්නීම අරමුණු කරගනිමින් විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් සැම එකා වන්ව කියා සිටියේ ආණ්ඩුව ගෙදර යා යුතු බව ය.මෙසේ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පාරට පැමිණි දෙවන කණ්ඩායම ජාතික ජන බලවේගය ය. මීට පෙර සමගි ජන බලවේගය ද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ ජනාධිපතිවරණයක් ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් විනය ගරුක ලෙස නොහැසිරීම අරමුණු කර ගනිමින් එම විරෝධය හෑල්ලු කර දැමීමට ආණ්ඩුවට යම් හැකියාවක් ලැබුණි. නමුත් ජාතික ජන බලවේගය තුළ වැඩි භූමිකාවක් ජනතා විමුක්ති පෙරමුණ දරන බැවින් එහි දැඩි විනයක් පැවැතිණි. එම නිසා පරිසරය අපවිත්‍ර කළ බවට වත් චෝදනාවක් ඔවුනට එරෙහිව නැඟීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ.

ජාතික ජන බලවේග විරෝධතා පෙළපාලිය අවසානයේ රැළියක් පැවැති අතර එහිදි කේ.ඩී ලාල්කාන්ත කියා සිටියේ “සර්ව පාක්ෂික ජනතාව” සිටින්නේ එම ස්ථානයේ බව ය. එහි යටි අදහසක් තිබුණි. එනම් එදින පෙරවරුවේ පැවැති සර්ව පාක්ෂික සමුළුව ය. ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් එදින පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කැදවා තිබුණ ද ජාතික ජන බලවේගය එය නියෝජනය කළේ නැත.

රාජපක්ෂවරුන්ට තවදුරටත් බලයේ සිටීමට ගන්නා තවත් එක් උත්සාහයක් ලෙස එය හඳුන්වා දෙමින් එහි ගොස් කාලය කා දැමීමට තමන් සුදානම් නැතැයි ජාතික ජන බලවේගය කියා සිටියේය. එම නිසා එදින සවස පැවැති ජනපීඩක ආණ්ඩුව පන්නමු විරෝධතා රැලියේදී ද ඒ ගැන කතා කළේය.එහි දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ නඩු පිට නඩු වැටුණු හොරුන් සමඟ සාකච්ඡාවකට තමන් සූදානම් නැති බව ය.

.”මහින්ද සුළග”හා “මහින්ද සමඟ නැඟිටිමු” ආරම්භ කළේ ද නුගේගොඩිනි. මහින්ද සුළඟ නමින් නුගේගොඩින් ඇරඹි රැස්වීම් මාලාව අවසානයේ රටේ බලය අත්පත් කර ගැනීම දක්වා දුර ගියේය. එය නොකියා කියමින් ජාතික ජන බලවේග කථිකයන් කීවේ මහින්ද සුළග ඔස්සේ රටේ ප්‍රධාන පටුවල අසුන් ගත්තා සේම නුගේගොඩින් ඇරඹෙන ජාතික ජන බලවේගයේ කුණාටුවෙන් රාජපක්ෂවරු පළවා හරින බව ය.ඔවුන්ගේ කතා කෙසේ වෙතත් අද වන විට අගමැති පුටුවේ හිඳුවා සිටින මහින්දගේ හුළං බසිමින් තිබෙන බවත් මහින්ද සමඟ නැඟිටින්නට වෙර දැරූ ජනතාවට තබා අද වන විට වත්මන් දේශපාලන ක්ෂේත්‍රය තුළ මහින්දටවත් නැඟිට ගත නොහැකි බවත් ප්‍රසිද්ධ රහසකි.

වසර 74 ක ඉතිහාසය පුරා එ.ජා.ප යෙන් ශ්‍රීලනිපයටත් මාරුවෙන් මාරුවට බලය දුන් ජනතාවට දැන් විකල්පයක් පැමිණ තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක කීවේය. මාරුවෙන් මාරුවට ආණ්ඩු කළ පිරිස රටේ දැන් ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට වගකිව යුතුය යන්න ඔහු පෙන්වා දුන්නේය.

එම නිසා මේ බලය ඉවත් කර අලුත් බලවේගයකට අවස්ථාව දිය යුතුව ඇතැයි කී ඔහු එම වෙනස කිරීමට පෙරමුණ ගන්නා ලෙස ඉල්ලා සිටියේය. රටේ ආර්ථිකය, සමාජ, දේශපාලනය යන කාණ්ඩ සියල්ලේ වෙනසක් ඇතිවිය යුතුව ඇතැයි ජාතික ජන බලවේගය සිය රැළියේදි පෙන්වා දුන්නේය.

ඔවුන් ඇති කරන පාලනය තනි පුද්ගල කේන්ද්‍ර පාලනයක් නොව රටේ සියළු දෙනා පාලනයට දායක වන ක්‍රමවේදයක් යැයි ද ඔහු කියා සිටියේය. එයින් රටේ ප්‍රශ්න විසඳීමට සියළු දෙනා සහභාගී වන බවද පෙන්වා දුන්නේය. මෙය සමාජවාදයේ සේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ එක් න්‍යායකි. සමාජයේ බිම් මට්ටමේ සිට ඉහළට එන පාලන ක්‍රමවේදය සමාජවාදී ආණ්ඩු පාලනය තුළ තිබේ.

රටේ දැවෙන ප්‍රශ්න සියල්ල ක්‍රමානුකූලව විසඳීම ඔවුන්ගේ අපේක්ෂාව බව මෙම ජන රැලිය දෙස බැලූ කළ පෙනී යන දෙයකි. ඔවුන් තමන්ගේ පාලන බලය ගන්නා ආකාරය ගැන ඉඟි කිහිපයක් ද ලබා දුන්නේය. අනුර දිසානායක කීවේ රට පුරා තම පක්ෂය ක්‍රමානුකූලව ජන විඥානය පරික්ෂා කරමින් යන බවකි. එසේම සියළු පාර්ශව එකතු කර ගන්නා බවකි.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ මොහොතේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් කැඳවිය නොහැකි වුවත් ලෝකය දෙස බැලූ කල ව්‍යවස්ථාව අභිබවා ජනතා පරමාධිපත්‍යය මතුවූ අවස්ථා ඇති බව කියා සිටියේ ය. එම නිසා නියම අවස්ථාව එනතුරු ඉවසා සිටින්නැයි ඔහු කීවේය.

එයින් ගම්‍ය වන්නේ ඔවුන් ජනතා පරමාධිපත්‍යය ඉදිරියට ගෙන බලය ලබාගැනීමේ සැලසුමක් ඇති බව ය. ඒ අරගලයක් හෝ ලෙනින්, මා ඕ කළා වැනි විප්ලවයක් විය හැකිය.

කෙසේ නමුත් රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ ජනතාව සිටින්නේ දැඩි පීඩනයකිනි. එය නිසි ලෙස කළමනාකරණය කරගතහොත් ජනතාව පාරට බස්සවා ආණ්ඩු පෙරලීමේ හැකියාව නැත්තේද නොවේ.ඒ අනුව අපට කිව හැක්කේ පවුල්, පරම්පරා දේශපාලනය අතික්‍රමණය කොට ඔවුන් යන ජාතික ජන බලවේගය ගමන ඉදිරියේ “කොල එළියක්”දල්වා තැබීමේ හැකියාවක් මේ වන විට පවතින බවකි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර