මිනිසුන් සම්බන්ධ වැදගත්ම ඉන්ද්රිය යුගලය මොළය සහ හදවත බව පොදු සම්මතයයි. ඒ මොළය බුද්ධිය සහ හදවත හැඟීම්, ආවේග සංකේතනය කරන බැවිනි. වෛද්‍ය විද්‍යාත්මක වුවද මිනිස් සිරුරේ ඇති ඉන්ද්රිය අතුරින් මොළයට සහ හදවතට ඇති ප්‍රමුඛතාව සහ වැදගත්කම කෙසේවත් බැහැර කළ නොහැක.
මෙවන් පසුබිමක් යටතේ අප රටේ හෘදවේද ප්‍රතිකාර සම්බන්ධයෙන් දශක හයකටත් වඩා අතීතයක් තිබුණ ද හෘද සැත්කම් සම්බන්ධයෙන් ඇත්තේ දශක තුනක කාලයකට මඳක් වැඩි කෙටි ඉතිහාසයකි.
ජීවත් වන පුද්ගලයකු ගේ පපු කුහරය විවර කොට හෘදය වස්තුවේ ඇති දෝෂ නිවැරදි කොට යළි පපු කුහරය තුළ සුරක්ෂිත කොට දින හෝ සති කිහිපයකින් ඒ තැනැත්තා ප්‍රකෘති තත්වයට පත් කිරීමේ බරපතල වගකීම පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත.
එනිසාම එතෙක් ලොව දියුණු වෛද්‍ය තාක්ෂණික පහසුකම් සහිත රෝහල් වලදී හෘද සහ උරස් කන්තුක ශල්‍ය වෛද්‍යවරුන් ගෙන් පමණක් ඉටු කරවා ගත යුතු ඒ බරපතල කටයුත්ත ඉටු කරවා ගත හැකි වූයේ සමස්ත ශී‍්‍ර ලාංකේය ජනගහණයෙන් දශම ගණනකට පමණි.
එහෙත්, මීට දශක තුනකට පමණ ඉහත ශි‍්‍ර ලාංකේය වෛද්‍ය ක්ෂේත්රය තුළ හෘද සහ උරස් කන්තුක ශල්‍ය වෛද්‍ය සේවාව ස්ථාපිත වීමත් සමඟ එතෙක් අනේක විධ හෘදරෝග හේතුවෙන් අකාලයේ ජීවිතය අහිමි කරගත් පිරිසට වඩා වාසනාවන්ත හෘද රෝගීන් පිරිසක් අප රට තුළින් දැකිය හැකි විය. අද වන විට එමගින් ජීවත්වීමේ වරප්‍රසාද ලත් හෘද රෝගීන් ගේ සංඛ්‍යාව දහස් ගණන ද ඉක්මවා ඇති බව අපගේ වැටහීම ය.
නමුදු ඒ උදාරතර කාරියේ; විශිෂ්ටතම සමාජ මෙහෙවරේ පුරෝගාමියකු වූ ශී‍්‍ර ලංකාවේ ප්රවීණතම සහ දක්ෂතම හෘද සහ උරස් කන්තුක ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයකු වන වයි.කේ.එම්. ලහී මේ වන විට බොහෝ දෙනකුට රහසින් මෙලොවින් සමුගෙන ගොසිනි. ඔහු ගේ මෙම වියෝව පිළිබඳව ඔහු වෙතින් ජීවිත දානය ලද්දවුන් වත් දැන සිටින්නේ ද යන්න සැකයෙකි.
වෛද්‍ය ලහී මුල් වරට මට මුණ ගැසෙනුයේ 2011 වසරේ මා විදේශීය වෛද්‍ය වෘත්තියෙන් සමුගෙන මව් බිමට පැමිණි මුල් කාලයේ දීය. ඒ වන විට ද ඔහු උරස් කන්තුක විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස අතිශය ප්රකටව සිටියේ ය.
අප හමුවට පැමිණෙන අනේක විධ හෘද රෝගීන් ගෙන් කොටසක් ඖෂධ මගින් ද තවත් කොටසක් ‘ඇන්ජියෝ ප්ලාස්ටි’ නම් කුඩා සැත්කම් මගින් ද සුවය ලබති.
එම හැකියාව හෘද වේද විශේෂඥ වෛද්‍යවරුන් වන අපට තිබේ. එහෙත්, එම සීමාවෙන් ඔබ්බෙහි පිහිටි හෘදය සම්බන්ධ ඓන්ද්‍රීය තත්වයන් සහ දුබලතා පවතින රෝගීන් හදවත් සැත්කම් සඳහා යොමු කළ යුතු වෙයි. වෛද්‍ය ලහී ඒ සම්බන්ධ පුරෝගාමී විශේෂඥ ශල්‍ය වෛද්‍ය වරයෙකි.
කවර විෂයක් සම්බන්ධ හෝ කායික වෛද්‍ය විශේෂඥයන්ට අදාල විෂය ක්ෂේත්රය සම්බන්ධ විද්‍යාත්මක දැනුම සහ නිපුනතාව තම වෘත්තිය කරගෙන යාමට බොහෝ දුරට ප්‍රමාණවත් වේ. එහෙත්, ශල්‍ය වෛද්‍යවරුන්ට ඒ දැනුම සහ නිපුනතාවයට අමතරව දෑතේ හුරුව ද අනිවාර්ය වශයෙන්ම තිබිය යුතුය.
විශේෂයෙන් හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට කවුරුත් දන්නා ‘බයි පාස්’ සැත්කම් වලට වඩා බරපතල සූක්ෂම සැත්කම් කිහිපයක් කිරීමට සිදුවෙයි.
හෘදය වස්තුව හා සම්බන්ධ කපාට පිළිසකර කිරීම, හදවතේ සිදුරු වැසීම ඒ අතරට ගැනෙයි. ඊට අමතරව කාටත් වැටහෙන ලෙසින් කිවහොත් හදවත පළා කරනු ලබන අති සියුම් සැත්කම් ද ඒ අතර තිබේ. මේ සියලූම සැත්කම් සම්බන්ධයෙන් පුදුමාකාර හැකියාවක්; වඩාත් සරල බසින් කිවහොත් ‘අත් ගුණයක්’ ලහී සතුව තිබිණ.
මා හමුවට පැමිණෙන ඇතැම් රෝගීන් හදවත් සැත්කම් වෙත යොමු කළ යුතු අවස්ථාවන් හි දී මම වෛද්‍ය ලහී ගේ නම ද ඔවුනට යෝජනා කොට ඇත්තෙමි. එවිට ඔවුන් අතුරින් බොහෝ දෙනෙකු නඟන එක්තරා පොදු පැනයක් ද තිබේ.
එනම් ‘‘ඒ ඩොක්ට මුස්ලිම් ද?’‘ යන්න ය. තමන් ගේ හදවත විවෘත කිරීමට යමකුට ඉඩ දීමේ දී ඒ විවෘත කරන තැනැත්තා කවුරුන් ද යන්න ඉතා හොඳින් විමසා බැලීමේ නෛසර්ගික උවමනාවක් ඕනෑ කෙනෙකු තුළ තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.ඒ සඳහා සමාජයේ පැතිර පවතින වර්ගවාදී අදහස් ද බොහෝ දුරට ඉවහල් වන්නට ඇත.
‘‘අපොයි ඒකේ ප්‍රශ්නයක් නැහැ හාට් එක කිව්වම අපි හැමෝගෙම එකම විදිහම තමයි’’ එවිට මම ද සිනාසී කියමි.
එහෙත්, ඉන්පසු දිනයෙක වෛද්‍ය ලහී හමු වූ විටෙක මා විහිළුවට මෙන් ඔහුට මේ බව කී විට ඔහු ඉතා සැහැල්ලූවෙන් සිනාසුණු අයුරු මට මතක ය. එහෙත්, ඒ වන විට ද ඔහුගේ විද්‍යාත්මක දැනුමට සේම දෑතේ හුරුවට පින් සිදුවන්නට ජීවිත දානය ලබාගත් වැඩිම පිරිස අප රටේ මහ ජාතිය බව ඔහු ද ඒ වන විට මනාව දැන සිටින්නට ඇත.
හෘද සහ උරස් කන්තුක ශල්‍ය වෛද්‍ය වෘත්තියේ කුඩා දරුවන් ගේ සැත්කම් සම්බන්ධ වෙනම වෘත්තීය ක්ෂෙත්රයක් ද තිබේ. ලොව ඒ වෙනුවෙන් වෙනම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු හිඳිති.
නමුත් වෛද්‍ය ලහී ගේ වෘත්තීය නිපුනතාව කොතෙක් ද යත් ඔහු ළමා හදවත් සැත්කම් සම්බන්ධයෙන් ද මනා නිපුනත්වයක් පළ කරන්නෙකි. ඒ බවට බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලය සහතික වනු නිසැක ය.
අගනුවර ඉහළ මධ්‍යම සමාජයක ඉපදී හැදී වැඩුණු වෛද්‍ය ලහී අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. කුඩා කාල සිටම මිශ්‍ර සමාජ සංස්කෘතික ඇසුරක් ලැබීම මත හුදු වර්ගවාදියෙකු නොවූ ඔහු විශිෂ්ට මානව වාදියකු වශයෙන් තම දිවි මඟ හැඩ ගස්වා ගත් අන්දම ඔහුගේ සමීපතමයෝ හොඳින් දනිති.
තම වෘත්තිය සම්බන්ධයෙන් විශිෂ්ට කැපවීමක් කළ ඔහු තමන් යටතේ සේවය කළ කනිටු වෛද්‍යවරුන්ට ලබා දුන් වෘත්තීය පන්නරය මත ශී‍්‍ර ලංකා හෘද ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයට දක්ෂතම වෛද්‍යවරු කිහිප දෙනෙක්ම මේ වන විට එක්ව හිඳිති. එය ද හුදු වර්ගවාදය අතික්‍රමණය කළ ඔහුගේ උතුම් මානවවාදී චින්තනය පිළිබිඹු කරන කදිම නිදසුනකි.
පසුගිය වසරේ රජයේ සේවයෙන් විශ්‍රාම ගත් වෛද්‍ය ලහී මේ වසරේ මුල සිට රත්මලාන ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස වැඩ භාර ගත්තේ ය.
එමඟින් එහි සිසුනට හෘදවේද සැත්කම් පිළිබඳ පුහුණුව දෙන අතරේ වේරහැර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ අලූතින් අරඹන හෘද ශල්‍ය වෛද්‍ය එ්කකයේ ප්‍රථම විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කිරීමට ද වෛද්‍ය ලහී සැදී පැහැදී සිටියේ ය.
පසුගිය ඔක්තෝබර් 07 දා එම හෘද ශල්‍ය වෛද්‍ය ඒකකය ඇරඹීම සම්බන්ධ රැස්වීමක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී පැවැති අතර වෛද්‍ය ලහී ඊට ද එක් වී යළි කොල්ලූපිටියේ පිහිටි ඔහුගේ නිවස වෙත ගොස් තිබිණ.
එහෙත්, එදින පෙරවරුවේ සිට ඔහුගේ පපුවේ යම් රිදුමක් ඇති වූ බවත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඔහුගේ බිරිඳ කී විට ‘වැඩ කළාම හරියයි’ කියමින් සිනාසුණු බවත් දැන ගන්නට ඇත.
සාමාන්‍යයෙන් තමන් ගැන වැඩිපුර සිතන බොහෝ දෙනෙක් අනුන් ගැන නොසිතති. එහෙත්, වෛද්‍ය ලහී ගැන මෙහි දී සටහන් කළ යුතුව ඇත්තේ ඔහු ඉඳුරාම ඊට ප්‍රතිවිරුද්ධ මිනිසකු බවකි. ඒ කෙසේ හෝ එදින පස්වරුව වන විට තමන් අනුන් ගැන සිතන තරමට තමන් ගැන නොසිතීමේ ‘වරද’ වෛද්‍ය ලහීට වැටහෙන්නට ඇත.
ඊට හේතුව ඉන් මඳ වේලාවකට පසු දරුණු හෘදයාබාදයක් ඔහු ගේ ජීවිතය ආක්‍රමණය කර ගත් බැවිනි. ඒ අනුව හැකිතාක් ඉක්මනින් වෛද්‍ය ලහී අගනුවර පෞද්ගලික රෝහලක් වෙත යොමු කරන ලදී. ඊට පෙර හෘද රෝගයක් පිළිබඳ කිසිදු ලකුණක් පෙන්නුම් නොකළ වෛද්‍ය ලහීට හිටිහැටියේ මුහුණ දෙන්නට සිදු වූ ඇබැද්දිය කුමක් දැයි සිතා ගත නොහැකිව මම ද හනික ඒ රෝහල වෙත ගියෙමි.
ඒ වන විට ශී‍්‍ර ලංකාවේ ප්‍රමුඛතම හෘද ශල්‍ය විශේෂඥවරු හෘදවේද විශේෂඥ වරුන් ඇතුළු තවත් කිහිප දෙනෙක් ද එහි පැමිණ සිටියහ. එහෙත්, ඒ වන විට ද අප සැමගේ ඉදිරිපත් වීමට වඩා වේගයකින් වෛද්‍ය ලහී තම අන්තිම ගමන සැලසුම් කරගෙන තිබිණ.
නමුදු තමන් ගේ විද්‍යාත්මක දැනුම් සම්භාරය වෘත්තීය අත්දැකීම් සහ දෑතේ හුරුව මුල් කොට බිළිඳු දරුවන් ද ඇතුළුව හදවත් රෝගීන් විශාල පිරිසකට ජීවත් වීමේ අවස්ථාව හිමිකර දුන් ‘ගහක් ගලක් වගේ සිටි’ වෛද්‍ය ලහී මෙබඳු අවස්ථාවක මෙබඳු අයුරින් අපගෙන් සදහටම සමුගෙන යාම හෘදවේදය හා සම්බන්ධ වෘත්තිකයන් වන අප තුළ ද මහත් මානසික කම්පනයක් ඇති කිරීමට සමත් විය.
වෛද්‍ය ලහී ගේ අවසන් කටයුතු ඉකුත් 08 වනදා කොළඹ ජාවත්ත මුස්ලිම් සුසාන භූමියේ දී සිදුකෙරිණ.
එහෙත්, සුසාන භූමිය වෙත ඔහුගේ දේහය ගෙන යන අන්දම දුටු කිසිවකු හෝ එම ‘දෝලාව’ තුළ අවසන් නින්දේ සැතපෙනුයේ ලක්මව බිහි කළ තවත් විශිෂ්ට අතිජාත පුත්‍රයකු බව දැන නොසිටි බව මට හොඳින්ම විශ්වාස ය.
රත්මලාන ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨාධිපති හෘද වේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ