ජීවන වියදම වැඩි නිසා හොලිවුඩ් නළු නිළියෝත් වැඩි පඩි ඉල්ලති

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, ප්‍රවාහන ක්‍ෂේත්‍රය වැනි ක්‍ෂේත්‍රවල සේවකයන් වැඩ වර්ජන කරන ආකාරය නිතර දෙවේලේ දක්නට ලැබුණත් චිත්‍රපට නළු නිළියන් වැනි අය වැඩ වර්ජනවල නියැලෙනු එලෙස දකින්නට ලැබෙන්නේ නැත. නමුත් මේ දිනවල ඇමරිකාවේ හොලිවුඩ් සිනමාවෙන් එවැනි කතාවක් ගැන අසන්නට ලැබේ. නළු නිළියන් මෙයට දින කිහිපයකට පෙර ආරම්භ කරන ලද මෙම වැඩ වර්ජනය නිසා එම සිනමාව තුළ විශාල අර්බුදයක් වර්ධනය වෙමින් ඇති ආකාරයක් දකින්නට ලැබේ. මේ වනවිට නිශ්පාදනය වෙමින් ඇති Avatar-3, Deadpool-3, Gladiator-2, Mission: impossible-Dead Reckoning Part 2 වැනි දැවැන්ත සිනමා නිර්මාණවල සහ Stranger Things වැනි ජනප්‍රිය මාලා නාටකවල ( TV Series ) කටයුතු පවා මේ නිසා ඇණහිට ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ ආකාරයෙන් වැඩ වර්ජනය කර සිටින්නේ නළු නිළියන් පමණක් නොවීම ද විශේෂත්වයකි. මුලින්ම වර්ජනයක් දියත් කරන ලද්දේ තිර නාටක රචකයන් විසිනි. ඒ පසුගිය මැයි මාසයේ ය. ඔවුහු මේ වනවිටත් එම වර්ජනය ඉදිරියට ගෙන යමින් සිටිති. පසුගිය දා නළු නිළියෝ ද ඊට එක් වූහ. මෙම ඒකාබද්ධ වැඩ වර්ජනය සැලකෙන්නේ වසර 60 කට පසු හොලිවුඩයේ ඇති වූ විශාලම වැඩ වර්ජනය ලෙසිනි. මෙයට පෙර මේ තරම් පුළුල් පරිමාණයේ වර්ජනයක් එහි දියත්ව තිබුණේ 1960 වසරේ යි. එවර එම වර්ජනයේ නායකයන් අතර හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් ද සිටියේය. ඒ වනවිට ඔහු ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකි.

මෙම කලාකරුවන් මේ ආකාරයෙන් වර්ජනයක් අරම්භ කර ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ට ගෙවන ගාස්තු ප්‍රමාණවත් නොවීම නිසා ය. ඊට අමතරව වෘත්තීන් තුළ ඔවුන්ට බලපාන වෙනත් කොන්දේසිවලටත්, ඔවුන්ගේ වෘත්තීන්ට කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණයෙන් එල්ල වී ඇති තර්ජනවලටත් මෙම කලාකරුවන්ගේ විරෝධය එල්ල වේ. පසුගිය දා සම්මාන රැසක් දිනූ මාලා නාටකයක් වන Succession හි ප්‍රධාන නළුවා වූ බ්‍රයන් කොක්ස් පවසා තිබුණේ මෙම වර්ජනය මෙම වසර අවසානය දක්වා ඇදෙන්නට ඉඩ ඇති බවයි.

චිත්‍රපට නිෂ්පාදන සමාගම් සහ නෙට්ෆ්ලික්ස් වැනි ස්ටි්‍රමිං සේවා සමාගම් විශාල වශයෙන් ලාභ ඉපැයුවත් එම ලාභ සාධාරණ ආකාරයෙන් බෙදා ගැනීමට ඔවුන් පියවර නොගන්නා බව මෙම පාර්ශ්වවල චෝදනාවයි. මෙම සමාගම්වල විධායක නිලධාරීන් ඉතා ඉහළ වැටුප් ලැබුවත් නළු නිළියන්, තිර රචකයන් වැඩි දෙනෙකු මේ වනවිට සිය ආදායම් සම්බන්ධ දරුණු ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව වැඩ වර්ජනයට එක්ව සිටින ශිල්පීහු පවසති. ‘අප ඉතාම තණ්හාධික පිරිසකගේ ගොදුරු බවට පත්ව සිටිනවා’ නළු නිළියන්ගේ වෘත්තීය එකමුතුවක් වන ‘සිනමා නළු නිළි සංසදයේ’ වත්මන් සභාපතිවරයා වන ෆ්‍රෑන් ඩෙෂ්චර් පවසා තිබිණි. මෙම වෘත්තීය සංවිධානත්, සිනමා සහ රූපවාහිනී නිශ්පාදකයන්ගේ සන්ධානයත් අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබුණත් මේ වනවිටත් ඒවා සාර්ථක වී නැති බව පෙනේ.

නළු නිළියන්ගේ සෞඛ්‍ය රක්‍ෂණ සහ විශ්‍රාම දීමනා සම්බන්ධයෙන් ද බොහෝ ගැටලු පවතින බව සඳහන් වේ. වයස අවුරුදු 65 න් පසු සෞඛ්‍ය රක්‍ෂණය අහිමි වීම නිසා වියපත් නළු නිළියන් බෙහෙවින් අසරණ වන බව ද වර්ජකයෝ පෙන්වා දෙති.

මේ වනවිට ඉතා දියුණු මට්ටමකට ළඟා වී ඇති කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණය ද ඉතා සුළභව සිනමා සහ රූපවාහිනී නිශ්පාදනවල දී භාවිත වේ. නළු නිළියන්ගේ පෙනුමට සමාන කෘත්‍රිම නළු නිළියන් නිර්මාණය කර එම රූප චිත්‍රපටවල භාවිත කිරීමට ද මේ නිසා හැකියාව ලැබී තිබේ. මෙය ද අද වනවිට ඇතැම් නළු නිළියන්ට විශාල තර්ජනයක් එල්ල කර ඇති කාරණයකි.

මේ වෙද්දී ඇමරිකාව වැනි රටවල ද ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ඉහත කී පාර්ශ්වවල තත්ත්වය වඩාත් ඛේදජනක වී ඇති බවක් පෙනී යයි. නමුත් ඉහළම පෙලේ නළු නිළියන්ට මෙම ගැටලුව එතරම් බලපා නැති බවක් ද වාර්තා වේ. කෙසේ නමුත් මෙරිල් ස්ටී්‍රප්, ජෙනිෆර් ලෝරන්ස්, මැට් ඩෙමන්, ජෙරමි රෙනර්, ජෙමී ලී කර්ටිස් වැනි ජනප්‍රිය නළු නිළියන් ද වැඩ වර්ජනයට සිය සහය පළ කර තිබෙනු දැකිය හැකි වේ.

වැඩ වර්ජනයට එක්ව සිටින අය අතර නළු නිළියන් 160,000 ක් පමණ ද, තිර රචකයන් 11,500 ක් පමණ ද සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන් ය. පසුගිය දිනවල ඔවුන් නිව්යෝක්, ලොස් ඇන්ජලීස් වැනි නගරවල පිහිටි චිත්‍රපට සහ ස්ටී්‍රමිං සේවා සමාගම්වල කාර්යාල ඉදිරිපිට පුවරු ඔසවාගෙන රැස්ව සිටිනු දැකිය හැකි විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර