ජීවිත දේපල වලට හානි වුණත් “හෙණ ගැහීමත්” ලෝකයට සෙතක් බව දන්නවාද?

මෙය දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම අකුණු ආපදා වාර්තා වන සමයකි.මිනිසුන්ට අත් විය හැකි බිහිසුණුම විපතක් සේ සැලකෙන “හෙණ ගැහීම” නම් වන අකුණු ක්‍රියාවලිය එක් අතකින් අපේ මිතුරෙකු ද වන බව පිළිගැනීමට බොහෝ දෙනෙක් අපොහොසත් වෙති.නමුදු. පාරිසරික සෑම සාධකයකම යහපත් සහ අයහපත් ලක්ෂණ දකින්නට ලැබේ. අකුණු අප ලෝකයට අවශ්‍ය මන්දැයි යන්න විමසා බැලීම ද විද්‍යාවේ වගකීමකි.

අප ලෝකයේ සිදු වූ පරිණාමයන් තුළ මීට වසර ලක්ෂ ගණනකට පෙර විසූ වානර වර්ගයක් හෝමෝ සේපියන්ස් බවට පරිණාමය වූ බවට පිළිගත හැකි සාධක තිබෙන අතර තව තවත් පරිණාමය වූ හෝමෝ සේපියන්ස්ලා අද මිනිසා ලෙසින් විවිධ අංශවලින් පරිණාමය වී ඇත. පසුගිය ඉතිහාසය තුළ විවිධ අංශ වලින් ඉදිරියට යාම අප විසින්ම “දියුණුව” ලෙස අර්ථ දක්වමු.

වනචාරී දිවිය අතහැර දමා සංස්කෘති රැසක් ගොඩනඟා භාෂාව, කෑම බීම ගන්නා ක්‍රම, ආගම්, කුල, ග්‍රෝත්‍ර, පමණක් නොව රාජ්‍යයන් පවා ගොඩනගා ගෙන ඇත. එසේම විදයාව සහ තාක්ෂණය ඇතුලත් අධ්‍යාපනය ද දියුණුයයි පිළිගෙන සිටින මිනිසා අද වන විට මිහිකත ඉතාම ආත්මාර්ථකාමී සත්ත්වයා බවට පත්වී ඇත.

මිනිසාගේ ඉදිරි ගමනට සහ අභිවෘද්ධියට ගත යුතු යයි සිතන ක්‍රියා මාර්ග ගැනීමේදී ස්වභාව ධර්මයට පරිසරයට, ජීවීන්ට (සත්ත්ව සහ ශාඛ වර්ග වලට ) මෙන්ම භූමියට, කරදිය සහ මිරිදිය ජලාශ වලට මහා පරිමාණයේ හානි වූවද සිදු කිරීමට මිනිසා ඉදිරිපත් වෙමින් සිටියි. පරිසරය සහ ස්වභාවය ඉදිරියටම පරිණාමය වීම උදෙසා විශාල ලෙස සේවය කරන සත්ත්වයින් සහ ශාඛ වගේම ස්වභාවික සාධක මිනිසුන් සලකන්නේ සතුරන් ලෙස ය.

වසර බිලියන 4 කට පමණ පෙර එනම් වසර මිලියන 4000 කට පමණ පෙර සිට අප ලෝක ගෝලය සහ වායු ගෝලයේ භෞතික සහ රසායනික වෙනස්කම් සිදුකරමින් පරිණාමය සඳහා දායක වූ සාධක රැසක් අද වනවිට ආපදා ලෙසට සැලකීම මිනිසාගේ සාමාන්‍ය ලක්ෂණය, ගතිපැවතුම වී ඇත.

පෘථිවි ග්‍රහයාගේ ආරම්භයේ සිට මේ දක්වා වූ දීර්ඝ ගමන ගෙවීමේදී දායක වූ සාධක අතරින් අකුණු (Lightning) වලට වැදගත් තැනක් හිමි වී ඇත.එහෙත්, අද අපි ගැනම සිත යොමු කිරීම නිසා මිනිසාගේ ජීවිත සහ දේපළ වලට එය කරන හානිය ප්‍රමුඛසේ සලකනු ලැබේ. පාරිසරික සිදුවීමක් ආපදාවක් ලෙස අර්ථ දක්වන්නේ ද මිනිසා විසින්ම ය.

විශේෂයෙන් මිනිස් ජීවිත සහ දේපල වලට හානි පැමිණෙන සංසිද්ධි ආපදා( Disaster) ලෙස නම් කරන අපි ආපදා ලැයිස්තුවට අකුණුද ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. අද වෙසෙන මිනිසා ගැන සිතීමේදී එහි වරදක් නොපෙනුණත්, මිහිකත පරිණාමය ඔස්සේ අද තිබෙන ස්ථානය වෙත ළඟා වීමට මෙන්ම ඉදිරි ගමනේදී ද අකුණු මඟින් සිදුවුන සහ සිදුවන සේවාවන් කිහිපයක් විමසා බලමු.

වසර මිලියන ගණනක් තුළ පෘථිවියේ සිදු වූ පරිණාමය තුළ මෙහි සත්ත්ව සහ ශාඛ ජීවීත සකස් කිරීමට සහාය වූ ප්‍රධාන ශක්ති දායකයා වී ඇත්තේ අකුණුය. අකුණු නොතිබුණා නම්, අද වන විටත් ලෝකය මුඩු බිමක් වීමට ඉඩ තිබුණි. පෘථිවිය ආරම්භයේ පැවති වායුගෝලය සකස්වී තිබී ඇත්තේ අංගාරිකාමලය (Co 2 ) සහ නයිට්‍රජන් (N 2 ) යන වායූන් සහ ජලවාෂ්ප වලින් වූව ද එම වායුගෝලය හරහා විසර්ජනය වූ අකුණු පහර මඟින් ලද ශක්තියෙන් බිඳුණු ජල සහ අංගාරිකාමල අණුවලින් වෙන් වූ ඔක්සිජන් පරමාණු එකතු වී අප වායුගෝලීය අම්ලකර ගහණය ක්‍රමයෙන් වැඩි වී ඇත.

අකුණුවල මෙම සේවාවට අමතරව පෘථිවියේ ඇමයිනෝ අම්ල අංශු වගේම ජීව කොටස්වලට අවශ්‍ය මූලික සංඝඨක නිපදවීමේදී උපකාර වී ඇත්තේ අකුණු බවට පරීක්ෂණ මඟින් හෙළිවී ඇත. සෑම ජීවියෙකුටම අවශ්‍ය වන ප්‍රෝටීන සහ ඩී.එන්.ඒ. (D.N.A) නිපදවීමට අත්‍යාවශ්‍ය නයිට්‍රජන් පරමාණු නිපදවීමේදීද අකුණු විසර්ජන විශාල සේවයක් ඉටුකොට ඇත.වායුගෝලීය ඕසෝන් තට්ටුව නිර්මාණය කිරීමේදී අකුණු දායකය වන්නේ ඉහළ වායුගෝලීය අම්ලකර අණු බිඳීමට අවශ්‍ය ශක්තිය සපයමිනි.

අකුණු පහරෙන් සැපයෙන ශක්තියෙන් අම්ලකර (O 2 ) අණු බිදී එළි දකින අම්ලකර පරමාණු යළිත් අම්ලකර අණු සමඟ (O 2 ) සමඟ සම්බන්ධ වී ඕසොන් (O 3 ) මඟින් සිදු කෙරෙන කාර්ය පිළිබඳව ඔබ දැනුවත් වී ඇත.පෘථිවි වායුගෝලයේ සියයට හැත්තෑවක් (70%) පමණ ප්‍රතිශතයක් වන්නේ නයිට්‍රජන් වායුව වූවද ශාඛවල වැඩීමට අත්‍යාවශ්‍ය නයිට්‍රජන් වායුවක් ලෙසින් ලබා ගැනීමට ශාඛ අසමත් ය.

නමුත් නයිට්‍රජන් (N 2 ) පරමාණුක නයිට්‍රජන් බවට බිඳ දැමීමට ද උපකාර වන්නේ අකුණු විසර්ජනයි. එම නයිට්‍රජන් පරමාණු වායුගෝලීය ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කොට නිපදවන නයිට්‍රජන්වල ඔක්සයිඩ (විශේෂයෙන්ම NO 2 ) වැසි ජලය හා එක් වී නයිට්‍රික් අම්ලය ලෙස පෘථිවි තලයට ළඟා වේ. ශාඛවලට අවශය නයිට්‍රජන් සැපයීමට උපකාර වන්නේ ඒ ආම්ලික ජලයයි. එම කාර්යය සිදු නොවන්නට මිහිකත සත්ත්ව වර්ගයින් බිහිවීම සහ ජීවත්වීම සිහිනයක් පමණි.

පෘථිවියේ ශක්ති වර්ග රැසක්ම සමතුලිතතාවේ පවතී. ස්තිති විද්‍යුත් ශක්තිය ද සමතුලිතතාවයේ පවතින්නේ ස්වභාවික සංසිද්ධි මඟින් පෘථිවි තලයෙන් ගිලිහෙන විද්‍යුත් ආරෝපණ, වලාකුලුවලින් පහත්වන අකුණු රැගෙන එන විද්‍යුත් ආරෝපණ නිසාය. දිනකට මිලියන අටක් පමණ වන අකුණු ජ්වලන වලින් එම සේවයද ඉටුවේ.ඒ අනුව බලන විට අප නිරතුරුවම ආරක්ෂා විය යුතු හෙණ ගැසීම් හෙවත් අකුණු අනතුරු වලින් වුව ලෝකයට කෙතරම් යහපතක් සිදු වේද? යන්න අප සිතා බැලිය යුතු ය.

කාලගුණ විද්‍යාඥ කේ.ආර්.අභයසිංහ,

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ බාහිර කථිකාචාර්ය, විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

එතෙර - මෙතෙර