ඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී පක්ෂයෙන් මහ මැතිවරණයට හිමි වරු දෙනමක්

හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් දෙමළ පක්ෂයක් වන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) මහ මැතිවරණයට තරඟ කිරීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉදිරිපත් කර බෞද්ධ භික්ෂූ ඉදිරිපත් කළ ප්‍රථම දෙමළ පක්ෂය ලෙස ඉතිහාසයට එක් ව ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊ.පී.ඩී.පී. නියෝජනය කරමින් පූජ්‍ය කිරිඉබ්බන් ආරේ විජිත හිමි සහ පූජ්‍ය උඩවලවේ ජිනසිරි හිමි යන හිමිවරු සහභාගි වෙති.“මම හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊපීඩීපී පක්ෂයෙන් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහායි. අපේ එකම උත්සාහය ජාතික සංහිඳියාව ඇති කිරීම මිස අපි තනතුරු පසුපස යන්නේ නැහැ. අපට අවශ්‍ය එක ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනඟා ගැනීමටයි” යනුවෙන් නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජිත හිමියන් පැවසූ බවද එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය.කොළඹ දිස්ත්‍රික්කයේ ඊපීඩීපී ලැයිස්තුව දෙමළ, මුස්ලිම් සහ සිංහල යන මේ සියලු ජන කොටස් නියෝජනය කරනු ලබයි.

කාලීන පුවත්