ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍ය වරිය අප රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය පිණිස “නොනිඳන නගර” නම් සංකල්පය ඉදිරිපත් කරයි.රාත්‍රී කාලයට නිදා ගැනීම නිශාචර සතුන් නොවන මිනිසුන් ඇතුළු සියළු සතුන්ගේ අනිවාර්ය අවශ්‍යතාවකි.එමෙන්ම නිරතුරු රාත්‍රී කාලයට නිදි වැරීම නිසා නින්ද සඳහා උවමනා මෙලටොනීන් නම් හෝමෝනය ශරීරය තුළ නිෂ්පාදනය වීම ඇනහිටීම මත සෙසු කරුණු පසෙක තිබිය දී නින්ද නොයාමේ රෝග ඇති විය හැකි බව වෛද්‍ය මතයයි.ඒ අනුව එය මූලික වශයෙන්ම සොබා දහමට එරෙහි වූවක් බව පිළිගන්නට අපට සිදුවේ.නමුදු රාජ්‍ය අමාත්‍ය වරිය ගේ අදිටන අප රටේ සංචාරක ව්‍යාපාරය ගණිකා ව්‍යාපාරය කේන්ද්‍රගත සුඛ පරමවාදී මාවතක් වෙත යොමු කරවීම බව පෙනෙයි.එය ඇයගේ දැනුම් අවබෝධයන් සේම අද්දැකීම් මත පදනම් වූවක් ද විය හැක.නමුත් එහි වඩාත් බරපතල තත්වයක් වනුයේ මහජන මතයකින් තොරව පාර්ලිමේන්තුවේ පෙනී සිටින ඇය ඉහත සඳහන් විෂය පථයට අදාල වගකීම් දරමින් දරමින්ම ඉහත සඳහන් ප්‍රකාශය කිරීම ය.
2002 දී තිරසාර සංවර්ධනය පිළිබඳ ලෝක සමුළුවට සමගාමීව “වගකීම් සහිත සංචාරක ව්‍යාපාරය” මුලින්ම නිර්වචනය කරන ලදී ඒ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී ය. මෙම නිර්වචනය, කේප් ටවුන් ප්රකාශනය දැන් පුළුල් ලෙස පිළිගෙන තිබේ. ලෝක සංචාරක වෙළඳපොළ විසින් 2007 දී ලෝක වගකීම් සහිත සංචාරක ව්‍යාපාරය ලෙස සම්මත කරන ලදී.වගකීම් සහිත සංචාරක ව්‍යාපාරය යනු මිනිසාගේත් සොබා දහමේත් අවියෝජනීය සම්බන්ධතාවය තහවුරු කෙරෙන අතරේ සමස්ත ජෛව පද්ධතියේම යහපත සැලසෙන තිරසාර ක්රමවේදයකි. වගකීම් සහිත සංචාරක ව්‍යාපාරය හෝටල් හිමියන්, රජයන්, ප්‍රදේශයේ ජනතාව සහ සංචාරකයින් වගකීම භාරගෙන ප්‍රවර්ධනය කළ යුතු ක්‍රියා දාමයකි. වර්තමානයේ අප ජීවත් වන පාරිභෝගික සමාජය තුළ “සංචාරක ව්‍යාපාරය” ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම රාශියක් පවතින අතර, ඒවා බොහොමයක්ම සමාජයක බොහෝ දෛනික ක්‍රියාකාරකම් මෙන්ම පරිසරයට ද එහි බලපෑම ව්‍යසනකාරී ය. මෙම වර්ගයේ සංචාරක මාදිලි “පාරිභෝගික සංචාරක” නමින් හැඳින්වෙන අතර එමඟින් ජන ජීවිත සේම ජනතාවගේ කායික මානසික සෞඛ්‍යය පිරිහීම සාම්ප්‍රදායික සංස්කෘතික උරුමයන් බිඳ වැටීම ස්වභාවික පරිසරයේ පිරිහීම ආදී අනිටු ප්‍රතිඵල රැසක් අත්විඳීමට සිදුවේ.
පාරිභෝගික සංචාර යනු සංචාරකයන් සතු ධනය වැඩිපුර හා ශීඝ්‍රාකාරයෙන් ආයෝජනය කරවන ව්‍යාපාර හා ජාවාරම් ජාලයකි.”තමන්ට රිසි ඕනෑම දෙයක් ලබා ගත හැකි ය” යන හැඟීම ඔස්සේ සංචාරකයෝ ඒ වෙත ඇදී එති.එහෙත් මෙම ඕනෑම දෙය තුළ ඒම සංස්කෘතික උරුමයන් ආවේණිකතා සේම ශිෂ්ඨාචාරය ද බිඳ දමන අවශ්‍යතා තිබිය හැක. ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍ය වරිය සෘජුවම කියා සිටිනුයේ හුදෙක් ධනෝපායනය අරමුණු කර ගනිමින් අප රටක් ලෙස ඒ දිශානතිය හඳුනා ගෙන එදෙසට යොමු විය යුතු බවකි.එවන් සමාජයක බොහෝ දෛනික ක්‍රියාකාරකම් නිරන්තරව සමාජයට සේම පරිසරයට ද එහි බලපෑම ව්‍යසනකාරී ය.නමුදු මානවයාගේ යහපැවැත්ම උදෙසා එම ශිෂ්ඨාචාරයන් ගේ යහපැවැත්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා නිල වශයෙන් පිළිගෙන තිබේ.
එමෙන්ම සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයේ දී ජනතාවගේ ජීවිතවලට සහ ජීවන වෙනස්කම්වලට බලපාන තීරණවලට දේශීය ජනතාව සම්බන්ධ කර ගැනීම;ස්වභාවික හා සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම, ලෝකයේ විවිධත්වය පවත්වා ගැනීම සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දීම මෙම තිරසාර සංවර්ධන මාවතේ වැදගත් අංගයකි.නමුත් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍ය වරිය ඒ කිසිවක් ගැන නොතකා තම මතය පමණක් හුවා දක්වන්නීය.මෙය ඇයගේ “මානසික ප්රකාශනයක්” ද විය හැක.
නමුදු වගකීම් සහිත සංචාරක ව්‍යාපාරය දේශීය ජනතාව සමඟ වඩා අර්ථාන්විත සම්බන්ධතා හරහා සංචාරකයින්ට වඩාත් විනෝදජනක අත්දැකීම් සහ දේශීය සංස්කෘතික, සමාජීය සහ පාරිසරික ගැටළු පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දිය යුතු ය.;සංස්කෘතික වශයෙන් සංවේදී ආකාරයට සංචාරකයින් සහ ජනතාව අතර ගෞරවය ජනනය කරවිය යුතු අතර දේශීය අභිමානය සහ විශ්වාසය ගොඩ නැංවිය යුතු ය.
වගකීම් සහගත සංචාරක ව්‍යාපාරය සතු ආචාර ධර්ම අභිබවා සංචාරක ව්‍යාපාරය පාදඩකරණය පදනම් කර ගත් හුදු ධනෝපායන මාර්ගයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතු බවට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍ය වරියගේ අදහස් දැක්වීම සමස්ත ජාතියේම අවධානයට යොමු විය යුතු ය. සදාචාරාත්මක දෘෂ්ටි කෝණයකින්, දේශීය ජනගහනයට සාධාරණ ලෙස සැලකීම යුක්ති සහගත බව පිළිබඳව ඇය තුළ කිසිදු තැකීමක් නැත.සංචාරක පරිසරය තිරසාර ලෙස කළමනාකරණය කළ යුතු බව ගැන අබ මල් රේණුවක වත් වැටහීමක් ඇය සතුව නොමැති බව පෙනේ.ඇය දකින එකම් ධනෝයායන මංපෙත ගණිකා ඇසුර මත් පැන් පානය සහ දූ කෙලිය මත පදනම් වන සල්ලාල සංචාරක කර්මාන්තයයි.නමුත්මේ වන විට ලොව හොඳම ආදායම් මාර්ගයක් වන පරිසර සංචාර ගැන ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍ය වරිය එක වචනයක් හෝ කියා නැත.
පරිසර සංචාර යනු ” සොබා දහම සහ පරිසරය ආරක්ෂා කරන අතරේ ප්‍රදේශවාසීන්ගේ ජීවන යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ස්වභාවික ප්‍රදේශ ඉලක්ක කර ගත් වගකීම් සහගත ගමනක්” ලෙස අර්ථ දැක්විය හැකි ය. එමෙන්ම මේ වන විට පරිසර සංචාර මුල් කොට ව්‍යාපාර ද පැන නැඟී අතර ඒවා නියාමනය කිරීමේ අවශ්‍යතාවක් ද පැන නැඟී තිබේ.කොටින්ම පරිසර සංචාරක ව්‍යාපාරය යනු ස්වභාව ධර්මයට සම්බන්ධ ඕනෑම ආකාරයක සංචාරක ව්‍යාපාරයක් නොවේ, සොබාදහමට අමතරව, සම්බන්ධතාවය සැමවිටම විනය හා සංවරය මත සහ සදාචාරාත්මක ඉදිරි දර්ශනයකින් පදනම් විය යුත්තකි.
ජාත්‍යන්තර පරිසර සංචාර සංගමය පෙන්වා දෙන අන්දමට වඩාත් අව්‍යාජ පාරිසරික සංචාරක ව්‍යාපාරය නිර්වචනය කරන්නේ ඇතැම් මූලධර්මවලට අනුකූල වන පාරිසරික ව්‍යාපාරයක් ලෙස ය. පරිසර පද්ධතියට සහ ප්‍රජාවට සිදුවන අහිතකර බලපෑම් අවම කළ යුතු ය.සංචාරකයන් පිවිසෙන පරිසර පද්ධතිය හා ඒ සම්බන්ධ ජන ජීවිතය පිළිබඳ දැනුවත්භාවය තහවුරු කරගත යුතු ය. සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් සඳහා ධනාත්මක සහයෝගීතාව වර්ධනය විය යුතු ය.එය ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍ය වරිය පවසන අන්දමේ පාදඩකරණයට ලක් වූ සංචාරක උප සංස්කෘතියක් නොවේ.
ඒ අතරේ අපට ඒ සම්බන්ධ තවත් විස්මයට කරුණක් තිබේ.එනම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමඛ වත්මන් රජයේ වගකිව යුත්තන් ද ඇගේ මෙම සමාජ සංස්කෘතික අවභාවිතය හමුවේ මුණිවත රැකීම ය.
දමයන්ති ගමගේ