2025 වසර වන විට තනිව සිදු වන සංචාරයන්ගේ (solo travel) ගමනාන්ත අතරින් මුල් තැනට ශ්‍රී ලංකාව පත් වන බව මෙවැනි සංචාර සංවිධානය කරනු ලබන බ්‍රිතාන්‍ය සංචාරක සමාගමක් වන ‘ෆ්ලෑෂ් පැක්’ (Flash Pack) සඳහන් කරයි. එම සමාගම පවසන්නේ වයසින් වැඩි, තනිව සංචාරය කරන්නන්ගේ හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව වන බවය. අන්තර්ජාලය ඔස්සේ කියවිය හැකි සංචාරක සඟරාවක් වූ ‘ග්ලෝබ්ට්රෙන්ඩර්’ (Globetrender) හි ෆ්ලෑස් පැක් සමාගම පිළිබඳ පළ වූ ලිපියක මේ කරුණු සඳහන් විය. මේ විස්තරයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේම කුඩා ආකෘතියක් බවය. ඉන්දියාවේ එකිනෙකට වෙනස් පළාත්, එකිනෙකට දුර පළාත්වලට සංචාරය කොට ලබා ගත යුතු අත්දැකීම් ශ්‍රී ලංකාව තුළ ඉතා කෙටි දුරක් ඇතුළත පහසුවෙන් දැක බලාගෙන එකී අත්දැකීමම විඳ ගත හැකි බව එම සඟරාව සඳහන් කොට තිබේ.
තනිව සංචාරයේ යෙදීම (solo travel) මෑත කාලයේ දී සංචාරක කර්මාන්තයේ වර්ධනය වෙමින් පවතින නව ප්‍රවණතාවක් ලෙස පෙනෙන්නට තිබේ. ‘තනිව සංචාරයේ යෙදීම’ යනුවෙන් හැඳින්වෙන්නේ වචනාර්ථයෙන් කියවෙනවා සේම කිසිදු හවුල්කරුවකු, හිතමිතුරන් නොමැතිව තනිව සංචාරය කිරීමය. තමාට යමක් නරඹන්නට අවශ්‍ය නම් ඒ මොහොතේ දීම, මෙවැනි සංචාරයක් පිළියෙල කර ගත කළ හැකිය. නිදහස සහ නම්‍යශීලී බව, තමා පිළිබඳ වූ අභිමානය වර්ධනය කර ගැනීමට හැකි වීම, ආගන්තුක සමාජ සමග ඉක්මනින් මිත්‍රශීලී වන්නට හැකියාවක් ලැබීම, තමා පමණක්ම කැමති කාරණ කෙරෙහි හොඳින් අවධානයෙහි යෙදෙන්නට හැකියාව ලැබීම, අභියෝගවලට මුහුණ දෙන්නට ඇති කැමැත්ත ආදී කරුණු තනිව සංචාරය යෙදෙන්නට ඇති උනන්දුව වැඩි වීමට හේතු වී තිබේ.
තනිව සංචාරය කිරීම මෑත කාලයේ ජනප්‍රිය වන්නට හේතු වූ කාරණා කිහිපයක්ම දකින්නට ලැබේ. නූතන පරම්පරාවන්, විශේෂයෙන් කාන්තාවන් පෙරට වඩා නිදහස සොයා යාමේ නැඹුරුවක් පෙන්නුම් කිරීම ඉන් එකකි. එමෙන්ම බොහෝ සංචාරක ගමනාන්තවල සුරක්ෂිතභාවය ඉහළ නැංවීමට අදාළ රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්රශස්ත තත්ත්වයක පැවතීම තවත් කාරණයක් වේ. අනෙක ඩිජිටල් තාක්ෂණය, එනම් ස්මාර්ට් දුරකතන ඔස්සේ සංචාරක කටයුතු වෙනුවෙන් නිර්මාණය කරන ලද විවිධ පහසුකම්, එනම් සිතියම්, නවාතැන් පිළිබඳ තොරතුරු, නවාතැන් මාර්ගගත ලෙස වෙන්කර ගැනීම්, ඩිජිටල් මග පෙන්වීම් වැනි කාරණා මෑත කාලයේ දී වේගයෙන් වර්ධනය වීම නිසා කිසිවකුගේ මැදිහත්වීමකින් තොරව ගමන් කරන්නට ලැබී ඇති විශ්වාසය තවත් ප්රමුඛ කාරණයක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම අතීතයේ දී මෙන් නොව වර්තමානය වන විට කණ්ඩායම් වශයෙන් නොව ඉතාමත් කිහිප දෙනෙකු පමණක් එක්ව සංචාරය කිරීමේ කැමැත්තක් නිර්මාණය වී තිබීමත් මෙයට හේතු වී තිබේ. තනිව සංචාරය කරන්නන්ගේ රසවත් අත්දැකීම් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සහ විශේෂයෙන් වර්තමානයේ පවතින විවිධාකාර මානසික පීඩා තත්ත්වයන්ගෙන් නිදහස් වීම පිණිස ද තනිව සංචාරය කිරීම ප්‍රබල ඔසුවක් බවට පත්ව තිබීමත් මෙයට හේතු වී තිබේ.
තනිව සංචාරය කිරීම සියලු දෙනාටම පොදු කරණාවක් නොවේ. මෙය වැඩි වශයෙන්ම ජනප්‍රියව ඇත්තේ Y පරම්පරාව සහ Z පරම්පරාවන් අතරය. Y පරම්පරාව යනුවෙන් හැඳින්වෙන්නේ 1981 – 1996 වර්ෂ තුළ උපත ලැබූවන් වන අතර Z පරම්පරාව යනු 1996 – 2025 වර්ෂ අතර උපත ලැබූවන්ය. මේ පරම්පරාවන්ට ආවේණික ලක්ෂණ බොහොමයක් තිබෙන අතර තනිව සංචාරය කිරීමේ පුරුද්ද මේ අතරින් එකකි.
ලෝකයේ සෑම රටකටම සංචාරක ගමනානන්ත බවට පත් වීමේ හැකියාවක් නොමැති අතර තනිව සංචාරය කරන්නන් අතර ප්‍රමුඛයා වීම එයටත් වඩා අසීරුය. මෙවැනි තත්ත්වයක් අත්පත් කර ගන්නට නම් සපුරාලිය යුතු ප්‍රධාන කාරණා කිහිපයක්ම තිබේ. ඉන් පළමු වැන්න නම් ආරක්ෂාවය. ආරක්ෂාව යන කාරණය යටතේ අපරාධ අනුපාතිකය අවම වීම, සෞඛ්‍ය පහසුකම්වල උසස් තත්ත්වය සහ දේශපාලන ස්ථාවරත්වය මූලික වශයෙන් බලපෑම් එල්ල කරයි.
එමෙන්ම ගමන් කරන්නට ඇති පහසු තත්ත්වය ද මේ සඳහා හේතුවේ. ඒ යටතේ සන්නිවේදන භාෂාව, පොදු ප්‍රවාහන සේවා සහ සංචාරය කරන්නන් සඳහා ගොඩ නැගී ඇති අපරව්‍යුහ පහසුකම් මූලික වේ. ඒ වාගේම සංචාරය සඳහා වූ වියදම් තනි පුද්ගලයකුට පහසුවෙන් දරා ගත හැකි වීම මෙයට බලපාන තවත් එක් කාරණාවක් වේ. යම් යම් සංස්කෘතීන්වලට ආවේණික වූ මිත්‍රශීලී ගති ලක්ෂණ ද ජනප්‍රිය තනි පුද්ගල සංචාරක ගමනාන්තයක් බවට පත් වීම කෙරෙහි බෙහෙවින්ම බලපායි. එපමණක් නොව එකී ගමනාන්තයේ වූ ක්‍රියාකාරකම්, නවාතැන් පහසුකම්, වේගවත් අන්තර්ජාල සබඳතා පහසුවෙන් ලබාගත හැකි වීම ආදිය ද මෙවැනි තත්ත්වයක් යම්කිසි රටකට ලැබීමට හේතු වී තිබේ.
තනිව සංචාරය කිරීම සම්බන්ධ නව ප්රවණතා සමග ශ්‍රී ලංකාව එසේ සංචාරය කරන්නන්ගේ ජනප්‍රියතම ස්ථානයක් බවට පත් වීම තුළ ශ්‍රී ලංකාවට එය ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාමේ මහඟු අවස්ථාවක් උදා වී තිබේ. මෙය සැබවින්ම ශ්‍රී ලංකාව අනුගමනය කළ සැලසුමක් නිසා ඇති වූ ප්‍රවණතාවක් බව පෙනෙන්නේ නැත. මන්ද සංචාරකයන් සම්බන්ධයෙන් යම් යම් අකටයුතුකම් සිදු වන අවස්ථා සමාජ මාධ්‍ය ඔස්සේ නිතර දකින්නට ලැබීමය. බොහෝ විට ඔවුන්ව සූරාකන්නට උත්සාහ කරන අවස්ථාවන් දකින්නට ලැබේ. නමුත් අතීතයේ දී මෙන් නොව වර්තමාන සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මාර්ගගත ක්‍රම ඔස්සේ සියලු තොරතුරු සොයා ගැනීමෙන් පසුවය. එබැවින් එවැනි අකටයුතුකම් සිදුවීම වළක්වා තනිව සංචාරයේ යෙදෙන්නන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික වන අන්දමට සැලසුම් සකස් කිරීම සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ බලධාරීන්ගේ වගකීමක් වන්නේය. එසේ නොවුනහොත් අප අතර ලැබුණු අවස්ථාව නිරපරාදේ අහිමිව යනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක