අද Wall එක මඟින් ඔබ හමුවේ පෙනී සිටිමින් තමන් පබාවතියක නොවන බව පවසා හිඳින කිවිඳිය;ඉනෝකා සමරවික්‍රම පාසල් වියේ සිටම කවි ලිවීමට යොමූ වූ කාව්‍ය ලෝලිනියකි. කවිය නිසාම තම වෘත්තිය ලෙස පුවත්පත් මාධ්‍ය තෝරා ගන්නා ඇය.1998 වසරේ ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතින් සිය වෘත්තීය ජිවිතය අරඹන ලදුව අද වන විට සිළුමිණ “රසඳුන” අතිරේකයේ කර්තෘ ලෙස කටයුතු කරන්නීය.පාමංකඩ ශ්‍රී සංඝමිත්තා පාසලෙන් ඉගෙනුම් කටයුතු අරඹන ඉනෝකා පසුව කැස්බෑව මාකන්දන සුදර්ශන විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභායට පෙනී සිට කළුබෝවිල මධ්‍ය මහා විද්‍යායෙන් උසස්පෙළ කලා විෂයන් හදාරන්නීය.ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා ධාරිනියක වන ඇය මේ වන විට වත්මන් කවි කිවිඳියන් අතරේ ඉදිරි පෙළ අසුනක් හිමි කර ගැනීමට සමත්ව සිටියි.ඒ ඇය තුළ එදා මෙදා තුර කාව්‍යකරණය පිළිබඳව තිබූ දක්ෂතාව,උනන්දුව හා කැපවීම නිසාම විය හැක. දැන් අපි තමන් පබාවතියක නොවන බවට ඉනෝකා කාව්‍ය මාධ්‍යයෙන් ඔබ හමුවට ඉදිරිපත් කොට ඇති “සාක්ෂිය”විමසා බලමු.
පබවතිය නොවෙමි
කුස කුමරු නොවේ නුඹ
මා පතා දුක් වින්ද…
පබවති නොවෙමි මම
රන් රුවක් හා සදිසි…
හිරුට පෙර අවදිවන
දහක් වැඩපල කරන
බස් රියේ එල්ලිලා
වැඩට යන හවස එන
එන ගමන් කඩේ යන
බඩු මල්ල අරන් එන…
රෙදි කන්ද හෝඳමින්
වරු ගණන් ගතකරන
දන් උයන දන් බෙදන
මල් වවන වල් නෙලන..
රැවුම් ගෙරවුම් පවා
හිනාවෙන් ඉවසගෙන
විටෙක කඳුළුත් හෙළන
දුක දුකම හදාරණ…
දහක් නෙත් ඇති මඟක
තවත් නෙත් දෙකක් වෙමි
ගව් ගණන් සිහින වල
ජීවිතය සොයා යන…
ඉනෝකා සමරවික්‍රම