වර්තමානයේ ජනප්‍රිය භික්ෂූන් වහන්සේලා අතර මාධ්‍ය මගින් උණුසුම් වාද විවාද සිදු වනු පෙනේ. මෙහිදී සාමාන්‍ය ජනතාව සත්‍යය කුමක්දැයි වටහා ගනු නොහැකිව අසරණ වන බවක් ද පෙනෙන්නට තිබේ. මෙවන් වාද විවාද සිදු කිරීමට ධර්ම ශාස්ත්‍රීය වශයෙන් ඇති හැකියාව පිළිබඳව රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමුණුගම ශාන්තවිමල හිමිපාණන්ගෙන් කරුණු විමසා සිටියෙමු.
*ස්වාමීන්වහන්ස; වර්තමානයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා හැදීන්වීම පිණිස ‘අති පූජනීය’ වැනි යෙදුම් භාවිතා කරනවා. මෙහි ශාසනික වශයෙන් කිසියම් වැදගත් කමක් තිබේද?
මෙය නූතනයේ මාධ්‍ය භාවිතාව පිළිබඳ ප්‍රශ්නයක් මිසක් ශාසනික ව්‍යවහාරයක් නෙවෙයි. භික්ෂූන් වහන්සේලාගේ නමට කලින් පුජ්‍ය යනුවෙන් යොදනුයේ ද උන්වහන්සේගේ පැවිදි බව සලකමිනුයි. ඒ අනුව ඇතැම් භික්ෂූන් වහන්සේලා කෙරෙහි සැදැහැවතුන් තුළ පවත්නා අධික භක්තිය විදහා දැක්වීමට එවැනි අති පූජනීය ආදී යෙදුම් භාවිතා කරනවා විය හැකියි. නමුත් අතීතයේ නම් එවැනි යෙදුම් භාවිතා කරන ලද්දේ මහානායක අනුනායක වැනි හිමි වරුන්ගේ නම් සමඟ පමණයි. නමුත් ඒ සංස්කෘතික භාවිතාවල ශාසනික වශයෙන් අමුතු අගයක් වගේම ලොකු ගැටළුවකුත් නැහැ.
*ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ ජනප්‍රියත්වය මුල්කොට උන්වහන්සේලා වටා වෙනම ශ්‍රාවක පිරිස් ඒකරාශී විමේ නැඹුරුවක් දක්නට තිබෙනවා. මේ සම්බන්ධයෙන් ධර්ම ශාස්ත්‍රීය වශයෙන් කරුණු දැක්විය හැකිද?
අතීතයේ නොතිබූ මෙවැනි තත්වයක් වර්තමානයේ පැන නැඟී ඇත්තේ ජනමාධ්‍යයේ ව්‍යාප්තිය නිසායි. ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරන කරුණු සේම උන්වහන්සේලාගේ කතා විලාශය බාහිර පෙනුම ඇවතුම් පැවතුම් ආදිය මුල් කර ගනිමින් ද මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලැබෙන බව පෙනෙනවා. එමගින් ජනකාන්ත භික්ෂූන් වහන්සේලා බිහිවීම සාමාන්‍ය දෙයක්. වර්තමානයේ සමාජයේ පවතින මෙම මාධ්‍ය නැඹුරුව සමාජ විද්‍යාවේදී හැදින්වෙනුයේ මාධ්‍ය සංතෘප්තතාව (Media saturation) යනුවෙන් මේක එක්තරා අගතියක් මිසක් යහපත් තත්වයක් නෙවෙයි.
*ඉන් ඔබ වහන්සේ අදහස් කරන්නේ බුදු දහම ව්‍යාප්ත කිරීම සදහා ජනමාධ්‍ය මගින් සිදුකෙරෙන හඳුන්වාදීම් පළ රහිත බවද?
තොරතුරු ලබා ගැනීම සහ ප්‍රඥාව උපදවා ගැනීම එකිනෙකට වෙනස්. ප්‍රඥා සම්පත්තියක් ඇති අයෙකුට එය පුදුවාගෙන ආර්ය මාර්ගයකට පිවිසීමට විශාල තොරතුරු සම්භාරයක් අවශ්‍ය නැහැ. ඒ වගේම ප්‍රඥාව මුහුකුරා නොගිය අයෙකුට මාධ්‍ය මගින් කොතෙක් තොරතුරු ලබා ගත්තත් ආර්ය මාර්ගයට පිවිසෙන්නට බැහැ.
*නමුත් ස්වාමීන් වහන්ස; අද ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ධර්ම කරුණු සම්බන්ධයෙන් එකි`නෙකට පරස්පර විරෝධී අදහස් දක්වනවා. එනිසාම උන්වහන්සේලා අතර මත ගැටුම් හට ගෙන ඇති බවත් අන්තර්ජාලය මගින් පෙනෙනවා.
අපේ රටේ බුදුදහම එකම ත්‍රිපිටක සම්ප්රදායක් මුල් කර ගත් දෙයක්. ඒ නිසා එසේ ඉදිරිපත් වන දෙයාකාරයක මත ත්‍රිපිටකය මුල් කොට පහසුවෙන් නිරාකරණය කර ගන්න පුළුවනි. එසේ නිරාකරණය කර ගත යුත්තේ මත ගැටුම් වලින් තොරව බවයි බුදු දහමේ දැක්වෙන්නෙ.
*නමුත් සමාජයේ කීර්තිමත් භික්ෂුන් වහන්සේලාගේ මත නිවැරදි ලෙස බොහෝ දෙනෙක් පිළිගන්නවා.
එසේ පිළිගැනීමට ධර්මානුකූල හිමිකමක් නැහැ. මජ්ජිම නිකායේ භද්දාලි සූත්‍රයේ බුදු සසුන පිරිහෙන කරුණු පහක් දක්වා තිබෙනවා. ඒ භික්ෂූන් වහන්සේලා ආර්ය මාර්ගයට නොපිවිස කල් ගත වීම, ආගමික කණ්ඩායම් වශයෙන් විශාල පිරිස් ඒකරාශී වීම, භික්ෂූන් වහන්සේලාට ලැබෙන ලාභ ප්‍රයෝජන වැඩි වීම, උන්වහන්සේලාගේ කීර්තිය වැඩි වීම, බුදු දහම සම්බන්ධයෙන් ශාස්ත්‍රීය විවාද හට ගැනීම වශයෙන්. වර්තමානයේ අසන්නට ලැබෙන තොරතුරු අනුව බුදු දහමේ පිරිහීමට ඉහත කරුණු බලපා ඇති බව හොදින් පෙනී යනවා.
*නමුත් භික්ෂූ වහන්සේලා අතර ඇතිවන ගැටුම් මතවාද වලින් සත්‍යය ඉස්මතු විය නොහැකිද?
සත්‍ය වටහා ගැනීම සඳහා ගැටුම් ඉස්මතු කර ගැනීමෙන් සිදුවන්නේ ලෝභ දෝෂ මෝහ යන අකුසල මූලයන් පිබිදීමයි. ඒ වගේම තමන්ගේ මතය පමණක් නිවැරදිය අන්‍යයන් වැරදිය (ඉධ මේව සච්චං මෝඝ මඤ්ඤං) යන මතය මුල්කර ගෙන දහම ඉස්මතු කර නොහැකි බව බුදු දහමේ සඳහන් වෙනවා. ඒ වගේම එවැනි ගැටුම් වලට පිවිසෙන සියළුම පාර්ශවයන් තමන් නොදැනුවත්වම අගතිය කරා යොමු වන බව ධර්මානුකූලව කියන්නට පුළුවන්.
*එසේ නම් ස්වාමීන් වහන්ස දහමෙහි සත්‍යය වටහා දීමට අන් මතයන් පරාජය නොකොට කළ යුත්තේ කුමක්ද?
දහම පිළිබඳ නිවරදි සත්‍යය ත්‍රිපිටකය අනුසාරයෙන් පැහැදිලි කොට නිහඬවීම ප්‍රමාණවත්. ඒ හැරුණු කොට අනුන් හා ගැටුම්,අරගල ඇති කර ගන්නා අයට ශාසනික වශයෙන් අගැයුමක් ලැබෙන්නේ නැහැ.එහෙනම් ශාසනික චණ්ඩි කියලා කොටසකුත් සිටිය යුයි.එහෙම පිරිසක් ගැන දහමේ කොතනක වත් නෑනෙ.අනික ඒක තමන්ගේ අධ්‍යාත්මික පරිහානිය ද පෙන්නුම් කරන්නක්.
*නමුත් ස්වාමීන් වහන්ස එවිට විශාල පිරිසක් දහම වෙත යොමු කර ගැනීමට නොහැකි වනවා නේද?
තමන් ගේ ගොඩ වැඩි කර ගැනීම,විශාල පිරිසක් එක්කර ගැනීම පිළිබඳ සංකල්පයක් බුදු දහමේ කොතනකවත් නෑ. ලක්ෂයක් අතරින් එක් ප්‍රඥා වන්තයෙක් ආර්ය මාර්ගයට පිවිසවා ගැනීම වුවත් බුදු දහමින් ඇගයුමට ලක් වෙනවා. ඔය තමන්ගේ ගොඩ වැඩි කර ගන්න දඟලන භික්ෂුන් වහන්සේලා තුළ තියෙන්නේ නූතන සමාජයේ අගැයුමට ලක් වෙන පරිභෝජන වාදය මිසක් බුදු දහමට කේන්ද්‍රීය වන හේතුඵල වාදය,හේතුඵල දහම නෙවෙයි.
දමයන්ති ගමගේ