තමිල්නාඩුවේ විරෝධතා නිසා යටගිය මුරලිගේ චිත්‍රපටය නැවතත් කරළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් ඉන්දියානු සිනමාපටයක් නිර්මාණය කිරීමේ සූදානමක් මෙයට වසර කිහිපයකට පෙර පැවතුණත් අනපේක්‍ෂිත ආකාරයෙන් එය හදිසියේ අත්හැර දැමීමට එහි නිශ්පාදකවරුන්ට සිදු විය. ඊට හේතු වූයේ මෙම සිනමාපටයට එරෙහිව තමිල්නාඩුවේ දෙමළ ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් වෙතින් මෙන්ම එහි සිනමාවට සම්බන්ධ කණ්ඩායම් වෙතින් ද ප්‍රබල විරෝධයක් එල්ල වීම යි. ඔවුන්ගේ විරෝධයට හේතු වූයේ මුරලි සම්බන්ධයෙන් ඔවුන් තුළ පැවැති චෝදනාවකි. ලංකාවේ ජනවාර්ගික යුද්ධය අවස්ථාවේ මුරලි දෙමළ ජනතාවට ද්‍රෝහී වෙමින් රජයේ සහ හමුදාවේ පැත්ත ගත් බවට මෙම කණ්ඩායම් චෝදනා කළේය. ඔහු මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ වැනි නායකයන්ට සහය දැක් වූ බවට ද චෝදනා නැගිණි.

මුරලි මෙම චෝදනාවලට පිලිතුරු දීමට උත්සාහ කළේය. ඔහු තමාගේ දෙමළ මූලයන් ගැන ද සඳහන් කරමින් පැවසුවේ තමා කිසි විටෙක ලංකාවේ දෙමළ ජනතාවට අගෞරවයක් නොකළ බවයි. නමුත් මුරලිගේ මෙම අදහස් ගැන තමිල්නාඩු කණ්ඩායම් සැලකිල්ලක් දැක් වූයේ නැත.

මුරලිගේ කතාව රැගත් මෙම චිත්‍රපටය නම් කර තිබුණේ ‘800’ යනුවෙනි. එය මුරලිදරන් විසින් බිඳ හෙලන ලද වාර්තාගත ටෙස්ට් කඩුළු සංඛ්‍යාවයි. ඔහු ක්‍රිකට් පුරාවෘත්තයක් වීම දක්වා පැමිණි ගමනේ බොහෝ තොරතුරු මෙම සිනමාපටයට ඇතුළත් වන බව ද එකල මාධ්‍ය වාර්තා කළේය.

‘800’ චිත්‍රපටයේ මුරලිගේ චරිතය නිරූපනය කිරීම සඳහා තෝරාගෙන සිටියේ දෙමළ සිනමාවේ ප්‍රසිද්ධම නළුවකු වන විජේ සේතුපති ය. මුලින් ඔහු මෙහි රඟපෑම සඳහා විශාල කැමැත්තකින් සිටියත් ඉහත කී කණ්ඩායම්වල විරෝධය ඔහු වෙත ද එල්ල වීමත් සමග ඇති වූ පීඩනය නිසා සේතුපති හදිසියේ මෙම චිත්‍රපටයෙන් ඉවත් විය. ඒ සමගම චිත්‍රපටයේ කටයුතු විශාල අර්බුදයකට මුහුණ දුන් අතර එම කටයුතු ටික කලකට නතර විය.

කෙසේ නමුත් පසුගිය සතියේ ඉන්දීය මාධ්‍ය තුළ පළ වී තිබූ වාර්තාවලින් පෙනී ගියේ ‘800’ චිත්‍රපටයේ වැඩකටයුතු කලකට පෙර නැවත ආරම්භ වී ඇති බවයි. එම මාධ්‍ය වාර්තාවලට අනුව එහි රූපගත කිරීම් ද මේ වනවිට අවසන්ව තිබේ. ශ්‍රී ලංකාව, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය යන රටවල මෙන්ම ඉන්දියාවේ චෙන්නායි, කොචින් යන නගරවල ද රූපගත කිරීම් කර තිබිණි. විජේ සේතුපති වෙනුවට දැන් මෙහි මුරලිගේ චරිතයට පණ දෙන්නේ මධූර් මිත්ල් නැමැති නළුවා යි. ඔහු කලකට පෙර මහත් ජනප්‍රියත්වයක් දිනාගත් ‘ස්ලම්ඩෝග් මිලියනයර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කළ අතර ඔහුගේ රංගනය ගැන එකල බොහෝ දෙනෙක් ප්‍රශංසා මුඛයෙන් කතා කළහ. ඔහු රඟපෑවේ සලීම් මලික් නැමැති චරිතයයි. සලීම් මලික් යනු මෙහි ප්‍රධාන චරිතය වූ ජමාල්ගේ වැඩිමල් සහෝදරයා ය. චිත්‍රපටය අවසානයේ සලීම් මරණයට පත්වන අවස්ථාව ප්‍රේක්‍ෂකයන් තුළ විශාල කම්පාවක් ඇති කළ අවස්ථාවක් විය.

‘800’ චිත්‍රපටය මේ වසර අවසානයේ හෝ ලබන වසරේ මුල් භාගයේ ප්‍රදර්ශණය කෙරෙනු ඇති බව ද මාධ්‍ය සඳහන් කර තිබේ. පළමු වතාවට මෙහි කෙටි ප්‍රචාරක පටයක් ද එළි දැක්වීමට නිශ්පාදකයන් පියවර ගෙන තිබිණි. ඔවුන් එය මුදා හැර තිබුණේ මුරලිගේ උපන් දිනය යෙදී තිබූ පසුගිය 17 වැනි දින යි. එය ඔහුගේ 51 වැනි උපන් දිනය විය. එම අවස්ථාවේ චිත්‍රපටය ගැන අදහස් දක්වමින් ඉන්ස්ටග්‍රෑම් සටහනක් තැබූ ප්‍රධාන නළු මධූර් පවසා තිබුණේ මුරලි වැනි ක්‍රිකට් පුරාවෘත්තයක චරිතය නිරූපනය කිරීමට අවස්ථාවක් දීම ගැන ස්තුතිවන්ත වන බවයි. මෙය ඔහුගේ රංගන දිවියේ කැපී පෙනෙන කඩඉමක් වනවාට සැකයක් නැත. එමෙන්ම චිත්‍රපටයට ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් විශාල ප්‍රතිචාරයක් හිමි වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.

මෙම සිනමාපටයේ තිරපිටපත ලියා අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ එම්. එස්. ශ්‍රීපති විසිනි. මුරලිගේ බිරිඳ වන මදිමලර්ගේ චරිතය ද චිත්‍රපටයට ඇතුළත් වන බැව් සඳහන් වේ. එම චරිතය නිරූපනය කරන්නේ දකුණු ඉන්දියානු නිළියක වන මහීමා නම්බියාර් ය.

සුපිරි දඟ පන්දු යවන්නකු වූ මුරලි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට එක් වූයේ 1992 වසරේ යි. ඒ එම වසරේ අගෝස්තු 28 වැනි දින ඕස්ටේ්‍රලියාව සමග පැවැති තරගයකිනි. 2010 වසරේ ජුලි 18 වැනි දින ඉන්දියාව සමග පැවැති තරගයකින් පසු ඔහු ටෙස්ට් ක්‍රිකට්වලින් සමු ගත්තේය. මුරලි පළමු වරට එක් දින ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළේ 1993 අගෝස්තු 12 වැනි දින යි. එම තරගය පැවැත්වුණේ ඉන්දියාව සමග ය. ඔහුගේ අවසන් එක් දින තරගය පැවැත්වුණේ ද ඉන්දියාව සමග යි. ඒ 2011 අප්‍රේල් 2 වැනි දින ය. මුරලිගේ පළමු විස්සයි විස්ස තරගය වූයේ 2006 වසරේ දෙසැම්බර් 22 වැනි දින නවසීලන්තය සමග පැවැති තරගයකි. ඔහු ක්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරගය ඕස්ටේ්‍රලියාව සමග පැවැති තරගයක් විය. එය පැවැත්වුණේ 2010 වසරේ ඔක්තෝබර් 31 වැනි දා යි. ටෙස්ට් තරගවල මෙන්ම එක් දින තරගවල ද ලොව වැඩිම කඩුළු ලබා ගත් ක්‍රීඩකයා වන්නේ මුරලිය. ඔහු ටෙස්ට් කඩුළු 800 ක් ද, එක් දින කඩුළු 534 ක් ද ලබාගෙන තිබේ.

මුරලි මදිමලර් සමග යුග දිවියට ඇතුළත් වූයේ 2005 වසරේ යි. ඔවුන්ට එක් පුතෙකු සිටින අතර ඔහුගේ නම නරේන් ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර