තරුණයන් හා “රේස්” දුවා අගමැති වරයාට රට ගොඩ ගත හැකිද?

රාජපක්ෂලාට ගෙදර යන ලෙස ඉල්ලමින් ගෝල්ෆේස් අරගලය ආරම්භ වී මේ වන විට දින 15 ත් ඉක්මවා ගොසිනි. “ගෝටා ගෝ හෝම්” ලෙස ඇරඹි මෙම අරගලය දැන් රාජපක්ෂලා සියලු දෙනා ගෙදර යා යුතු බවට වෙනස් වී තිබේ. මේ අතර අගමැති ඇතුළු ඇමති මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව කියයි. අනෙක් පසෙන් අගමැති ඉල්ලා අස් වී අන්තර්වාර පාලන රජයක් බිහිවිය යුතු බවට ද අදහස් පළ වේ.
මේ සියලු කාරණා හමුවේ ජනාධිපතිවරයා අගමැති ධූරය හැර ඇමති මණ්ඩලයේ සිටි සියළු ඇමතිවරුන් වෙනස් කළේ ය. ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසත් කියා සිටින්නේ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවකි. ඔහු ඉල්ලා අස්වී අන්තර් වාර පාලනයක් සර්ව පාක්ෂිකව පත් කළ යුතු බව ඔවුහු කියා සිටිති.

එහෙත්, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉල්ලා අස්වන බවක් පෙනෙන්නට නැත. දෙදෙනාම කියන්නේ තමන් ඉල්ලා අස් නොවන බව ය. ආණ්ඩුවට ද 113 නැති බව පෙනී ගියේ අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී වි සිටි මන්ත්‍රීවරුන් ගණන දුටු විට ය. එදින එම රැස්වීමට සහභාගී වී සිටියේ මන්ත්‍රීවරුන් 88 දෙනෙකු පමණ ය.බැලූ බැල්මටම ආණ්ඩු පක්ෂයට අතිශය අවදානම් සහගත තත්වයක් වන මෙය අති විශාල “අත යට මුදල් ගනුදෙනුවකින්” මඟහරවා ගැනීමට රාජපක්ෂලා කටයුතු කරනු ඇතැයි ද සමහරෙක් කියති.

කෙසේ හෝ ආණ්ඩුවේ මෙම දෙදරීමට හේතුව වූයේ ගෝල්ෆේස් පිටියෙන් ඇරඹි තරුණ ජන අරගලය ය. ගෝල්ෆේස් අරගලය එසේ යද්දී අගමැතිවරයා අසනීපව රෝහල්ගත කර ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවටත් කට කතා පැතිරෙන්නට විය. එයට තටු ලැබී තිබුණේ ෆේස් බුක් තුළ ය. අවසානයේ අගමැතිවරයා සමඟ මාධ්‍යවේදියෙකු කරන සාකච්ඡාවක හඬ පටයක් මාධ්‍යයට නිකුත් කිරීමට පවා අගමැති මාධ්‍ය අංශයට සිදුවිය.

mahinda

එම සාකච්ඡාවේදී මාධ්‍යවේදියා ප්‍රශ්න කරන්නේ අගමැතිවරයා රෝගීව රෝහල් ගතව ඇති කතාව ගැන ය. එහිදි අගමැති කියන්නේ තමන් ලෙඩෙක් බැලීමටවත් මේ දිනවල රෝහලකට නොගිය බවකි. එසේම තමන් එම අවස්ථාව වන විටත් තමන් ශාරීරික අභ්‍යාස කොට පැමිණ සිටින බව ද ඔහු කියා සිටියේ ය. තරුණ කණ්ඩායම් සමඟ තවමත් තමන්ට දිව යාමට තරම් හැකියාවක් ඇති බවත් ඔහු පුරාජේරුවෙන් මාධ්‍යවේදියා සමඟ කියා සිටිනු අසන්නට ලැබේ.

මෙය සැබෑවටම විහිළුවකි. ඔහු ඇවිද යන්නේ ද ඉතා අපහසුවෙන් බව අගමැතිවරයා ගමන් ගන්නා අයුරු දුටු විට පැහැදිලි වේ.අගමැති වරයා එලෙස තවත් අයකුගේ වාරුවෙන් ගමන් කරන මෙතෙක් ප්‍රචාරය නොවූ දර්ශන රූපවාහිනී මාධ්‍ය ආයතන තුළ කොතෙකුත් තිබේ. එසේ තිබිය දී තමන්ට තරුණයන් සමඟ හරි හරියට දිව යාමට පුළුවනැයි කීම ඔහුගේ මානසික දුබලතා ලක්ෂණයකි. මහළු බව යන තවත් එක් පසකින් ළදරු අවදියක් බව මනෝ විද්‍යාව කියයි.

මේ අතර සමාජ ජාලා තුළ එක්තරා වියපත් පක්ෂියකුගේ නමක් මුල් කොට අගමැති වරයා බරපතල උපහාසයන්ට ලක් වේ.වැඩිහිටියකු වශයෙන් ඔහුට එසේ නින්දා අපහාස එල්ල කිරීම අපි කෙසේවත් අනුමත නොකරමු.එහෙත්, ඒ සඳහා ඔහුගේ ක්‍රියා කලාපයන් සෘජු ලෙස ඉවහල් වී ඇති බවක් පෙනෙයි. එමෙන්ම අගමැති වරයා හදිසියේ රෝහල් ගත කළ කතාව ඔවුන්ගේ පාර්ශයයෙන්ම පතුරුවා හරින ලද්දක් බවට ද කතා පැතිර තිබේ.

අගමැති වරයාගේ නිරෝගී බව අනියමින් තහවුරු කිරීම සේම ඔහු සම්බන්ධ පැතිර යන කට කතා බොරු බවට ජනතාව තුළ හැඟීමක් ඇති කරවීම එම අසත්‍ය ප්‍රචාර වල යටි අරමුණ බව ද පැවසෙයි.එමෙන්ම අරගල කරන තරුණ පිරිසට සාකච්ඡා සඳහා අරලිය ගහ මන්දිරයේ දොරගුළු විවර බවක් ද ඔහු කියයි.එහෙත්, එම තරුණ පිරිස එක හඬින් කියා සිටිනුයේ පවත්නා අතිශය ඛේදනීය වාතාවරණය ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් මිස එවැනි කතා බහකින් කෙලවර කළ නොහැක්කක් බව ය.එය හරියට අගමැති වරයා තමන් හා තරඟයට දිවිය හැකියැයි පවසන්නාක් වැනි තේරුමක් නැති කතාවක් බව තරුණ පිරිස් කියති.අනෙක් පසින් ඔහු කියා සිටින්නේ අන්තර්වාර පාලන රජයේ ද අගමැතිවරයා තමන් බව ය.

කිහිප දෙනෙකු අගමැති වරයා ඉවත් විය යුතු බව කීවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතරයක් තවමත් සිටින්නේ රාජපක්ෂවරුන් සමඟ බව ඔහු නොකියා කියයි. කෙසේ වෙතත් ආණ්ඩුව තුළ බරපතල දෙදරීමත් ඇතිව තිබෙන බවට මීට වඩා සාක්ෂි සාධක අවශ්‍ය නැත.

අනෙක් පසින් අගමැතිවරයා සතුව තිබෙන අධික බල ලෝභය ද මෙයින් පැහැදිලි වේ. ගෝල්ෆේස් හි සිටින උද්ඝෝෂකයෝ ද ද මොවුන් ඉවත් වනතුරු නොයන බවට සපථ කරති. වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව එම මාධ්‍යවේදියා කළ ප්‍රශ්න කිරීමක දී අගමැති වරයා කියනුයේ මීට පෙර ද මෙවැනි මෙබඳු අර්බුද හටගෙන ඇති බවකි.එහෙත්,ඔහුගේ ඒ ප්‍රකාශ ද අසත්‍යයකි.ආර්ථික හා සමාජ විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට මෙය වූ කලී දෙවන ලෝක යුද්ධ සමයෙන් පසු මෙරට සිදු වූ බරපතලම ආර්ථික බිඳ වැටීම ය.

මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ රජ අරාජිකවීම පමණක්ම ය. අස්ථාවර ආණ්ඩුවකට ලෝකයේ කිසිම රටක් උදව් කිරීමට සුදානම් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුල ද ප්‍රමුඛව කියා ඇත්තේ ස්ථාවර ආණ්ඩුවක් මුලින්ම සකස් කර ගන්නා ලෙසට ය. එතෙක් ඔවුන් ණය මුදල දෙතැයි විශ්වාස කළ නොහැකි ය. එසේ නම් ඉන්ධන අර්බුද, ගෑස් අර්බුද, ඖෂධ අර්බුද යනාදී එකි මෙකී නොකි බොහෝ අර්බුද ඉදිරියේ දී මීටත් වඩා බරපතල ලෙස ඉස්මතු වනු ඇත.

මෙවන් තත්වයක් යටතේ අගමැති වරයා කළ තමන්ට තරුණයන් හා තවමත් දිවීමට හැකිය යන ප්‍රකාශයට අනුව මෙම බිහිසුණු ජාතික ව්‍යසනය දුරලීම පිණිස ගෝල්ෆේස් පිටියේ උද්ඝෝෂණය කරන තරුණයන් හා අගමැති වරයා අතර ධාවන තරඟයකින් විසඳුමක් ලැබේ නම් අපි ද අතිශයින් සතුටට පත් වෙමු.එහෙත්, ගැටළුව වනුයේ ඉන් ජනපති අගමැති ඉවත් වීම මුල් කොට ගත් ව්‍යවස්ථානුකූල දේශපාලන විකල්පයකින් තොරව එවැනි ධාවන තරඟයකින් මේ සඳහා කිසිදු විසඳුමක් නොලැබීමය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර